brand logo

අපේ ඉස්කෝලෙ වැ​ෙහයිද?

11 January 2020

දවසින් දවස වසරින් වසර ගෙවෙද්දී යමක් දියුණුවෙන් දියුණුවට පත්වීම සාමාන්‍යයෙන් සිදු​වන්නකි. ඒත් දවසින් දවස ගෙවී වසර සියයකුත් යද්දී මරදම්මඩුව රජයේ සිංහල පාසලට සිදුව ඇත්තේ ඒ ධර්මතාවයේ අනෙක් පැත්තයි. පවුල් 232ක් වසන මරදම්මඩුව ගමේ මේ ඉස්​කෝලේ සමහර කාලවල දරුවන් සියයට වඩා පිරිසක් අධ්‍යාපනය ලබා ඇත. පළමු ශ්‍රේණියේ සිට 9 දක්වා පන්ති තිබී ඇත. ඒ ළමයින්ට පහට වඩා ගුරුවරුන් සිට ඇත. ඒත් සියවසක් සපුරද්දී අද මේ විද්‍යාලයේ සිටින්නේ දරුවන් 35 දෙනෙක් පමණි. පන්ති පැවැත්වෙන්නේ එකේ සිට පහට වන අතර ඒ දරුවන් වෙනුවෙන් පාසලට සිටින්නේ ගුරුවරුන් හතර දෙනෙකි. ඒ විදුහල්පතිනියත් දෙමළ උගන්වන ගුරුවරියත්, ඉංග්‍රීසි උගන්වන ගුරුවරිය හා චමිලා ගුරුවරියයි. මේ පාසල ප්‍රාථමික පාසලක් වී ඇතත් එකම ප්‍රාථමික ගුරුවරයෙක් හෝ ඔවුන් අතරේ නැතිවීම ද විශේෂය. මරදම්මඩුව රජයේ සිංහල මිශ්‍ර පාසල ඇත්තේ වව්නියා සිංහල දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. එහි තැන තැන විසිරී ඇති ගම්මාන අතරේ ‘මරදම්මඩුව’ ගම හුදකලාව ගම්මානයක් ලෙස තනිව ඇත. මැදවච්චිය නගරයේ සිට කිලෝමීටර් 18ක් මන්නාරම් පාරේ ගොස් නෙරියකුලම් මාංකුලම් සිංහ කණුව අසලින් වමට හැරී තවත් කිලෝමීටර් දෙකක් ගිය තැන මරදම්මඩු ගම්මානය හමුවේ. කලක් මායිම් ගම්මානයක් ලෙස අනේක දුක් ගැහැට විඳි මරදම්මඩුව ගම්මානයේ මේ පාසල යුද්ධ කාලයේ වැසී තිබුණේ වසර හතරක් පමණි. එදා මෙදා තුර මේ පාසල අඛණ්ඩව පැවතුණේය. ‘‘මේ වෙන​ කොට අපේ ගමේ ඉස්කෝලේ දිහා කිසිම බලධාරියෙක් ඇහැක් ඇරලා බලන්නේ නෑ. මරදම්මඩුව ඉස්කෝලෙ පටන් අරන් තියෙන්නේ 1919 දී. මේ 2020 අවුරුද්ද. හරියටම මේ ඉස්කෝලෙට අවුරුදු සීයක් වයසයි. මේ අවුරුද්දට ළමයි 20ක් ඇතුළු වුණා. චමිලා ටීචර් 1 වසර භාර ගත්තා. දැන් දෙකට ටීචර් කෙනෙක් නෑ. 2, 3, 4, 5 පන්ති භාර ගුරුවරයෙක් නෑ. අපි දෙමාපියන් එක්කාසු වෙලා ගිය අවුරුද්දෙ පස් වතාවක් ගුරුවරු ඉල්ලන්න වව්නියාව කොට්ඨාස කාර්යාලෙට ගියා. අන්තිමට ලැබුණ උත්තරේ තමයි අපිව එළියට දාලා ගේට්ටු වහපු එක. මරදම්මඩුව රජයේ සිංහල මිශ්‍ර පාසලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් එම්. ඩබ්ලිව්. කුසුමාවතී ඒ කිව්වේ බලධාරීන් නොදන්නා නැත්නම් දැනගෙන නොදන්නා සේ ඉන්නා මරදම්මඩුව ගමම දන්නා කතාවයි. පාසල ඇත්තේ දුෂ්කර ඉමකය. ඒ පාසලට යන්නේ ඒ දුෂ්කර ගමේ ජීවත්වන දරුවන්ය. ඒත් ඔවුන්ට ද ඕනෑ හොඳින් ඉගෙනගෙන ලෝකය දකින්නටයි. ඉගෙන ගන්නට ආසාවක් උවමනාවක් දක්ෂකමක් ඇති මේ දරුවන් දක්ෂයන් නොවේ යැයි කියා කාටත් කියන්නටත් බැරිය. හැබැයි ඒ දක්ෂකම් දිලෙන්නට නම් ඒ දරුවන්ට ඒ සඳහා අවම පහසුකම් තිබීමත් වැදගත්ය. ගියවර අඩු ප්‍රතිශතයකින් වුව දරුවෝ කීප දෙනෙක් ශිෂ්‍යත්වය පාස් වී සිටියහ. එමෙන්ම කොට්ඨාසයේ පාසල් අතර තරගවලදී ද මේ දරුවෝ දස්කම් පාන්නේය. එලෙස ජන ගායනා තරගයෙන් ප්‍රථම හා දෙවන ස්ථාන දිනූ දරුවන්ටද අත්අකුරු තරගයෙන් පළමු හා දෙවන ස්ථාන දිනූ දරුවන්ට ද සුබපැතූ බැනර් තවමත් පාසල් තාප්පයේ දැවටී ඇත. පාසලේ දැන් සිටිනුයේ විදුහල්පතිනියකි. ඈ අශෝකා අයිරාංගනීය. ඇයද මේ දරුවන්ගේ ඇස් පෑදීම වෙනුවෙන් අපමණක් වෙහෙසෙන ගුරුමවකි. ‘‘දැන් අවුරුදු දෙකක ඉඳලා ලොකු මිස් රම්බකුලමේ ඉඳලා කිලෝමීටර් 10කට වඩා දුර හැමදාම එනවා. ඒ ඇවිත් රෑ 8 - 9 වෙනකල් ඉස්කෝලෙ උගන්වනවා. රෑ වෙලා ගෙදර යන්නේ අලිකටවල් මැදින්ය. මිස්, පඩියෙන් දරුවන්ගේ ඉගෙනීමට ප්‍රශ්නපත්‍ර කට්ටල ගෙනත් දෙන්නේ. තව අවශ්‍ය දේවල් ගෙනත් දෙනවා. අනේ ඇත්තටම අශෝකා මිස් හරියට මහන්සි වෙනවා.’’ වසර සීයකට පෙර පොල් අතු මඩුවක ඇරඹි මරදම්මඩුව පාසල අද ගොඩනැගිලි දෙකකින් සමන්විතය. ඒත් ඒ ගොඩනැගිලි දෙකත් වහින විට තෙමෙයි. වැහි දවසට වහලෙන් වැටෙන වතුරෙන් පන්ති කාමර බේරී යන්නේ ගොඩනැගිල්ල ඉදිකළ කොන්ත්‍රාත්කරුගේ අවිධිමත් ඉදිකිරීමේ බලපෑමකින් බවට පෙනෙයි. ඉස්කෝලෙට තියෙන එකම ජලය ගන්න ක්‍රමය නළ ළිඳ. වතුරත් කිවුලයි. බොන්න හා සියල්ලට මේක තමයි. වකුගඩු රෝගය අපේ ගම්වල තියෙනවා. අපේ දරුවන්ටවත් හොඳ වතුර ටිකක්වත් නෑ. මේ පන්ති කාමර අබලන් වෙලා. මේ වොලිබෝලේ තමයි එකම සෙල්ලම් භාණ්ඩේ මුළු පාසලටම තියෙන. ඒ මරදම්මඩුව පාසලට දරුවා එවන ශ්‍යාමා උදය කුමාරිය. පාසලේ වත්මන් විදුහල්පතිනි අශෝකා අයිරාංගනි දිසානයක මහත්මිය කාටත් වඩා පාසලේ ප්‍රශ්න හොඳින්ම දන්නා කෙනාය. ඇය දිවා රෑ වෙහෙසෙන්නේ පාසල රැකගෙන මේ දරුවන්ගේ ඇස් පාදන්නටයි. 1985 වසරේ ඇලවක ගමම කපා කොටා දමන්න ආ කොටි ගිහින් තියෙන්නෙ මේ ගම හරහාය. අල්ලපු ගමම කපා කොටා මරා දැමීමත් සමග බිය වූ ගමේ අය ගම් අතහැර නැදෑයන් ඉන්නා ගම්වලට යාමද එකල සිදු විය. ඒත් වැඩිහිටි පිරිමින් ගමේ සිට ගම රැක්කාය. භෞතික සම්පත් රැසක්ම මේ පාසලට අඩුය. මේ පාසලට එන දරුවන් වෙන ඉස්කෝලෙකට යන්නත් කැමති නැත. ඒ නිසාම පුළුවන් උපරිමයෙන් විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් තිදෙනා දරුවන්ට ඉගැන්වීම කරති. ළමයින්ට මග හැරෙන පාඩම් රෑ වෙනකම්, ඉස්කෝලේ නතර වෙලා ඉරිදා සවස් වරුවෙ රෑ වෙනකනුත් උගන්වන්නට තරම් විදුහල්පතිනිය දරුවන්ට සෙනෙහෙවන්ත වී ඇත. ගුරුවරු නැති බව නිතර නිතර බලධාරින්ට කීවත් පාසලට තවමත් ගුරුවරුවත්, පහසුකම්වත් ලැබී නැත. “ගිය අවුරුද්දෙ 5 වසරෙන් පස්සෙ ළමයි පස් දෙනෙක් ඈත වෙනත් ඉස්කෝලවලට යන්න බෑ කියලා දිගටම ඉස්කෝලේ මාස 4ක් ආවා. අනේ ඒත් මිස්ලා ඒ ළමයින්ට දෙමාපියන්ට දිගටම කරුණු කිව්වා. ඉස්කෝලේ එක පහ නිසා හය වසර කරන්න බෑ කියා. ඒත් ඒ ළමයින්ටත් එයාලා ඉගැන්වූවා. මාස 4ක් ළමයි සුදු ඇඳගෙන බෑග් අරගෙන පන්ති නැති ඉස්කෝලෙට ගියා. ගුරුවරුත් ඉගැන්වූවා. ඒත් ඒවා කාටවත් පෙනුනේ නෑ. අන්තිමට ඒ ළමයි කිලෝමීටර් 13ක් දුර මැදවච්චිය කඩවත්ගම ඉස්කෝලෙට ගියේ මාස පහකට විතර පස්සෙ ගුරුවරියන් අනේ ළමයිනේ පන්ති තියෙන ඉස්කෝලෙකට යන්ඩ කියලා පිංසෙන්ඩු වුණා අපේ ළමයින්ට.” ඒ මරදම්මඩුව වෙහෙර පාරේ පදිංචි සුසන්තිකා කුමාරි ගමේ ඉසකෝලේ ගැන කී කතාවයි. මරදම්මඩුව පාසලේ එකේ සිට නවයට යළි පන්ති අරඹන්නේ නම් ගුරුවරු ලබාදෙන්නේ නම් පාසල් ඒමට දරුවෝ විශාල පිරිසක් සිටිති. ගමට එන එකම ලංගම බස් එකේ කිලෝ මීටර් 20ක් පමණ ගෙවා මැදච්චියට පාසල් යන දරුවන්ද කිලෝ මීටර් 17ක් දුෂ්කර මගක් ගෙවා වව්නියා උළුක්කුලම සිරිසුමන පාසලට යන දරුවන්ද ළඟම පාසල වන කිලෝ මීටර් 8ක් එහා පිහිටා ඇති යකාවැව මහා විද්‍යාලයට යන දරුවන්ද මෙගම සිටියි. එම දරුවන් එසේ අමතර කාලයක් වන අලි කරදර සහිත බිම් පසු කරමින් යන්නෙ සියක් වසක් පැරණි ගමේ ඉස්කෝලේ පන්ති නැති නිසාය. තම දරුවා මෙම පාසලට ඇතුළත් කර ඇති ගංගා ගීතිකා දිසානායක කියන්නේ ඇය ඉගෙනගෙන ඇත්තේත් මේ පාසලේ බවයි. “මරදම්මඩුව ඉස්කෝලෙ ඉගෙනගත් අය අද රටේ ලෝකේ විවිධ තනතුරුවල ඉන්නවා. රාජ්‍ය සේවෙත් ඉන්නවා. එහෙම දක්ෂයො බිහි කරන තැනක් මේක. කොහොමත් වව්නියාවේ සිංහල අපිට කුඩම්මාගෙ සැලැකිල්ලවත් නෑ. ඒ නිසා බලධාරීන්ට ඕන මේවා වහලා දාන්න වගේ. වවුනියා සිංහල දකුණ කොට්ඨාස අධ්‍යක්ෂතුමා එහෙම නැත්නම් කලාප අධ්‍යක්ෂතුමා එක්කො ලොකු මිස්ට කියා දෙන්න ඕන එක ගුරුවරයෙක්ගෙන් ඉකෝලයක් කරගෙන යන විදිය. අපේ ළමයි ඉංග්‍රීසි හා දෙමළ භාෂාව සම්බන්ධයෙන් ඉදිරියෙන් ඉන්නවා. ඒ ඒ විෂයන්ට ඉන්න ගුරුවරියො දෙන්නම ඉතා මහන්සියෙන් උගන්වන නිසා. ඒත් ප්‍රාථමික ගුරුවරු ගුරුවරියෝ නෑ. ඉන්න එකම ටීචර් දක්ෂ කෙනෙක් එයා එක වසරට ඉන්න නිසා තමයි 2020ට ළමයි විස්සක් ආවේ එතකොට අනික් පන්ති.?” ඈ පිළිතුරක් නැති ප්‍රශ්නයක් අසන්නීය. සමස්ත පාසල් භූමිය අක්කර තුන් කාලක පමණ පිහිටා තිබේ. ජල නළ පහසුකම් සහ වහල රහිත අබලන් කැසිකිළි දෙකක් තිබෙන අතර දරුවන්ට ක්‍රීඩාපිටියක් නැත. සෙල්ලම් මිදුලක් හෝ නැති බිමක මේ දරුවෝ ඉතා දැඩි උවමනාවෙන් අකුරු ඇහිඳින්නට පාසල් එති. තොරතුරු තාක්ෂණ විෂය ගැන මහා ඉහළින් කතා කෙරෙන මේ යුගයේද මරදම්මඩුවේ සියවසක් සපිරි විද්‍යාලයට එකම පරිගණකයක්වත් නැත. පුස්තකාලයක් තබා කතන්දර පොතක්වත් මේ දරුවනට පාසලේ නැත. ගම්වැසියකු වන ඒ. ජනතාසිංහ මේ ගමේ කාගෙත් බලාපොරොත්තුව වචන කළේ මරදම්මඩුව ඉස්කෝලය ගැන මහා කැක්කුමකිනි. “අලුත් ජනාධිපතිතුමා අපේ රටේ අධ්‍යාපනයට විශේෂ සැලැකිල්ලක් කරන බව අපට හිතෙනවා. අධ්‍යාපන ඇමැතිතුමාත් ටීවී එකේ කියන කරන දේවල් අපි දකින නිසා හිතෙනවා ළමයින්ගෙ අධ්‍යාපනය නගා සිටුවන්න වැඩ කරයි කියලා. එයාලා අපේ ඉස්කෝලේ දිහාත් බලයි දකියි කියලා අපි හිතනවා. ඇත්තටම වෙලා තියෙන්නෙ වවුනියාවේ සිංහල ගම්මානවල ප්‍රශ්න රටේ ප්‍රධානීන්ට හරියට කියන්න කෙනෙක් ක්‍රමයක් නැතිකම. කොහොමත් අපේ ඉස්කෝලේ වැහෙන්නනම් දෙන්න එපා කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නෙ. වවුනියා සිංහල දකුණෙ ඉන්නෙත් මේ රටේ මිනිස්සුනෙ. ඒ මිනිස්සුන්ගෙ දරුවන්ටත් අධ්‍යාපන වරප්‍රසාද ලැබෙන්න ඕන නෙ කියලා උතුරු පළාත් බලධාරීන් නොහිතන එක තමයි මේ තත්ත්වයට හේතුව” වර්තමානයේද ගමෙන් කොටසක් සිවිල් ආරක්ෂක බළකායට බැඳී සිටින අතර ඔවුහු මාස් කන්නයෙ පමණක් පිරෙන හුදකලා මරදම්මඩුව වැවෙන් පෝෂණය වන කුඹුරු කරමින් දිවි සරි කරගන්නා මිනිස්සුය. ඒ මිනිසුන්ගෙ දරුවන්ට ඉගෙනගන්නට ඇති පාසල වැසී යතැයි ඔවුන් සිටින්නේ බයෙනි. ඒ නිසා මේ දුෂ්කර ගමේ ජීවත් වන දුප්පත් ළමයින්ගේ ඇස් පාදා ගන්නට ඇති ඉස්කෝලය වෙතටත් බලධාරීන්ගේ නෙත් යොමු වේවා! ජයන්ත සුබසිංහ
 

More News..