brand logo

අපි මේ කරගසා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ පව් වලට - ප්‍රසන්න කියයි

16 February 2020

වත්මන් ආණ්ඩුව මේ කරගසා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ පව් වලට බවත් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා පොහොට්ටුවේ ආණ්ඩුවක් බිහිකරගෙන ජනතා ප්‍රශ්න විසදීමට සුදානම් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් සහිත වත්මන් ආණ්ඩුව වෙනුවට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් රට නැවත ගොඩ ගැනීමට හැකි වන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කුවේට් ප්‍රධාන ශාඛාව විසින් කුවේට් සල්මියා අල් තජාන් උත්සව ශාලාවේ දී පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙරට නිදහස් දිනය සැමරුම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය. අපි පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපුවාම මේ රටේ ජනතාව ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වෙනස අපි ටික ටික කරගෙන ගියත් ඒ වෙනස වේගවත් කිරීමට හැකියාවක් නැත්තේ අපි මේ ඇදගෙන යන්නේ 2015 පත් වූ පාර්ලිමේන්තුවම නිසයි. මේ ආණ්ඩුව බහුතරය සහිත ආණ්ඩුවක් නෙමේ. සුළුතර ආණ්ඩුවක්. මේ සුළුතර ආණ්ඩුවට සිද්ධවෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවේ පව් වලට කරගහන්නයි. පහුගිය දෙසතිය තුළ විතර කොලඹ උද්ඝෝෂණ 60 ක් තිබුණ කියලා පොලීසිය කියලා තිබුණා. මේ උද්ඝෝෂණකරුවන්ගේ උද්ඝෝෂණ වලට හේතුව පහුගිය යහපාලන ආණ්ඩුවේ අවිධිමත් ක්‍රියා කලාපයයි. ඇතැම් අමාත්‍යාංශවල බදවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් රැකියා වලට බදවා ගෙන. තවත් සමහර ඒවායේ වැටුප් විෂමතා. මේ අය දැන් ආණ්ඩුවෙන් සාධාරණය බලාපොරොත්තු වෙනවා. ඒකයි මම කිව්වේ අපිට කර ගහන්න වෙලා තියෙන්නේ පහුගිය ආණ්ඩුවේ පව් වලට කියලා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසයි ගෝඨාභය මහත්තයා ජනාධිපති වු වහා ම පාර්ලිමේන්තුව විසුරුවා අරින්න බැරි වුණේ. නමුත් මාර්තු 01 වෙනි දා මධ්‍යම රාත්‍රියෙන් පස්සේ පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට ලැබෙනවා. දැන් ඉතිං UNP එක මොන සෙල්ලම් දැම්මත් වැඩක් නෑ. මොකද දැන් ඔවුන්ට අප සමග මහ මැතිවරණයට තරග කරන්නම වෙනවා. සජිත්ටයි, රනිල්ටයි දෙන්නටම සිද්ධ වෙනවා. එදාට එළිපිට නටන්න. එක්සත් ජාතික පක්ෂය අද ලකුණක් හොයාගන්න බැරි තරම් බංකොළොත් වෙලා ඉවරයි. පක්ෂයේ අර්බුධ නිසා අද ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්නේ කළ කිරිලා. අලියාගෙන් ආවත්, හංසයාගෙන් ආවත් ඒ දෙකම නැතුව හදවතින් ආවත් එක්සත් ජාතික පක්ෂයේ පරාජය ස්ථිරයි. මේ පාර තමයි එක්සත් ජාතික පක්ෂය මතක හිටින පාඩමක් ඉගෙන ගන්නේ. අපේ අපේක්ෂාව මේ පාර මහින්ද මහත්තයාව ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයකින් දිනවන්නයි. අපේ රටේ ජනතාව ඒකට ලෑස්තියි.    
 

More News..