brand logo

අපේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලනඥයාව මිසක් උද්දිකව නෙවෙයි

30 October 2022

සරණිගේ අත අල්ලගෙන පාර දිගේ යනවා

රෙහාන්ගේ චරිතය ඉවර වෙනකම් රැවුල කපලා කෙට්ටු වෙන්න වෙන්නේ නැහැ

උද්දික ප්‍රේමරත්න කියන්නෙ රංගනයෙන් හැමදාමත් රසිකයන්ගෙ සිත් ඇද බැඳ තබාගන්න පුළුවන් වුණු දක්ෂ නළුවෙක්. ඒ වගේම ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ‘පාර දිගේ’ ටෙලි නාට්‍යයේ රෙහාන්ගේ චරිතයත් සමග තමයි මේ දිනවල උද්දික වඩාත්ම ජනප්‍රිය වන්නෙ. රෙහාන් - සරණි ආදර කතාව කුමක් වෙයිද කියලා රසිකයෝ දැඩි නොවි⁣සිල්ලෙන් ඉන්නෙ. ඒ ගැන වගේම ඔහුගේ කලා කටයුතු ගැනත් දැනගන්න අපි හිතුවා ඔහුත් සමග ටිකක් කතා කරන්න. කොහොමද මේ දවස්වල පාර දිගේ යන ගමන? මේ දවස්වල උණුසුම් රසික ප්‍රතිචාර මැද සරණිගෙත් අතින් අල්ලගෙන ගොඩක් ආදරණීය විදිහට පාර දිගේ යන ගමන් ඉන්නෙ. රෙහාන් සහ සරණි පුංචි තිරයෙ එක යුගයක් නිර්මාණය කරපු යුවළක් කිව්වොත් හරි නේද? ඇත්තටම ඔව්. සමාජ මාධ්‍යය තුළ වගේම මගතොටේදි කවුරු හම්බ වුණත් රෙහාන්ටයි සරණිටයි සුබ පතන්න අමතක කරන්නෙ නැහැ. සමහරු මට කියනවා සරණිව ආදරෙන් බලාගන්න කියලා. ඒ තරමට සරණිවයි රෙහාන්වයි මිනිස්සුන්ට සමීප වෙලා තියෙන්නෙ. මේ කරන බොරුත් එක්ක සරණිගෙයි රෙහාන්ගෙයි කසාදයට මොකද වෙන්නෙ? මම හිතන්නෙ රසිකයො ප්‍රාර්ථනා කරන දෙයක් තමයි සරණියි රෙහානුයි වෙන් වෙන්නෙ නැතුව දරුමල්ලො ලැබිලා ආදරණීය පවුල් ජීවිතයක් ගතකරනවා දකින එක. රසිකයන්ගේ ඒ ප්‍රාර්ථනය ඒ විදිහටම ඉටුවෙන්න කියලා අපි සුබ පතමු. ඔබේ උඩු රැවුල රෙහාන්ගේ චරිතයටම වවන එකක්ද නැත්තන් බොරු එකක්ද? මේක මගේ ඇත්ත රැවුල. අවුරුදු එකහාමාරක ඉඳලා රෙහාන්ගේ චරිතය වෙනුවෙන්ම මම මේ උඩු රැවුල වවනවා. පාර දිගේ අධ්‍යක්ෂකවරයා කියපු දෙයක් තමයි බොරු රැවුලක් දානවට වැඩිය ස්වභාවිකවම වවපු රැවුලක් තියනවා මේ චරිතයේ බාහිර පෙනුම ගොඩක් සාර්ථක වෙයි කියලා. ඉතින් මට රැවුල වවන්න සිද්ධ වුණා. ඒ වගේම මගේ ඇඟෙ මහත පවත්වාගෙන යන්නෙත් රෙහාන්ගේ චරිතය වෙනුවෙන්මයි. පාර දිගේ ඉවර වුණු දාට තමයි මට රැවුල කපලා කෙට්ටු වෙන්න පුළුවන් වෙන්නෙ. උද්දිකට ආදරය කරන බොහෝදෙනා කියන දෙයක් තමයි ඔබ දේශපාලනයට එන්නෙ නැතුව කලාව කරගෙන හිටියා නම් හොඳයි කියලා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද? සමාජයේ ගොඩක්⁣ දෙනා පිළිකුල් කරන්නෙ රටේ තියන මජර දේශපාලන සංස්කෘතිය මිසක් උද්දික ප්‍රේමරත්න කියන දේශපාලනඥයාව නෙ⁣වෙයි. ඒ මජර දේශපාලනයෙන් මම නාස්තිවෙයි කියලා තමයි ගොඩක් දෙනා හිතන්නෙ. නමුත් කලාවෙදි වගේම දේශපාලනයෙදිත් මිනිස්සුන්ගෙ පැත්තෙ ඉඳගෙන ඔවුන් වෙනුවෙන් කටයුතු කරන්නයි මට ඕන. එතැනදි උද්දික ප්‍රේමරත්න කියන නළුවවයි දේශපාලනඥයවයි නාස්ති කරගන්නෙ නැතුව මම මගේ ගමන යන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයටත් දායක වුණා නේද? ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයට මම රංගනයෙන් සම්බන්ධ වුණා. මිදුණු විශ්වය කියන්නෙ ලස්සන ආදර කතාවක්. උදාරි වර්ණකුලසූරිය තමයි මගේ පෙම්වතියගෙ චරිතයට ඉන්නෙ. ලබන වසරේදි රසිකයන්ට චිත්‍රපටය නරඹන්න පුළුවන්. ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන රසිකයන්ට කිව්වොත්? චිත්‍රපට සහ ටෙලි නාට්‍යයවලින් නම් මේ දවස්වල ආරාධනා ගොඩක් එනවා. නමුත් කාර්ය බහුලත්වය නිසා පාර දිගේ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු විතරයි මම කරගෙන යන්නෙ. පාර දිගේ ටෙලි නාට්‍යය අවසන් වීමත් සමග ඉදිරියේදි අලුත් නිර්මාණයකින් නැවතත් රසිකයන් අතරට එන්න බලාපොරොත්තු වෙනවා. ලක්ෂාන් ජයසූරිය
 

More News..