brand logo

අම්බලන්ගොඩින් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් 11දෙනා බේරා ගැනේ....

20 August 2018

ගාල්ල අම්බලන්ගොඩ ධීවර වරායෙන් ඊයේ (19) මුහුදු ගොස් තම ධීවර යාත්‍රාව අනතුරට පත්වීම නිසා අතුරුදන්ව සිටි ධීවරයින් 11 දෙනා නිරුපදිතව බේරා ගැනීමට නාවික හමුදාව අද 20 දහවල් සමත්විය. නාවික හමුදාව මෙම ධීවර කාර්මිකයින් පිරිස ගාල්ල නාවික හමුදා කඳවුර වෙත රැගෙන ආ අතර ගාල්ල ධීවරය වරායෙන් මුහුදුගිය බහුදින යාත්‍රාවක් මගින් මෙම පිරිස බේරාගෙන නාවික හමුදාවට භාර දී තිබිණි. අනතුරට පත් ධිවර යාත්‍රාවේ ස්කීපර් වරයා ලෙස කටයුතු කළ කේ. සමන්ත මහතා අප සමග මෙසේ පැවසීය. 19 උදේ 8.30 ට පමණ තමයි අපි අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගියේ. යාත්‍රාවේ අපි එකොළොස් දෙනෙක් හිටියා. හවස හතරට විතර තමයි මාළු හසු උනේ. හවස 5.30 විතර වෙනකොට අපි ගොඩ බිම පේනතෙක්මානෙට ආවා. එකපාරට අවරින් රළයක් ගැහුවා. ඒ වෙළාවෙ මාළු වැඩි කමට ඔරුව එහෙම්ම පෙරළුනා. අපිට මොකවත් ගන්න බැරි උනා. අපි ෆෝන් අරගෙන ෆොන් වල කවර කඩලා කොල්ලෑව කැපුවා. කොලෑව කපලා අපි උඩහට පීන පීන ආවා. දියඹ සැර කම නිසා අපි ආපසු දියඹ පැත්තට ගියා. බොට්ටුව දෙපාරක් තුන් පාරක් ගොඩ ආවා. ඒත් බොට්ටුවට සොයාගන්න බැරිවුනා. අපේ එක් කෙනෙක් පාන්දර 4.30 ඉදලා හැතැම්ම දෙකහමාරක් විතර පීනුවා. එයා ගාල්ලේ බොට්ටුවක් ගාවට පීනලා ඒ බෝට්ටුව අපි ගාවට අරගෙන ආවා. ඒ වෙලාවෙ උදේ 9.30ට විතර ඇති. ඊට පස්සේ ඒ බොට්ටුවෙන් අපිව බෙරාගෙන නාවික සැතපුම් දහයක් විතර ගොඩ බිම දෙසට අරගෙන ආවා. ඊට පස්සෙ නේවි එකේ බෝට්ටුවකට අපිව බාර දුන්නා. මෙහදී ධීවර යාත්‍රාවේ හිමිකරු පැවසුවේ අනතුරට ලක්වූ යාත්‍රාවෙහි අලාභය රුපියල් ලක්ෂ පහළොවක් පමණ වන බවත් ඒ කෙසේ වෙතත් ධීවරයින්ගේ ජීවතවලට අනතුරක් නොවී බේරා ගැනීමට කටයුතු කළ සියලුදෙනාට සිය ස්තූතිය පල කරණ බවත්ය. මේ දිනවල පවතින කාලගුණික තත්වය මත මුහුදු යන ධීවර යාත්‍රාවන්හි අඩුවීමක් දක්නට ලැබෙන අතර ධිවරයින්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් ගත හැකි සියලු පියවරයන් ගාන්නා බැව් ගාල්ල ධීවර වරාය කළමණාකරු සුමුදු දහනායක මහතා අදහස් දක්වමින් පැවසීය.
 

More News..