brand logo

අමතක වෙනවට අලුත් බෙහෙතක් ඇමරිකාවෙන්

09 June 2021

මහළු වියේ පුද්ගලයන් අතර සුළභ රෝගයක් වන ඇල්ෂයිමර් රෝගය සඳහා අලුත් ඖෂධයක් ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලන ආයතනය විසින් අනුමත කරනු ලැබ තිබේ. මෙම රෝගය සඳහා මේ ආකාරයෙන් ඖෂධයක් අනුමත කරනු ලැබුවේ වසර 20කට පසු පළමු වතාවට බව සඳහන්ය. FDA Approves Controversial Alzheimer's Drug මෙම ඖෂධය හැඳින්වෙන්නේ අඩුකනුමාබ් Aducanumab යනුවෙනි. මෙය ඇල්ෂයිමර් රෝගය ඇති කිරීමට හේතු වන ඇමිලොයිඩ් Amyloid නැමැති ප්‍රෝටීනය ඉලක්ක කර නිපදවන ලද ඖෂධයකි. එය නිශ්පාදනය කරනු ලබන්නේ ඇමරිකානු ඖෂධ සමාගමක් විසිනි. මතකය අහිමි වීම, සිතීමේ ශක්තිය දුර්වල වීම, සන්නිවේදනය පිලිබඳ ගැටළු ඇල්ෂයිමර් රෝගයේ ප්‍රධාන ලක්‍ෂණ ලෙස සැලකේ. මෙම ඖෂධය සම්බන්ධයෙන් සිදු කරන ලද අත්හදාබැලීම් 2019 වසරේ මාර්තු මාසයේ හදිසියේ නතර කරන ලදී. ඒ වනවිට එම අත්හදාබැලීම් පැවතියේ අවසන් (තුන්වැනි) අදියරේයි. 3,000ක් පමණ දෙනා යොදා ගනිමින් කරන ලද මෙම අත්හදාබැලීම් නතර කරන ලද්දේ ඖෂධයෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල නොලැබෙන බව අනාවරණය වීම නිසාය. එම අත්හදාබැලීම්වල දී ඖෂධය ලබා දී තිබුණේ මාසයකට වරක් බැගිනි. කෙසේ නමුත් එම වසරේ අවසන් භාගයේ එහි නිශ්පාදන සමාගම තවදුරටත් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු වාර්තා කර තිබුණේ වඩාත් ඉහළ මාත්‍රාවන්ගෙන් ලබා දුන් විට එයින් ප්‍රතිඵල ලැබෙන බවයි. ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලන ආයතනය මෙම ඖෂධය අනුමත කිරීමෙන් පසු තවත් රටවල් එය භාවිතය සඳහා අනුමත කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. සහන් වික්‍රමගේ
 

More News..