brand logo

අපේ පුත්තලං බූරුවා විකුණලා ඉවරයි - චමින්ද විජේසිරි

20 January 2019

2015 වෙනස සිදු කළේ ජනපති මෛත්‍රී ද, ඌවේ පළාත් සභා ඡන්දයේදී හරීන්ල, චමින්දලද? ඌවේ අපියි රට වෙනස් කළ හැකි බව මුලින්ම ඔප්පු කළේ. ජනපති මෛත්‍රී බය නැතුව පෙරට ආවේ හරීන් ඇමැතිතුමා ප්‍රමුඛ අපි ඇති කළ ඒ දැවැන්ත පදනම තුළයි. රාජපක්ෂවරුන්ට බියවෙලා ඒ පවුල හා වටේ සිටි නඩය කළ කී අත්තනෝමතික ක්‍රියා විවේචනය නොකර හිටපු ජනතාව හා ජනමාධ්‍යවලට ඇස් ඇරුනේ අපි උෟවේදී කරපු වික්‍රමය නිසයි. රාජපක්ෂවරුන්ගේ හොරකම් බලය අයුතු ලෙස පාවිච්චි කරපු දේවල් එළියට දාලා පළාත් සභාව නූලෙන් පැරදුණේ. මේක අනිත් පැත්තට කරකවන්න පුළුවන් බව ජනපති මෛත්‍රීට තේරුනේ එතැනදී බව ඔහුගේ හෘද සාක්කියත් කියනවා ඇති. අද ජනපති පොහොට්ටුවේ ඒ නඩය එක්ක හොර මඟුල් කෑවට ජීවිත අවදානම පවා නොතකා ඔහු පොදු අපේක්ෂකයා කෙරෙව්වේ ඌවේ ජනතාව ලබාදුන් උද්දීපනය තුළයි. රට වෙනස් කළේ ඌවේ ජනතාව නම් මේ ජනපති හා මේ ආණ්ඩුව එම ජනතාවට සාධාරණය ඉටුකොට තිබෙනවාද? අතීතයේ වගේම මේ ජනපති හා ආණ්ඩුවෙනුත් ඌවට කුඩම්මගෙ සැලකිලියි ලැබුණේ. පළාතට දියුණුවක් තියා කැබිනට් ඇමැතිකම් 04 ක් තිබුණු එක දැන් එකට බස්සලා තියෙන්නේ. අපි ඇමැතිකම් ඉල්ලනවා නෙවෙයි. ඒත් පළාතට වැඩ කළ හැකි පසුබිමක් වහාම නිර්මාණය වීම අත්‍යවශ්‍ය බව අපි නායකකාරකාදීන්ට බලකර කියා සිටිනවා. බදුල්ල දිසාවට ඇති එකම ඇමැතිකම හිමි හරීන්ට ඔබ ප්‍රසිද්ධියේ අභියෝග කරන්නේ ඇයි? එතුමාගේ ඇතැම් ක්‍රියාකාරකම් ගැන මට යම් ගැටලු තිබුණා. මම නායකතුමාට ඒවා පැහැදිලි කළාම එතුමා මැදිහත්වෙලා ඒවා විසඳන්න භාර ගත්තා. මින් ඉදිරියට හරීන් ඇමැතිතුමාට හා මට ගැටලු නැතිව වැඩ කරන්න ලැබේවියි හිතනවා. ඒක මම නෙවෙයි බදුල්ල දිස්ත්‍රික් ජනතාව ලැබූ ජයක්. ඇමැති හරීන් හා ඔබ අතර තිබූ ගැටලු මොනවද? ඒවා දැන ගැනීමට ජනතාවට අයිතියක් තියෙනවා නේද? ප්‍රශ්න නිරාකරණය වෙමින් තිබෙන නිසා ඒවා එළිපිට කතා කළ යුතු නෑ. ඒත් ජනතාව දැනුවත් කිරීම ඔබ හරීන්ට මෙන්ම, එම ජනතාවටත් කරන සාධාරණයක්? ඔබ මාව දිගටම හිර කරන්න හදනවා. දැන් අපි එකට වැඩ කරනවා. බදුල්ලට ලැබුණු එකම ඇමැතිකමෙන් උපරිම සේවය ලබා ගන්නයි අපි ක්‍රියා කරන්නේ. රැකියා දීමේදී මට කරන්න දෙයක් නෑ කියලා බෑ. නිර්මාණාත්මකව රැකියා නිර්මාණය කළ යුතුයි. එතුමා මීට වඩා දිස්ත්‍රික්කයට එනවා නම් කටයුතු වේගවත් වෙනවා. දිසාවේ එජාප ඉහළ සිට පහළ දක්වා මන්ත්‍රීවරුන්ට ජනතා සේවය තවත් වැඩි කරන්න වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. ශ්‍රීලනිප මහ ඇමැති හා නිමල් සිරිපාලලා එයාලගේ මන්ත්‍රීලයි, නිලධාරීනුයි එකතු කරගෙන පාක්ෂිකයන්ට සලකනවා. ප්‍රදේශය දියුණු කරනවා. අපි කතා කර කර ඉඳලා බෑ. පෞද්ගලික අරමුණුවලට වඩා දිස්ත්‍රික් ජනතාව හා එජාප පාක්ෂිකයන්ගේ අරමුණුවලටයි අපි මුල්තැන දිය යුත්තේ. දයාසිරි ක්‍රීඩා ඇමැතිතුමාගේ කාලෙ ඔහු බණ්ඩාරවෙලට ක්‍රීඩා සංකීර්ණයක් හදන්න හැදුවෙ ශ්‍රීලනිප අය එක්ක විතරක් එකතුවෙලයි. එහෙම බෑ. මොකද මමයි, පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා සංකීර්ණය ඉල්ලුවේ. හරීන් ඇමැතිතුමාත්, පොහොට්ටු අය එක්ක ඒ වැඩේ කරන්න හදන බව ප්‍රචාරය වුණා. ඒකත් අසාධාරණයි. එතුමා පොහොට්ටු අය එක්ක සංගීත සංදර්ශන කළා කියලත් මතයක් ගියා. ක්‍රීඩා භාණ්ඩ බෙදනකොට පක්ෂයටත් ලකුණු වැටෙන විදියට කරන එකයි වැදගත් වෙන්නේ. පළාත් සභාව හා ඇතැම් නගර සභා එජාපය පැත්තට කරකවල ගන්න තිබුණු තැන් මග ඇරීම අපරාධයක් බව ජනතා මතයයි. මේ වගේ සුළු කරුණු හා අනවබෝධ තිබුණත් මම හා හරීන් ඇමැතිතුමා ඒ සියල්ල පැත්තකට දාලා නිවැරදි වෙලා දැන් බදුල්ලේ දිස්ත්‍රික් ජනතාව හා ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් අත් අල්ලගෙන උපරිමව කැප වෙනවා. මම යළිත් කියන්නෙ ඒ පසුබිම ඇතිවීම ප්‍රදේශයේ හා ජනතාවගේ ජයක්. ඔබ බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් එසේ සටන් කරන අතරතුර ජාතික වශයෙන් මේ ආණ්ඩුවේ හා ඇතැම් වෙනත් ඇමැතිවරුන්ගේ ක්‍රියා කලාපවලට එරෙහිව ‘‘දහඅට දෙනාගේ පසුපෙළ මන්ත්‍රී කල්ලිය’’ බිහි කොට තිබෙනවා. මෙහි අරමුණ මොකක්ද? පත් වූ ඇමැතිවරු අතර නායකයාගේ මිත්‍රයන්ට අමතරව අඳ ගොළු, බිහිරි හා අතපය වාරු නැති අයත් ඉන්නවද? සමහරු ඒ වගේ තමයි. වසර 3 1/2 ක් වැඩ නොකර වරප්‍රසාද විතරක් භුක්ති විඳපු ඇමැතිවරු ඉදිරි කෙටි කාලය තුළත් ඒකම කරන්න ලැස්ති වුණොත් අපි ඔවුන්ට ප්‍රසිද්ධියේ පහර දෙනවා. ජනතාවට, පාක්ෂිකයාට හා පසුපෙළ මන්ත්‍රීන් ජනතාව වෙනුවෙන් කරන හඬට කන්දෙන්නැති අයට පරිස්සම් වෙන්න වේවි. බලපෑම් කරනවා නෙවෙයි. ආණ්ඩුවට හා ඇමැතිලාට ආදරේ නිසයි මේවා කියන්නේ. සඳලු තලවල ඉන්න අය පොළොවට බැහැලා වැඩ නොකළොත් ඊළඟ ඡන්ද හොම්බෙනුයි යන්න වෙන්නේ. අපේ පසුපෙළ කණ්ඩායමේ සභාපතිල, ලේකම්ලා නෑ. ඔක්කෝම එකා වගේ කැපවෙන අයයි. කණ්ඩායම් රැස්වීමේදී අපි ඇමැතිවරු නම් කරලා චෝදනා කළා. ඇතැම් ඇමැතිවරු නායකතුමාගේ මිත්‍රත්වය මත ළඟින්ම තියාගෙන කටයුතු කළත් ඔවුන් පාක්ෂිකයාගෙන් මෙන්ම නායකතුමාගෙනුත් පක්ෂය අෑත් කළ බව අපි කිව්වා. ඒ නිසා එවැනි පුද්ගලයෝ තවදුරටත් ළඟින්ම තියාගැනීම නායකතුමාට වගේම පක්ෂයට විශාල හානියක් බව අපි කරුණු සහිතව පැහැදිලි කළා. ජාතික ලැයිස්තුවෙන් පිනට ආපු අයට ජනදුක තේරෙන්නේ නැ. අනික එජාපයේ නොවන ඇමැතිවරු අපේ පක්ෂය අසරණ කරලා, ඒ අය ඉහළට යන විදිය ගැන විතරක් හිතලා කටයුතු කරන එකටත් අපි මීට පස්සේ ඉඩ දෙන්නේ නෑ. පවතින නායකත්වය දියාරු කරලා එන්න ඉන්න නායකයොත් දුර්වල කරන වැඩේට අපි ඉඩ දෙන්නේ නෑ කියලා අපි පැහැදිලි කළා. සියලු මැති ඇමැතිවරු මේ තත්ත්වය තේරුම් අරන් වැඩ කිරීම එයාලගේ හා ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට හිතකර වේවි. මොකද අපි අනිවාර්යයෙන් ඊළඟ ඡන්ද දිනිය යුතුමයි. පාක්ෂිකයාට හා රටට සීග්‍රව මේ කාලය තුළ විශාල වැඩ කොටසක් ඉටු කිරීම අත්‍යවශ්‍යයි. එජාප කණ්ඩායම් රැස්වීමේදී 18 කල්ලිය චෝදනා කළ ‘‘සඳලුතල ඇමැතිවරුන්ගේ’’ නම් රටත් ජනතාවත් දැනගත යුතුමයි නේද? ඔබ අහන නිසා මම එළිකරනවා. ඔවුන් නිවැරදි කරගන්න මිසක් අපහසුතාවට පත් කිරීමේ අරමුණක් අපේ තුන් හිතකවත් නෑ. මලික්, රාජිත, චම්පික, මාරපන ඇමැතිවරුන්ගේ නම් අපි එළි කළා. මේ අය සඳලුතලෙන් බහින්නම ඕනෑ. මාරපන ඇමැතිතුමා මේ වසර 3 1/2 ටම අපිත් එක්ක වචනයක් කතා කරලා නෑ. එතුමා අමාත්‍යාංශයට යනවද කියලත් අපි දන්නේ නෑ. ඔහු හා සමහර ඇමැතිවරුන්ට කතා කරන්න බෑ. ගියාම පිළිගන්නේ නෑ. රටේ හෝ පක්ෂයේ කිසිම දේකට එන්නේ නෑ. මාරපනලට එහෙම කරන්න බැරි නම් පක්ෂයට හා නායකයාට ආදරේ නම් ඔය තනතුරු දාලා යන්න ඕන. මොකද කාර්යක්ෂමව වැඩ කළ හැකි, පක්ෂයට කැපවෙන ඕන තරම් මිනිස්සු එජාපයේ ඉන්නවා. සාගල හා අකිල වගේ ඇමැතිවරුන්ගේ හැසිරීම ගැන සමහරු ප්‍රශ්න කරනවා. ඔබට ඒ ගැන ගැටලු නැද්ද? අනික පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව වෙනුවෙන් බෙල්ල දෙන කිරිඇල්ලට හිස් ගැසට් එකක් ලබා දී ඔහුගේ තටු කපා දැමීම ගැන පසුපෙළ හඬක් නගන්නේ නැද්ද? පැහැදිලිවම කිරිඇල්ල ඇමැතිතුමා පක්ෂයට හා ආණ්ඩුවට ජවයක් හා සම්පතක්. එතුමා පාක්ෂිකයා බලාගත්තු ඇමැති කෙනෙක්. පාර්ලිමේන්තුවේදී ඔහු තනිවම කරන කාර්යභාරය විස්මිතයි. එතුමාගේ තටු කපා දැමීමට එරෙහිව එජාප නායකත්වය ඍජු මැදිහත්වීමක් කළ යුතුයි. අපි ඒ සඳහා බල කරනවා. නායකතුමා වටේ ඉන්න එතුමා විනාශ කරන කාටහරි කිරිඇල්ලට වගේ වුණා නම් පක්ෂය මීට වඩා කාර්යක්ෂමව ඊට මැදිහත් වෙනවා. ඒ නිසා කිරිඇල්ල ඇමැතිතුමාට සාධාරණය ඉටු කිරීමට ජනපතිතුමා හා අගමැතිතුමා කඩිනම් පියවර ගත යුතුමයි. ගේම් එක පරාදවීමේ තරහ කිරිඇල්ල ඇමැතිතුමා පිටින් යවන්න ජනාධිපතිතුමාට ඉඩ දෙන්න බෑ. අනික සාගල, අකිල වගේ ඇමැතිවරු තම දුබලකම් වේගයෙන් නිවැරදි කරගන්නවා. ඒ ගැන අපි සතුටුයි. සියලු අැමැතිවරු කිරිඇල්ල ඇමැතිතුමා වගේ අය අනුගමනය කළ යුතු බව අපේ හැඟීමයි. එහෙම නොවී සඳළුතලවල දිගටම හිටියොත් අයවැය තම වැය ශීර්ෂය සම්මත කරන්න ඔය සමහර ඇමැතිවරුන්ට ග්‍රහලෝකවලින් මන්ත්‍රීවරු ගේන්න වේවි. අනික කිරිඇල්ල ඇමැතිතුමාට සාධාරණය ඉටුකිරීමේදී මංගල, නවීන් ඇමැතිතුමන්ලාගේ සහායත් ඊට ලබා දෙන්නයි අපි ඉල්ලනවා. මොකද එතුමාගේ සියලු වගකීම් ඒ ඇමැතිවරු දෙන්නටයි බෙදිලා ගිහින් තියෙන්නේ. සංස්ථා, මණ්ඩලවල තනතුරු සඳහා උපාධිය ඉල්ලන ජනපතිගේ කොන්දේසි ගැන එජාප පසුපෙළ ස්ථාවරය කෙබඳුද? මේක ගහෙන් ගෙඩි එන්න වගේ දාපු කොන්දේසියක් නිසා එහි සද්භාවය ගැන සැක පවතිනවා. ආණ්ඩුව ඇතුළෙ ගැටුම් නිර්මාණය කිරීම මෙහි පරමාර්ථය බව අපට තේරෙනවා. ඒත් මේ කොන්දේසිය ඉතා හොඳ බව අගමැතිගේ ස්ථාවරය නේද? ඒ ස්ථාවරයට පෞද්ගලිකව අප එකඟ විය යුතුද කියලා සංවාදයක් පක්ෂය තුළ තියෙනවා. ආයතන ප්‍රධානීන්ට, උපාධිය ඉල්ලන ජනාධිපතිතුමා ළඟදී ආණ්ඩුකාරවරු පත් කරනකොට ඒ කොන්දේසිය සලකා බැලුවද කියලා එහෙනම් අපටත් අහන්න වෙනවා. ග්‍රාම නිලධාරින් රාජ්‍ය නායකයෝ වෙලා ඉන්න රටවලුත් තියෙනවා. එහෙම සුදුසුකම් හොයන්න ගියොත් හෙන අවුල් ඇතිවෙනවා. ඒ නිසා රාජපක්ෂලාගේ ලණු කාලා ලෝකය හමුවේ අපකීර්තියට පත් ජනාධිපතිතුමා පොහොට්ටු ජනපති අපේක්ෂත්වය ගන්න එයාලා දෙන ලණු කාලා ආණ්ඩුව අවුල් කරන්න හදන එක වැරදියි. ඒකෙන් රටේ හා ජනතාවගේ වැඩයි අවුල් වෙන්නේ. දැන් ජනපති හා පොහොට්ටු පැණි වරකාවට හෙණ ගහල තියෙන්නේ. ජනාධිපතිතුමාට ඒකේ ජනපති අපේක්ෂකත්වය ලැබෙන්නේ නෑ. අනික ගෝඨාභය ඇමෙරිකන් පුරවැසිකම ඉවත් කරගත්තා කියන එකත් අලි බොරුවක්. මේ ජනපති තමන් පත් කරපු පක්ෂයට මේ තරම් වැරදි හා පහත් වැඩ දිගටම කළොත් යම් දවසක පාරේ බැහැල යන්න බැරි ජනතාව පිළිකුල් කරන චරිතයක් වේවි. ඒ නිසා මේ කෙටි කාලය තුළ හෝ ගෞරවනීය ලෙස හැසිරෙන්නැයි අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද එජාපයත් මුල්වෙලා පත් කරපු මේ ජනාධිපතිතුමා අප්‍රසන්නම හා පිලිකුල්ම චරිතයක් බවට පත්වෙනවට අපිත් කිසිසේත්ම කැමැති නෑ. එජාපෙට කවුරු මොන කෙනෙහිලිකම් කළත් ඊළඟ ජනපතිවරණය මෛත්‍රී - මහින්ද එකට තියලා පරද්දලා අපි දිනලා, මේ රටත්, ජනතාවත් ගොඩ ගන්නවා. එතැනදී ශ්‍රීලනිපයේ අද ඉන්න සියලු දෙනා අපේ සහායට එනවා. එහෙම නොවන අයට යන එන මං නැති වෙනවා. ජනාධිපතිතුමාත් මේ පසුබිම තේරුම්ගෙන වැඩ කිරීම එතුමාගේ පැත්තෙන් ඉතා වැදගත් වේවි. මොකද එතුමා සීමාව ඉක්මවා වැරදි දිගින් දිගටම කළොත් මුක්තිය නැති වූ දාට ඒ සියල්ලට වගකියන්න වෙනවා. එතැනදී අද කර උඩ තියාගෙන ඉන්න පොහොට්ටුවත්, අපට සහාය දේවි. මොකද කළගුණ අමතක කරන කෙනකුට වෙන්නේ මොකක්ද කියලා එදාට පෙනේවි. එතකොට එතුමාට හා ශ්‍රීලනිපයට වෙන්න ඕන සියලු විනාශයන් සිදුවෙලා ඉවරවෙලා තියේවි. ඊළඟ ජනපතිවරණයේ එජාපෙ අපේක්ෂකයා කව්ද? යළිත් පොදු කෙනෙක් කුලියට ගන්නවද? ඒ පුත්තලම් බූරුවා එජාපය විකුණලා ඉවරයි. රනිල්, කරු, සජිත්, රවි, නවීන් වගේ රට පිළිගත් නායකයෝ පිරිසක් අපිට ඉන්නවා. මේ අය හරියට කළමනාකරණය කරගත්තොත් එජාපයට දශක කීපයක් රට පාලනය කරන්න පුළුවන්. ළඟ එන ජනපතිවරණයට බහුතර ආකර්ෂණය ඇති ජනපති හා අගමැති අපේක්ෂක ‘‘දිනන ජොකියෝ’ අපි වෙලාවට දෙන්නම්. අපේ අත්දැකීම් බහුල කෘතහස්ත නායකතුමා හරි වෙලාවට හරි තීන්දුව ගනීවි. ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මානව හිමිකම් රකින ලෝකයත් එක්ක එකට යන සුළු ජාතීන්ට ගෞරව කරන පක්ෂය එජාපය නිසා ඊළඟ ජනපතිවරණ ජය අපට ඒකාන්ත ලෙස ලබා දෙන්න ජනතාව තීන්දු කරලා ඉවරයි. අපි රට කඩනවාය, පිටරටට විකුණනවාය කියලා වත්මන් විපක්ෂය හා ටීවී ඉදිරිපිට රඟපාන ඇතැම් හිමිවරු දශක ගණනක් පුරා කියන ගල්පැලෙන බොරුවට දැන් මේ රටේ ජනතාව අන්දන්න බෑ. අශෝක ජයතුංග
 

More News..