brand logo

අපේ ක්‍රීඩකයන්ට සංගගෙන් උපදෙසක්

21 June 2021

විවාදයක් නැත. ඔහු මෙරට පමණක් නොව සමස්ත ක්‍රිකට් ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටයන් අතර විශිෂ්ටතමයෙකි. හුදෙක් ක්‍රීඩකයකුගේ ලක්ෂණ අභිභවා ගිය ඔහු තුළ නිසඟයෙන්ම රැඳුණු අපූර්ව පෞරුෂයක්, චතුර කථිකත්වයක්, මෙන්ම ක්‍රීඩාවට පමණක් සීමා නොවුණු 'සියල්ලෙහි නිපුන්' හෙවත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'ඕල් රවුන්ඩර්' කෙනෙක් ජීවත් වෙයි. එනිසාම පිටිය මැද 'රඟ මඬලෙන්' බැස ගියද නිබදවම ඔහුගේ නම ජාත්‍යන්තරයේ කියැවෙයි. එම්.සී.සී ය වැනි දැවැන්ත සම්ප්‍රදායික ව්‍යුහයන් ආදිය මෙතෙක් කරපින්නාගෙන පැමිණි සිය මහා සම්ප්‍රදායන් පවා වෙනස් කර පාවඩ හෙළා ඔහුව එහි මහ පුටුව දක්වා රැගෙන යයි. ඒ ගෞරවයට තවත් ප්‍රභාවක් එක්කරමින් ලොව එතෙක් මෙතෙක් බිහිවූ ක්‍රිකට් ශ්‍රේෂ්ඨයන්ගේ ලැයිස්තුව හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉකුත්දා නම් කළ 'හෝල් ඔප් ෆ්ලේම්' ලැයිස්තුවේ නූතන යුගයේ ක්‍රිකට් චරිතය ලෙසින් ගෞරවයට පත් කුමාර සංගක්කාර නම් ඒ අපූර්ව චරිතය මෙලෙසින් 'සති අග අරුණ' සමග පිළිසඳරකට එක්වූයේ නවසීලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ සිය විස්තර වගකීම ඇරඹීමට පැය කිහිපයකට මත්තෙනි. එතෙර රැඳී සිටියදී පවා කොවිඩ් හේතුවෙන් අසරණ වූ මෙරට වැසියන් දහස් ගණනක් වෙනුවෙන් 'අඬ බෙර නැති' සත්කාරයක් මෙහෙයවමින් සිටි ඔහු සිය කාර්ය බහුල දින චරියාව තුළ පවා අප නැගූ පැනයන්ට පූර්ණ පිළිතුරු ලබාදීමේ සංයමයකින් යුක්ත විය.

පසුගියදා ඔබට හිමිවූ හෝල් ඔෆ් ෆ්ලේම් සම්මානය ගැන මොකද හිත්නේ. මෙය ජීවිතයේ කවර හෝ මොහොතක ලැබිය යුතු දෙයක් කියලා හිතාගෙන හිටිය දෙයක්ද? සම්මානය ගැන දැන ගත්තේ කොහොමද?

අයි.සී.සී. හෝල් ඔෆ් ෆ්ලේම් කියන වැඩපිළිවෙළ පටන් අරගෙන දැන් අවුරුදු කිහිපයක් වෙනවා. වසරින් වසර වකවානු කිහිපයක ක්‍රීඩකයන් අතරින් ඔවුන්ගේ ක්‍රිකට් දිවිය පුරා දක්වපු දස්කම් මතින් තෝරාගත් පිරිසක් ඒ ලැයිස්තුවට ඇතුළත් කරනවා. මේ දේ මම බලාපොරොත්තු වුණ දෙයකුත් නෙමෙයි. එහෙම හිතාගෙන හිටපු දෙයකුත් නෙමෙයි. නමුත් එය ලැබීම මට ලොකු භාග්‍යයක්. මුලින්ම ඒ පිළිබඳව අයි.සී.සී.ය ඊමේල් පණිවුඩයක් මගින් මට දැනුම් දුන්නා. මේ ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියට පෙර ඔවුන් ඒ නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කළා.

මෙවර කී දෙනෙක් අතරින් පෙරණයට ලක්වෙලාද ඔබ මේ විශිෂ්ටයන්ගේ ලැයිස්තුවට එක්වන්නේ?

මෙය තෝරා ගැනීමේදී අයි.සී.සී. යේ කමිටුවක් තියෙනවා. වකවානු කිහිපයක ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවක් ඔවුන් වෙත යොමු කරලා, ඔවුන්ගේ අදහස්, ඔවුන්ගේ තක්සේරුව සහ ඒ ක්‍රීඩකයන්ගේ දස්කම් ආදී සියලුදේම බලලා තමයි ඔවුන් ඒ තීරණය ගන්නේ. ඒ ගැන මම හරියටම දන්නේ එපමණයි.

ලොව පළමු ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය තවත් පැය කිහිපයකින් ඇ‍රඹෙනවා. මේ ඓතිහාසික අවස්ථාවට එක්තරා අංශයකින් ඔබවත් තොරාගනු ලබනවා. ඒ ගැන හිතෙන්නේ මොකක්ද?

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරගයේ විස්තර විචාරකයෙකු වශයෙන් මම සම්බන්ධ වෙනවා. මම හිතන්නේ ඒ අවුරුදු දෙකක කාල සීමාව තුළ හොඳටම දස්කම් දක්වපු ටෙස්ට් කණ්ඩායම් දෙක තමයි මේ සඳහා තේරී පත්වුණේ. ඉදිරි දින පහ තුළ තියුණු සහ හොඳ තරගයක් පැවැත්වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා.

මේ වගේ ඓතිහාසික අවස්ථාවක විස්තර විචාරකයෙකු හැටියට සහභාගි වීමට ලැබීමත් භාග්‍යයක්?

ඔව්. ලෝකයේ ටෙස්ට් ක්‍රිකට්වලට තියෙන ජනප්‍රියත්වය යම් කිසි මට්ටමකට අඩුවෙමින් පවතින අවස්ථාවක ඒ සඳහා ප්‍රේක්ෂකයන්ගේ තියෙන අවධානය නැවත පණගන්වන්න තමයි මෙවැනි තරගාවලි අලුතෙන් නිර්මාණය කරන්නේ. මම හිතන්නේ ඒක ඉතාමත් හොඳ වැඩපිළිවෙළක්. ක්‍රීඩකයන්ටත් විශාල වගකීමක් තියෙනවා ප්‍රේක්ෂකයන්ගේ ඒ අවධානය ඉතාමත් හොඳින් ආකර්ෂණය කරගෙන, ටෙස්ට් තරග නැරඹීමට තියෙන ආශාව වැඩිවෙන විදිහට පිටියේ ක්‍රීඩා කරන්න. එවැනි ඓතිහාසික තරගයකට සම්බන්ධවීමට ලැබීම, ඔව් ලොකු වාසනාවක්.

අයි.පී.එල්. තරගාවලියේ රාජස්තාන් රොයල්ස් පිලේ වෙනදාට වඩා වෙනස් වගකීමක් ලැබුණා. ඒ වගකීම සහ එයින් ලබාගත් අත්දැකීම් ගැනත් කතා කරමු.

රාජස්තාන් රෝයල්ස් පිලේ ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුර මම භාර ගත්තේ. ඉතින් අලුත් අත්දැකීමක්. කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් ඉතාමත් හොඳයි. වයිරස තත්ත්වය හමුවේ අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියර කල් ගියා. එහි දෙවැනි අදියර ලබන සැප්තැම්බර් මාසයේ අග භාගයේ ක්‍රීඩා කරන්න තීරණය වෙලා තියෙනවා. මම හිතන්නේ වගකීම තියෙන්නේ ක්‍රීඩකයන්ව හරි ආකාරව බලාගෙන ඔවුන්ගේ දක්ෂතා ඉස්මතුවෙන විදිහට ඔවුන්ව කළමනාකාරණය කිරීම. ඉතින් ඒක ලොකු වගකීමක්. ඉතාමත් හොඳ අභියෝගයක්. ඉදිරියේදී බලන්න ඕනේ කොයි විදිහටද ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් කියලා. රාජස්තාන් රෝයල්ස් සංචිතයේ හිටපු ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ටම ශාරීරික ආබාධ සහ කොවිඩ් හේතුවෙන් උද්ගතවී ඇති සංචාරක බාධා ගැටලු නිසා දෙවැනි කොටසේ මුල් භාගයට සහභාගි වෙන්න බැරිවෙයි. නමුත් ඒ හැරුණු විට ඉතිරි ක්‍රීඩකයන්ගෙන් දස්කම් සහිත ක්‍රිඩකයන් තෝරා බේරාගෙන තරගාවලියට සහභාගි වෙන්නයි බලාපොරොත්තුව.

එහිදී ඇත්තටම තියෙන්නේ පරිපාලන වගකීමක්ද? පුහුණු වගකීමක්ද? ඒ දෙකම මිශ්‍ර වගකීමක්ද ?

මේ අවුරුද්දට තියෙන්නේ ඒ දෙකම මිශ්‍ර වගකීමක්. රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට අවශ්‍ය පුහුණුකරුවන්, ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ආදී ඒ සියලුදේම දිගුකාලීනව තරග ජයග්‍රහණයට සරිලන සේ නිර්මාණය කරලා හරි තැනට හරි උදවිය තෝරණ වගකීමත් ඒත් එක්කම එනවා. මම හිතන්නේ ඔවුන්ගේ අයි.පී.එල්. කණ්ඩායමේ සිට පුහුණුවීම් සංචිත, පුහුණු කඳවුරු, පුහුණු පහසුකම් ඒ අතරතුර සිටින පුහුණුකරුවන්, කළමණාකරුවන් සියලුදෙනා ගැනම අවධානය යොමුකරලා එහි පදනම නිර්මාණය කිරීම තමයි මගේ විශේෂිත වගකීම වෙන්නේ.

ඉන්දියාවේ කොවිඩ් බරපතළම වූ කාලයකනේ අයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙන්නේ. ජෛව ආරක්ෂණ බුබුලත් බිඳගෙන කොවිඩ් මතුවෙන්න ගත්තා. ඒ වෙලාවේ එවැනි පරිසරයක ඉන්න අතරේ හිතට දැණුනු දේ කිව්වොත්?

බොහෝ දෙනා කනස්සල්ල පල කළා. ඒ වගේම පවුලේ අයගේ, මිතුරන්ගේ යම්කිසි අන්දමක බයක්, චකිතයක් තිබුණා. ඒ වගේම ක්‍රීඩකයන්ගේ පවුල්වල හුඟක් සාමාජිකයන්ට කොවිඩි වැලඳිලා තිබුණා. එවැනි අවස්ථාවක අයි.පී.එල්. තරගාවලියට යොදවන ඒ පහසුකම්, ඒ අවධානය, මිල මුදල් ආදී සියලු සම්පත් තරගාවලිය කල් දමා කොවිඩි මර්දනය කිරීමේ සටනට එක්කර ගැනීම නේද යෝග්‍ය වෙන්නේ කියන ප්‍රශ්නය තරගාවලිය අතරතුර මතුවුණා. මම හිතන්නේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ සියලුම අයිතිකරුවන් එකතුවෙලා කොවිඩ් සටනට ඩොලර් මිලියනයක් ලබා දුන්නා. ඒ ප්‍රශ්නය මතුවීමත් එක්කම ක්‍රීඩකයන්, පුහුණුකරුවන් එහි සමාජිකයන් සියලුදෙනාම ඒ ගැන කතා කිරීමත් සමගම තරගාවලිය කල් දාන්න තීරණය කළා. තරගාවලියට යොදවන සියලු සම්පත් කොවිඩ් මර්දනය කිරීමේ සටනට, ජීවිත බේරා ගැනීමේ සටනට එක් කිරීමට ගත් තීරණයත් සමග අප සියලුදෙනාම නැවතත් අපේ රටවල් වලට යන්න යොදාගත්තා. ඒ මොහොතේ තරගාවලිය කල් දමා ක්‍රීඩකයන්, ඒ අයගේ පවුල්, තරගාවලියට සහභාගි වූ සියලුදෙනාගේ සෞඛ්‍යආරක්ෂාව සහ රටේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා කටයුතු කිරීම ඉතාමත් හොඳ තීරණයක්.

එම්.සී.සී. හෙවත් මාලිබෝල් ක්‍රිකට් සමාජයේ සභාපති ලෙසින් ඔබේ ධුර කාලයේ අවසානයට සමීප වෙලා තියෙනවා. උද්ගත වයිරස තත්ත්වයත් සමග එහි ඔබට තිබුණු වගකීම් ඉටු කරගන්න පුළුවන් වුණාද?

එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ පැවරී තිබුණු වගකීම් සෑහෙන ප්‍රමාණයක් ඉටු කරන්න අවස්ථාව ලැබුණා. සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්න මට ලැබී තිබුණු අවුරුද්දක කාල සීමාව අවුරුදු දෙකක් දක්වා දීර්ඝ කිරීමට එහි සාමාජිකයන් කැමැති වුණා. මේ ඔක්තෝබර් මාසය වන විට මගේ ධුර කාලය අවසන් වෙනවා. කොවිඩි නිසා පැන නැගුණු ලෝඩ්ස් සහ එම්.සී.සී. ප්‍රශ්න හරියාකාරව විසඳගෙන ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ අලුත් ක්‍රීඩාගාර දෙකක් අලුතෙන් ගොඩනැගුවා. එංගලන්ත පවුම් මිලියන 54ක් වැය කරමින් ඉදිකළ ගොඩනැගිලි දෙක ඉතාමත් සාර්ථක අන්දමට අවසන් කරලා ප්‍රේක්ෂකයන්ට විවෘත කරලා තියෙනවා. ඒ ක්‍රීඩාගාර දෙක තට්ටු දෙකකට තියෙන්නේ. එහි උඩම තට්ටුව මම හිතන්නේ තව සුමාන දෙක තුනකින් ප්‍රේක්ෂකයාට විවෘත කරනවා. ඒ වගේම එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ පාලන ව්‍යුහයත් ප්‍රතිසංස්කරණය කළා. ඒක අවුරුදු දෙක තුනක ඉඳන් මෙහෙයුමක්, එයත් හරියාකාරව ඉටු වුණා. වසර 234ක් පැරණි ක්‍රිකට් සමාජයේ මගෙන් පසුව සභාපතිත්වය භාර ගැනීම සඳහා ක්ලෙයාර් කොනර් මැතිනියට මම ආරාධනා කළා. එම ආරාධනාවට ඇය කැමැති වුණා. එම්.සී.සී. ක්‍රිකට් සමාජ ඉතිහාසයේ පළමුවෙනි කාන්තා සභාපතිනිය හැටියට ඇය ලබන ඔක්තෝබර් මාසයේ පත් වෙනවා.

ලංකාවේ ක්‍රිකට් ගැනත් කතා කරමු නේද?

මේ මොහොතේ ජාතික කණ්ඩායම වැඩි අවස්ථාව, වැඩි බලාපොරොත්තු රැඳෙන්නේ තරුණ ජවය මතයි. සමහර විට ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ සාමාජිකයෙක් හැටියට එවැනි දෙයක් තීරණය කිරීමේදී ඔබටත් වගකීමක් පැවරෙනවා. නමුත් ඔබ අවුරුදු 36ක් 37ක් වෙනතුරු ජාතික කණ්ඩායමට දායකත්වය දුන්නා. එසේ තිබියදී ‍ජ්‍යෙෂ්ඨයන් අවම කණ්ඩායමක් බිහිවීම ඔබ දකින්නේ කොහොමද ?

මම හිතන්නේ කණ්ඩායමක් ගොඩ නැගෙද්දි ළාබාල ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබාදෙන්න ඕනේ. ඒ වගේම අත්දැකීම් තියෙන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉන්නවානම් ඔවුන්ගේ දස්කම් දිගින් දිගටම පවත්වාගෙන යන්නත් ඕනේ. ළාබාල, ජ්‍යෙෂ්ඨ කියන ක්‍රීඩකයන් සියලුදෙනාගේම අවසාන රැඳීම තීරණය වෙන්නේ ඔවුන්ගේ දස්කම් මත. එක තරගාවලියක නෙමෙයි තරගාවලි කිහිපයක දිගින් දිගටම මාසයක් මාසයක් පාසා වසරක් වසරක් පාසා තමන්ගේ දස්කම් උපරිම අන්දමින් තියාගන්න ඕනේ. ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වගකීම. ජ්‍යෙෂ්ඨයෙක් වෙන්න වෙන්න තමන්ට තියෙන වගකීම වැඩි වෙනවා. ක්‍රිකට් කණ්ඩායමේ රැඳී සිටීම ජ්‍යෙෂ්ඨත්වය මත හෝ අත්දැකීම් මත පමණක් නෙමෙයි රඳා පවතින්නේ. ඒ සියලුදේම ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ දස්කම්, තමන්ගේ කණ්ඩායමේ ඉන්න හෝ තමන්ගේ ස්ථානයට තරග කරන හෝ රටේ ඉන්න ක්‍රීඩකයන්ටත් වැඩියෙන් පවත්වාගැනීම විතරක් නෙමෙයි, ජාත්‍යන්තරයේ ක්‍රීඩා කරන, අනෙක් රටවල සිටින ක්‍රීඩකයන් හා සන්සන්දනය කොට ඒ හා සමානවම හෝ එයටත් වඩා දස්කම් දක්වන්නයි සියලුදෙනාම පෙලඹෙන්න ඕනේ. මම හිතන්නේ සෑම රටකම ක්‍රිකට් තේරීම් කමිටුව ඒ සියලු දේ ගැනම බලනවා. ළාබාල ක්‍රීඩකයන් වැඩි වැඩියෙන් එන්න හේතු වෙන්නේ සමහරක් වෙලාවට කණ්ඩායමේ ජවය අලුත් කරන්න වෙන්න පුළුවන්. ජාතික කණ්ඩායමේ අවස්ථාව ලබන ක්‍රීඩකයන්ගේ දක්ෂතා කඩින් කඩ පමණක් ඉස්මතු වෙනවා නම්, ඒ කියන්නේ දක්ෂතා එකදිගට දිගුකාලීනව තියෙන්නේ නැත්නම් තමයි මම හිතන විදිහට එහෙම වැඩි වශයෙන් යොවුන් ක්‍රීඩකයන් එන්නේ. එතකොට එන ළාබාල ක්‍රීඩකයන්ට සාධාරණයක් කරන්න අවශ්‍ය නම් ඔවුන්ටත් දිගුකාලීන අත්දැකීමක් ලබා දෙන්න, ඔවුන් දක්ෂතා අතර තබාගෙන ඔවුන්ව පරිණත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් බවට පත් කිරීමටත් වගකීමක් තියෙනවා. මේ වගේ සංයුතියක් හොඳම විදිහට හැමවෙලේම ක්‍රියාත්මක වෙනවාය කියල නිශ්චිතවම කියන එක ඉතාමත් අමාරුයි. ඒක තේරිම් කමිටුවකට ලොකු අභියෝගයක්. මම හිතන්නේ තීරණ ගනිද්දී බොහෝ වේලාවට විවේචන එල්ල වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. තමන් හිතට එකඟව තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ශක්තිමත් කරලා ලෝකයේ ඉන්න හොඳම කණ්ඩායමක් බවට පත් කරන්න තියෙන අධිෂ්ඨානයෙන් ඒ තීරණ ගන්නවානම්, ඒ වගේම දිගුකාලීන, කෙටිකාලීන මධ්‍යකාලීන කියන ඒ සැලසුම් සියලුදේ හරියට බලලා හරි පහසුකම් එක්ක හරි පුද්ගලයන් එක්ක හරි ක්‍රිඩකයන් එක්ක ඉදිරියට යන්න පුළුවන්නම් තමයි හොඳම. ඉතින් මේක තමයි මම හිතන්නේ තියෙන ලොකුම වගකීම. අමාරුම කාර්යයක් තමයි තේරීම් කමිටුවකට තියෙන්නේ. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කියන්නේ පොදුවේ කණ්ඩායමට නායකත්වය දෙන්න ඕනේ පිරිසක්. නායකත්වය කින්නේ කණ්ඩායමේ නායකයා විතරක් නෙමෙයි. මම හිතන්නේ කණ්ඩායම් වල සිටින නායකත්වය පිළිඹිබු කරන ඒ පෞරුෂය තියෙන අය හරියාකාරව තරුණ ක්‍රීඩකයන්ට මග පෙන්වන්න ඕනේ. ඒ වගේම නැවතත් මම කියනවා, තමන්ගේ දස්කම් තමන්ගේ හැකියාවන් සංසන්දනය කරන්න ඕනේ ජාත්‍යන්තරයේ ඉන්න හොඳම ක්‍රිඩකයන් සමග. ඒ මට්ටමට තමයි ක්‍රීඩකයන් හැටියටත් කණ්ඩායමක් හැටියටත් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ මට්ටමට තරග කළොත් තමයි ලෝකේ ඉන්න හොඳම කණ්ඩායම පරාජය කරන්න පුළුවන් වෙන්නෙ. ඉතින් ඒ විදිහට මානසිකත්වය හදාගෙන ඉදිරියට යන්න පුළුවන්නම් ඉතාමත් හොඳයි.

ඔබට ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක් හැටියටත් වගකීම් පැවරිලා තියෙනවා. ඔය අකාරයෙන් විදේශ ගතවීම් රැසක්, කාර්ය බහුලත්වයක් යටතේ කොහොමද ඒ වගකීම ඉටුකරන්නේ. විශේෂයෙන්ම රැස්වීම්වලට සහභාගී වීම ආදිය....

සූම් වීඩියෝ තාක්ෂණය මගින් රැස්වීම් පවත්වනවා. උද්ගත වයිරස තත්ත්වය හමුවේ ඇති වූ ප්‍රශ්න සහ ගැටලු මත සෑහෙන පිරිසක් ඒ තත්ත්වයට හුරුවෙලා තියෙනවා. ඒක පිරිසට සෑහෙන පහසුවක් වෙලා තියෙනවා. ඒ අකාරයට අපි සියලුදෙනාගේම කටයුතු කරගෙන යනවා. කාට හෝ එක තැනකට එන්න බැරිනම් හැම වෙලාවෙම තාක්ෂණය මගින් සම්බන්ධ කරන්න අවස්ථාවක් එළැඹිලා තියෙනවා. ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..