brand logo

අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන - දයාසිරි ජයසේකර

24 March 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා පොදුජන පෙරමුණ පසුගිය බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවේදී කරුණු 20ක් ගැන එකඟතාවක් ඇති වුණා කියලා වාර්තා වෙලා තියෙන්නේ. මොනවද මේ කාරණා ? දේශපාලකයන් හා දේශපාලන පක්ෂ විසින් වසර 70ක් තුළ මේ රට අසාර්ථක රාජ්‍යයක් බවට පත් කරල තියෙන්නේ. ඒකේ වරද අපටත් පැටවෙනවා. අපි දෙපාර්ශ්වයම ඒක පිළිගනිමින් යළිත් මේ රට නවීන රාජ්‍යයක් බවට පත් කිරීමට දැඩි ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් අවශ්‍ය බව මේ සාකච්ඡාවේදී අවධාරණය වුණා. එවැනි වැඩපිළිවෙළක් සඳහා අපේ පක්ෂ දෙකේම නායකයන් මධ්‍යම කාරක සභා සමග කතාකරලා යම් පොදුවැඩපිළිවෙළක් හදා ගන්නට අපි කතා කළා. ඒ වගේම ගම් මට්ටමේදී, ප්‍රාදේශීය සභා මට්ටමේදී අපේ පක්ෂ දෙකේ එකඟතාව පවත්වාගෙන යෑමේ වැදගත්කම සාකච්ඡාවට ගත්තා. පක්ෂ සාමාජිකත්වය තුළ විශ්වාසය ගොඩනැගෙන අන්දමේ වැඩපිළිවෙළක් වගේම ගම් මට්ටමේ ගැටලු නිරාකරණය කරගන්නා අන්දම ගැන කතා කළා. මේ සාකච්ඡාවල සාර්ථක අවසානයක් දකින්න පුළුවන් වෙයිද? අපේ උත්සාහය සාර්ථක කරගන්න. නමුත් ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් විදිහට කියන කතා මේ සමගියට බාධාවක් කියල චෝදනාවක් තියෙනවා. පොදුජන පෙරමුණේ බලය තියෙන ප්‍රාදේශීය සභාවලට සහාය දෙන්න එපා කියල ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ට කියනවා? පක්ෂයේ ලේකම් විදියට මම කතාකරන්නේ අපේ පාක්ෂිකයාට. මාධ්‍ය ඒව ඒ අයට අවශ්‍ය අන්දමට අවශ්‍ය තැන්වලින් උලුප්පල ගත්තට මට කරන්න දෙයක් නැහැ. ප්‍රාදේශීය සභා මට්ටමින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට බරපතළ ප්‍රශ්න තියෙනවා. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනකුට පාරක් හදා ගන්නවත් සතයක් දෙන්නෙ නැහැ. ඉතින් මම ඒ වගේ තැන්වලදී පොදුජන පෙරමුණටත් ගහනවා. එක්සත් ජාතික පක්ෂයට වැඩිපුර ගහනවා. දිගින් දිගටම අපට සිද්ධ වෙන කෙණහිලිකම් ඉවසගෙන යන්න බෑ. එහෙම තැන්වලදී අපේ අයට මම කියනවා පොදුජන පෙරමුණේ අයට වුණත් සහාය දෙන්න එපා කියල. මම හිතන්නේ පක්ෂයේ ලේකම් විදියට ඒක මගේ වගකීම. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකය නම් කරල ඉවරයි කියල පසුගියදා වාර්තා වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දෙනවද? මම දන්න විදියට පොදුජන පෙරමුණ තවම එහෙම තීරණයක් අරගෙන නැහැ. ඒක රාජපක්ෂ පවුලේ තීරණයක්. පවුලේ රාත්‍රි භෝජන සංග්‍රහයේදි ගත්ත තීරණයක්. පොදුජන පෙරමුණේ තීන්දු ගන්නෙ රාජපක්ෂ පවුල නෙවෙයිනෙ. ඒ පක්ෂයට මධ්‍යම කාරක සභාවක්, දේශපාලන මණ්ඩලයක් තියෙනවා. එහෙම තියෙද්දි ඒ පක්ෂයේ තීන්දු තීරණ ගන්නෙ රාජපක්ෂ පවුලනං හිතාගත හැකිනෙ පක්ෂයේ අනිත් අයගෙ තත්ත්වය. ජනාධිපති අපේක්ෂකයෙක් නම් කළා කියල අපේ පක්ෂය දැනුවත් කරලත් නැහැ. හොඳයි ඔවුන් නිල වශයෙන් දැනුම් දුන්නොත් ඔවුන්ගේ අපේක්ෂකය ගැන. සහාය දෙනවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ මතය නම් එක්සත් ජාතික පක්ෂ විරෝධී කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතුතමා කියන එක. නමුත් අතිගරු ජනාධිපතිතුමා තවම කියල නැහැ එතුමා ඉල්ලනවද? නැද්ද කියලා. අපි සූදානම් නෑ වෙන පක්ෂයකින් නම් කරන අපේක්ෂකයකුට මුක්කු ගහන්න. පොදුජන පෙරමුණ හිතනවනං අපිත් එක්ක එකතු වෙලා ඉදිරිපත් වෙන්න ඒ සහාය ගන්න විදිහක් තියෙනවා. මහන්තත්ත්වයෙන් ඉඳල ඒ සහාය ගන්න බෑ. අපි සූදානම් නෑ වහල්ලු වගේ කවුරුවත් ගන්න තීරණ අනුව කටයුතු කරන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට තනිව තරග කරනව කියන එකද? තනියම ඉල්ලල දිනන්න පුළුවන් කියල විශ්වාසයක් තියෙනවද? නැහැ. වෙනම ඉල්ලන්න බලාපොරොත්තුවක් අපට නෑ. ඉල්ලුවට අපිට දිනන්න බැහැ. ඒ වගේම අපි නැතුව ඉල්ලල දිනන්න පොදුජන පෙරමුණටත් බෑ. ඒක නිසා අපි දෙගොල්ලොම දෙගොල්ලගෙ වටිනාකම් තේරුම් අරගෙන අපේ ජනාධිපතිතුමා සමගත් අනෙක් පක්ෂත් සමගත් කතා කරලයි ජනාධිපතිවරණ සටනට බහින්න ඕන. අපි තෝරාගන්න ඕනෙ වැඩ කරන්න පුළුවන් අපේක්ෂකයෙක් නෙවේ. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්. වැඩ කරන්න කලින් දිනල ඉන්න එපැයි. ජනාධිපතිවරණයේදී දෙමළ, මුස්ලිම්, ඡන්ද තීරණාත්මකයි. ඒ ඡන්ද වගේම දකුණෙත් සිංහල බෞද්ධ හා කතෝලික ඡන්ද ගන්න පුළුවන් කෙනෙක් තමයි අපි ඉදිරිපත් කරන්න ඕන. එහෙම කරන්න නං අපි එකතුවෙලයි වැඩ කරන්න ඕනෙ. ඔබ පක්ෂයේ වටිනාකම් ගැන කතා කළාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් වැටිලානේද තියෙන්නෙ. නිතරම පක්ෂ ප්‍රතිසංවිධාන ගැන කියන්නේ ඒ නිසා නේද? පක්ෂ ප්‍රතිසංවිධාන කරන්නෙ අපි විතරක් නෙවෙයිනෙ. පොදුජන පෙරමුණත් කරනවා. එක්සත් ජාතික පක්ෂයත් කරනවා. ඒක පක්ෂයකට සාමාන්‍ය දෙයක්. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වෙලා කියන එක මම පිළිගන්නවා. පක්ෂයට එහෙම වුණේ කාලයක් තිස්සේ පක්ෂ ප්‍රතිපත්ති, වැඩපිළිවෙළ පැත්තකින් තියල පුද්ගල ප්‍රතිරූප පස්සේ ගිය නිසා. දැන් අපි ආපහු පක්ෂය ප්‍රතිපත්ති අතරට අරන් ඇවිත් තියෙනවා. අපි පක්ෂය ශක්තිමත් කරන්නේ ඒ මත ඉඳගෙන මිසක පුද්ගල ප්‍රතිරූපවලට යටවෙලා නෙවෙයි. ඔබ සමගියක් ගැන කතා කළාට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්දයේදී විරුද්ධව ඡන්දය දෙන්න හිටපු ශ්‍රීලනිපය අවසන් මොහොතේ කර ඇරිය නේද? මෙහෙමයි. අපේ පක්ෂයේ බහුතරයේ මතය වුණේ අයවැයට විරුද්ධ විය යුතුයි කියන එකයි. නමුත් ඒ තීරණය වෙනස් වූයේ අතිගරු ජනාධිපතිතුමා අපෙන් කරපු ඉල්ලීමක් නිසා. අපි විපක්ෂයේ හිටියට එතුමා තමයි මේ රටේ ජනාධිපති ආණ්ඩුවේ නායකයා. එහෙම තිබියදී එතුමගෙ වැය ශීර්ෂය ජනාධිපති වැය ශීර්ෂය විතරක් නොවේ. ආරක්ෂක, පරිසර වගේ වැය ශීර්ෂ පරාජය වුණා නං අර්බුදයක් ඇති වෙනවා. ජනාධිපතිතුමා මේ කාරණා අපට පැහැදිලි කරල දුන්න. ඒ නිසයි අපි තීරණය කළේ ඡන්දය දීමෙන් වැළකී ඉන්න. නමුත් අපේ කිහිප දෙනෙක් පක්ෂව දුන්න. අනිත් එක විපක්ෂයක් අයවැයට ඡන්දය නොදී හිටපු පළවෙනි අවස්ථාව මේක නෙවෙයිනෙ. ඒ කියන්නෙ අප්‍රේල් 05දාත් අයවැය පරාජය වෙන්නෙ නැහැ කියන එකද? අපි විපක්ෂව දුන්නත් අයවැය පරාජය කරන්න බෑ. ඒකාබද්ධයේ හා අපේ හැමෝම එකතු වුණත් 95යි. එජාපය හා TNA එක්වුණාම ඊට වැඩියි. ඉතින් කොහොමද අයවැය පරද්දවන්නෙ. අයවැය පරදවන්න කාටහරි හැබෑ වුවමනාවක් තිබුණනං කරන්න තිබ්බෙ ඒකට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය එකතුකර ගන්න වැඩපිළිවෙළක් හදා ගන්න එක. මූලිකවම අපේ පක්ෂ දෙක ඒ ගැන කතා කරන්න ඕනෙ. නමුත් එහෙම දෙයක් වුණේ නෑ. අපි කතා කළාටත් මදි. තොණ්ඩමන්ලා, දේවානන්දලා වගේ අනෙක් පක්ෂ එක්කත් කතාකරන්න ඕනෙ. ඒත් එහෙම වුණේ නැහැනෙ. ජනතා විමුක්ති පෙරමුණ ගේන්න යන 20 වැනි සංශෝධනය ගැන ශ්‍රීලනිප ස්ථාවරය මොකක්ද? ජවිපෙ තාම අපිත් එක්ක ඒ ගැන කතා කරල නෑ. එහෙම කතා කළොත් අපිට කල්පනා කරල තීරණයක් ගන්න පුළුවන්. ලක්සිරි විතානආරච්චි
 

More News..