brand logo

අබුඩාබි ටී10 අද

28 January 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේද සහභාගිත්වය ඇතිව පැවැත්වෙන අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලිය අද (28 වැනිදා) එක්සත් අරාබි එමීර්හිදී ආරම්භ වේ. ටීම් අබුඩාබි, මාරතා ඇරබියන්ස්, බංග්ලා ටයිගර්ස්, ඩෙකෑන් ග්ලැඩියේටර්ස්, ක්වාලන්ඩර්ස්, දිල්ලි බුල්ස්, නොදර්න් වොරියර්ස් සහ පුනේ ඩෙවිල්ස් ආදී කණ්ඩායම් සහභාගි වන මෙම තරගාවලිය සඳහා ඇතුළත් මුළු තරග සංඛ්‍යාව 29කි. අදාළ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකාවේ තිළිණ කණ්ඩම්බි කටයුතු කරයි. ඔහු නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කිරීමද විශේෂත්වයක් විය. මෙම තරගාවලිය සඳහා මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවිශ්ක ප්‍රනාන්දු, ඉසුරු උදාන, මතීෂ පතිරණ, භානුක රාජපක්ෂ, වනිදු හසරංග, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, නුවන් ප්‍රදීප්, මහේෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්, තිසර පෙරේරා, චාමර කපුගෙදර, අජන්ත මෙන්ඩිස්, මාලින්ද පුෂ්පකුමාර යන ක්‍රීඩකයන් සහභාගි වීමට නියමිතව තිබුණි. ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි කිහිපයක් හේතුවෙන් කාර්යබහුල වීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම්ගත ක්‍රීඩකයන්ට මේ සඳහා සහභාගි වීමට එම ආයතනයෙන් අවසර නොලැබිණි. ඒ හේතුවෙන් මහේෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්, මතීෂ පතිරණ, චාමර කපුගෙදර, අජන්ත මෙන්ඩිස් යන ක්‍රීඩකයින්ට පමණක් තරගාවලිය සඳහා සහභාගි වීමේ අවස්ථාව උදා වී ඇත. ගයශාන් විතානආරච්චි
 

More News..