brand logo

අපේ පාපන්දුව අවුරුද්දකදී ලක්ෂ 5000ක්වි යදම් කළේ මොනවටද?

02 October 2022

එක දවසක කෑම ගේන්න ත්‍රීවිල් හයර් එක 52,500 යි

පාපන්දු සම්මේලනය ජාත්‍යන්තර තහනමක් අභියස සිටින බව ඉකුත්දා අහෝසි වූ පරිපාලනයේ සභාපති ධුරය දැරූ ජස්වර් ඔමාර් පවසයි. ඒ අතර පාපන්දු සම්මේලනයේ කෝටි ගණනින් නිකරුණෙ වියදම් කළ බවට ජස්වර් වෙත විවේචන එල්ල වේ. ජස්වර්ගේ පාර්ශ්වයෙන්ම නිලවරණයට ඉදිරිපත් වී උපසභාපති ධුරයට පත්වූ හිටපු සභාපතිවරයෙකු වන රන්ජිත් රොද්‍රිගූ මේ වන විට අංශක 180ක හැරවුමක සිටිමින් ජස්වර් ඔමාර්ගේ ක්‍රියා කලාපය පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට පටන්ගෙන ඇත. මේ රන්ජිත් රොද්‍රිගෝ සමග කළ කතා බහකි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අතුරු කමිටුවක් යටතට පත් කළොත් එය ජාත්‍යන්තර තහනමකට ලක් වේ යැයි ජස්වර් කරන අනතුරු හැඟවීම පදනම් සහිතද? විරහිතද? බොහෝ දුරට ක්‍රීඩා අමාත්‍යාංශය පාපන්දු සම්මේලනයට පාලන කමිටුවක් දමාවි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුවත් කර හැකි ඉක්මනට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිලවරණයක් පවත්වා කවුරුන් හෝ පත්කර ගන්නවානම් එහෙම තහනමකට ලක්වෙයි කියලා මම හිතන්නේ නැහැ. ලෝක පාපන්දු සම්මේලනය වේවා ආසියානු පාපන්දු සම්මේලනය වේවා මේ සියල්ලේ ව්‍යවස්ථා මෙම මූලස්ථාන පිහිටි රටවල නීතිය සමග නොගැටෙන ලෙසයි තිබෙන්නේ. වෙනම ව්‍යවස්ථාවක් තියෙනවා. ඉතින් අපේ රටේ නීතියට අනුව අපේ පාපන්දුව ගැන අපට තීරණ ගත නොහැකිද? රටේ නීතියට පළමුව ගරු කළ යුතුයි. රටේ නීතිය ඉවත දැමිය යුතුයි කියලා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කොතැනකවත් සඳහන් කරලා නැහැ. ඔවුන් කියන්නේ තෙවැනි පාර්ශ්වයක මැදිහත් වීමකින් තොරව, බලපෑමකින් තොරව කටයුතු කරන්න කියන එක විතරයි. එහෙම ගැටලුවක් නැතිනම් රටේ නීතිය අභිබවා යන්න කිසි කෙනෙක්ට හැකියාවක් නැහැ. ඔබ හිටපු සභාපති ජස්වර් ඔමාර් සමග එකම පිලක සිට ඡන්දයට ඉදිරිපත් වුණේ. නමුත් දැන් ඔබ දෙපිලකට වෙලා. මොකද මේ පැණි වරකා ගහට හෙන ගැහුවේ? පැහැදිලිවම ඔහුට උදව් කළා. ඔහුව සභාපති තනතුරට ගේන්න විශාල වැඩ කොටසක් මා විසින් කළා. මම නැත්නම් ඔහු සභාපති වෙන්නේ නැහැ. පළමු විධායක සභාවේදීම මම ඔහුට කිව්වේ බලය ලැබුණා වගේ නෙමෙයි බලය නිසි ආකාරයට විනිවිධ භාවයකින් යුතුව වැඩ කරන්න වගබලාගන්න කියලා. අපට ඡන්දය ලබා නොදුන් ලීගයන්ගෙන් පළිගන්න යන්නෙපා, හැකි ඉක්මනින් ව්‍යවස්ථා සංශෝධනයට ගිහින් නිසි වෙලාවට ඒවා සූදානම් කරගන්න කිව්වා. ඒ කිසිවක් ඔහු ඇහුවේ නැහැ. ඔහුට ඕනෙ විදිහට තරගාවලි පැවැත්වුවා. ඔහුට ඕනෑ විදිහට මුදල් පරිහරණය කළා. පාපන්දු සභාපති කඩල කඩේ මුදලාලි වගේ. කඩල තම්බන්නේ එයා. බදින්නේ එයා. ගොට්ට ගහන්නේ එයා. විකුණන්නෙත් එයා. මේක පෞද්ගලික ආයතනයක් නෙමෙයි. කිසිවෙකුට ඇහුන්කම් නොදී ඔහු අතින් දිගින් දිගටම ඒවා සිදුවුණා. ඔහුගේ පුද්ගලික ව්‍යාපාරයක් විදිහට තමයි මේක පවත්වාගෙන ගියේ. නමුත් මේවා දැක දැක ලේකම්ගේ සිට භාණ්ඩාගාරික දක්වා සියලුදෙනා නිශ්ශබ්දව සිටියා. නමුත් එහෙම ඉන්නේ කොහොමද? අපි පාපන්දුවෙන් ඇල්පෙ නෙත්තක්වත් දෙයක් අරන් නැහැ. අපි විසින් සභාපති පුටුවේ ඉන්දුවා කියලා වැරදි කරනවානම් තවදුරටත් අපි ඔහුත් සමග ඉන්නේ නැහැ. ජස්වර්ගේ වියදම් හා සභාපතිවරයෙක් ලෙසින් වූ හැසිරීම මේ රටේ පාපන්දු අනාගතයට නොවැදගත් කියලා ඔබ කියන්නේ කුමන පදනමකින්ද? ඡන්දයට ඉදිරිපත් වන විට විශාල ඡන්ද පොරොන්දු ඔහු විසින් ලබා දුන්නා. හරියට දේශපාලනඥයෙක් වගේ. විශාල ව්‍යාපෘති කරනවා කිව්වා. ඒ කිසිවක් ඔහු අතින් සිදු වූයේ නැහැ. නමුත් ඔහු පත් වූ 2021 වසරේ ජුනි මාසයේ පළමු වැනිදා සිට 2022 ජුනි 30 වැනිදා වෙනකොට ලක්ෂ 5000ක් වියදම් කරලා තියෙනවා. මමත් හිටපු පාපන්දු සභාපතිවරයෙක්. නමුත් මන් දන්න තරමින් මෙතෙක් කල් හිටපු එක සභාපතිවරයෙක් වත් වාර්ෂිකව එවැනි මුදලක් මෙතෙක් කාලයකට වියදම් කරලා නැහැ. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති සිව්කොන් පාපන්දු තරගාවලියේ කෑම බීමට පමණක් මිලියන 30ක මුදලක් ගෙවා තිබුණා. ඊට පස්සේ තව සින්දුවක් කළා ලක්ෂ 100ක් වියදම් කරලා. අපේ රටේ පාපන්දුවක් ගන්න බැරි ක්‍රීඩා සමාජ කීයක් තිබෙනවාද? ළමයින්ට ක්‍රීඩා කරන්න පාපන්දුවක් ලබාදෙන එකද වැදගත්, නැතිනම් කෝටියක් වියදම් කරලා සින්දුවක් කරන එකද? මේ වසරක කාලයේ කිසිදු අනුග්‍රාහකයෙකුගෙන් එක රුපියලක් ගෙනල්ලා නැහැ. අනිත් කාරණය තමයි දේශපාලනඥයන්ව සනසන්න මේකට සම්බන්ධ කරගන්න එපා කියලා අපි කිව්වා. සමහර දේශපාලනඥයන්ව මාලදිවයිනේ සාෆ් තරගාවලියට අරන් ගියා. සමහර අයව කටාර් අරන් ගියා. දේශීය අනුග්‍රාහකයන් නොසිටි බව ඔබ පවසනවා නම් මේ මුදල් පාපන්දු සම්මේලනයෙන් ලැබුණු ඒවා විය යුතුයිනේ. ඒවා හිතුමනාපේ වියදම් කරද්දි, ඇයි ආසියානු සම්මේලනය හෝ ෆිෆා එක දැනුවත් කරන්න කටයුතු කළේ නැත්තේ? ඇයි ඒ වියදම්වලට නියාමනයක් නොතිබුණෙ? මොහු සභාපති බවට පත්වෙනකොට ඩොලරයේ වටිනාකම තිබුණේ රුපියල් 185ක් පමණ. ඩොලර් ලක්ෂ 16ක් තිබුණා. ඒවගේ වටිනාකම රුපියල් ලක්ෂ 4000ක් පමණ. මම දැක්කා මේ ඊයේ පෙරේදා ඇමතිතුමාට පිළිතුරු ලෙස අවුරුද්දට ඩොලර් මිලියන 1.5යි හම්බවෙන්නේ කියලා. නමුත් එයා අමතක කරලා තියෙනවා ඩොලර් මිලියන 1.6ක් ඔහු පාපන්දු සම්මේලනය භාර ගනිද්දිම තිබුණා කියලා. 2019, 20 සහ 21 කොවිඩ් කාලයේ අපිට මුදල් ආවා. උද්ගත තත්ත්වය යටතේ ඒ මුදල විය පැහැදම් කරන්න ඉසව් යෙදුණෙ නැහැ. ඒ නිසා විශාල මුදලක් ඉතිරි වුණා. එතකොට ඒ මුදල් භාවිතා කරන්න තිබුණු කොන්දේසි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ඉවත් කළා. ඒ නිසා තමයි මොවුන්ට කිසි ගැටලුවක් නැතිව වියදම් කරන්න හැකි වුණේ. රටවල් තුනක් ගෙනල්ලා තරගාවලියක් පවත්වන්න විතරක් අපි ලක්ෂ 1400කට වැඩි මුදලක් වැය කරලා තියෙනවා. සභාපතිගේ කාමරය සහ සෙසු කාමර හදන්න විතරක් ලක්ෂ 500ක් වියදම් කරලා තියෙනවා. මේවා අපේ පරිමාණයෙන් මහා විශාල වියදම් වුණාට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ පරිමානයට අනුව ගත්විට ඔවුනට මේවා මහා වියදම් ලෙස පෙනෙයිද? අපි ජාත්‍යන්තරයට පැමිණිල කරනවාද කියන එක නෙමෙයි වැඩේ, අපි බලන්න ඕනේ අපිට ලැබුණු මුදල් උපරිමයෙන් ඉතිරි කරලා පාපන්දුවේ සංවර්ධනයට යොදවන්න. නමුත් ජස්වර් පසුගියදා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණා ඔවුන් පෙර නොවූ විරූ ලෙස ඉකුත් සමයේ ජාත්‍යන්තර තරග අවස්ථා ශ්‍රී ලංකා කණ්ඩායම්වලට ලබාදුන් බව? පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ජස්වර් ඔමාර් කියලා තිබුණා අපි ජාත්‍යන්තර තරග 31ක් ක්‍රීඩා කරලා තියෙනවා කියලා. එතැනදි බලන්න ඕනේ, ඒ තරගවලදී අපිට එරෙහිව ගෝල කීයක් වාර්තාවෙලා තියෙනවාද කියලා. මම හිතන්නේ ඒ තරගයන්හිදී අපිට එරෙහිව ප්‍රතිවාදීන් ගෝල 100කට වැඩිය වාර්තා කරලා තිබුණා. අපි තරග කීයක්ද ජයග්‍රහණය කරලා තියෙන්නේ? අපේ ජයග්‍රහණ ප්‍රතිශතය තියෙන්නේ සියයට පහක් වැනි අගයක. අද අපේ ජාතික කණ්ඩායම ඉන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 207 වැනි තැන. ක්‍රීඩාව එතැනට වැටුණත් කළ යුත්ත මොකක්ද කියන එක ඔහුට දැනිලා නැහැ. එක ජාත්‍යන්තර තරගාවලියක් පවත්වද්දී ත්‍රීවීල් රථයක වරකට රුපියල් 17500 ගානේ කුලිය ගෙවලා කෑම එක ගෙන්වන්න පමණක් එක දවසේ තුන් වතාවක් ත්‍රීවීල් එක යවලා තියෙනවා. ඒ කියන්නේ කෑම ගෙන්වන්න විතරක් දවසේ ත්‍රීවීල් ගාස්තුව 52500ක්. මේකද තරගාවලි පැවැත්වීමේ බලාපොරොත්තුව. කෝ මේ රටේ එදා අපි ක්‍රීඩකයන්ව ක්‍රීඩිකාවන්ව ඉදිරියට ගේන්න අපි එදා පවත්වපු දේශීය තරගාවලි. කෝ බීච් ෆුට්බෝල්, කෝ ෆුට්සාල්? ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..