brand logo

අපේක්ෂකත්වය සඳහා කිසිදු කොන්දේසියකට යටත් වෙන්නේ නැහැ

26 September 2019

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාගැනීමේ අරමුණින් තමන් කිසිදු කොන්දේසියකට යටත් නොවන බව නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස පවසයි. ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදීම සඳහා කොන්දේසි පනවා ඇති බව තමන් නොදන්නා බවද ඔහු සඳහන් කරයි. කොන්දේසි කිහිපයකට යටත්ව ජනාධිපති ධුර අපේක්ෂකත්වය ඇමැති සජිත් ප්‍රේමදාසට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් තීරණය කළ බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පෙරේදා (24 වැනිදා) රාත්‍රියේ මාධ්‍යට ප්‍රකාශ කළේය. ඇමැති සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබාදීමට අගමැතිවරයාද එකඟත්වය පළ කළ බව ඔහු අවධාරණය කර සිටියේය. මෙම සාකච්ඡාවට ඇමැති සජිත් ප්‍රේමදාස සහභාගි වී සිටියේ නැත. නමුත් ඇමැතිවරයාට සහයෝගය ලබාදෙන ඇමැතිවරුන් කිහිපදෙනකු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, ජාතික ගැටලුවට විසඳුම් සොයන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දිගටම කටයුතු කිරීම, පක්ෂ උපනායක ඇමැති රවි කරුණානායක එම තනතුරෙන් ඉවත් නොකිරීම, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර නොගැනීම, පෞද්ගලික මාධ්‍ය ආයතනයක් මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර නොගැනීම වැනි කොන්දේසි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ඉදිරිපත් කර තිබේ. මෙම කොන්දේසි පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ සජිත් පාර්ශ්වය අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (25 වැනිදා) පෙරවරුවේ පැවැත්විණි. එම සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ කොන්දේසිවලට යටත්ව අපේක්ෂකත්වය ලබා නොගත යුතු බවයි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා වශයෙන් ඇමැති සජිත් ප්‍රේමදාස පත් කිරීමේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පියවර ගතහොත් ඔහුගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් පක්ෂයට වැඩපිළිවෙළක් තිබිය යුතු බව ඇමැති රාජිත සේනාරත්න එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමකදී ප්‍රකාශ කර ඇත. මේ වන විට ඇමැති සජිත් ප්‍රේමදාස 52 හැවිරිදි බැවින් දේශපාලන අනාගතය ගැන අවධානය යොමු කළ යුතු බව ඇමැතිවරයා පෙන්වා දී තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර තවත් සාකච්ඡාවක් ඊයේ (25 වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී ඉදිරිපත් කළ කොන්දේසි පිළිබඳවද අවධානය යොමුකර ඇති බව වාර්තා විය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා පත් කිරීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (26 වැනිදා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත. එහිදී ඉදිරි ජනාධිපති ධුර අපේක්ෂකයා ඉටුකළ යුතු කරුණු පිළිබඳව ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතය. උදයජීව ඒකනායක
 

More News..