brand logo

අපි දෙන්නාට තිබුණේ ගොඩක් ආදරේ කරන්න

01 May 2021

මේ වෙද්දී පුංචි තිරයේ විවිධ නිර්මාණ තුළින් එකිනෙකට වෙනස් වූ චරිත සමගින් රංගනයෙන් සේම නිවේදනයෙන් ආලින්දයට එන කාවින්ද්‍යා දුල්ෂානිගේ ප්‍රථම සිනමා රංගනය සහිත චාමර ජනනාත් පීරිස් අධ්‍යක්ෂණය කළ "උතුරු සුළඟ" චිත්‍රපටය පසුගිය 29 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවන්හිදී තිරගත වීම ආරම්භ වුණා. ඒ නිසා පළමු සිනමා අත්දැකීම ගැන සේම කලාවේ නවමු තොරතුරු දැන ගන්න පිනිපලසේ අපි කාවින්ද්‍යාට කතා කළා. කාවින්ද්‍යා, මොකද වෙන්නේ මේ දවස්වල ..... ජිවිතේ සුන්දරයි. කලා නිර්මාණවලට දායක වෙමින් කාලය ගත වෙනවා. මේ දවස්වල හිරු නාළිකාවේ අහස් මාළිගා සහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන හදවිල අරණ ටෙලි නාට්‍යයේ නදී චරිතය තුළින් ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඊට අමතරව Hiru Top 10 හි නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ එක්කම මගේ පළමු සිනමා නිර්මාණය මේ වෙද්දී තිරගත වෙනවා. ඒ දිහාත් බලන් ඉන්නවා. අපි මතක් කළොත් පවුල් පසුබිම සහ ක්ෂේත්‍රයට ආ ගමන් මග..... මගේ පාසල දොම්පේ දේවි බාලිකා විද්‍යාලයෙන් සහ ගම්පහ සිද්ධාර්ථ මහා විද්‍යාලය. මගේ පවුලේ අම්මායි, තාත්තායි, නංගිලා තුන්දෙනයි ඉන්නේ. කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. මම කවදාවත් නිළියක් වෙන්න සිහින දැක්ක කෙනෙක් නෙවෙයි. 2015 දී මම ස්වාධීන රූපවාහිනි සේවයේ අවුරුදු කුමාරි තරගයට සහභාගි වුණා. එහිදී අවසන් 12 දෙනා අතරට එන්න මට හැකියාව ලැබුණා. ඊට කාලයකට පස්සේ ඒ 12 දෙනා අතරින් එම නාළිකාවේ විකාශනය වන ටෙලි නාට්‍යයකට කෙනෙක්ව තෝරා ගන්නවා. ඒ වෙනුවෙන් තියෙන තිර පර්ක්ෂණයට එන්න කියලා කතා කළා. එතැනදී ඒ අවස්ථාව හිමි වුණේ මට. ඒ අනුව තමා මම ශාන්ත සොයිසා මහතා අධ්‍යක්ෂණය කළ “මේඝා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. පාසල් වේදිකාවට එහෙම සම්බන්ධ වෙලා නැද්ද? නැහැ. කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වෙලා නැහැ. නර්තනය නම් හැදෑරුවා. කොහොමද උතුරු සුළඟට අවස්ථාව ලැබෙන්නේ... චාමර අයියා මට දවසක් කතා කරලා කිව්වා නංගි මෙහෙම චිත්‍රපටයක් කරන්න ඉන්නේ. ඔයාට පුළුවන් ද ඇවිත් යන්න එන්න කියලා. ඊට පස්සේ මම අම්මත් එක්ක යනවා. එතැනදී ඒගොල්ලෝ මාව සුදුසුයි කියලා තීරණය කරලා මාව ඒ චරිතයට ගන්නවා. එහෙම තමා ඒ අවස්ථාව ලැබෙන්නේ. May be an image of 2 people, people standing and indoor කොහොමද ඒ පළමු සිනමා අත්දැකීම... මුලින්ම මට පිටපත කියෙව්වම මේක කරන්න පුළුවන් කියලා හිතුණා. නමුත් පළවෙනි දවසේ දර්ශන තලයට ගියාම මට බය හිතුණා. මගේ යටි හිත මගෙන් අහන්න ගත්තා මේක කරගන්න පුළුවන් වෙයිද? ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා, දිල්හානි ඒකනායක මහත්මිය වගේ ප්‍රවීණ දැවැන්ත අය ඉන්නේ ඒ අය උදව් කරයිද? මගේ රංගනය ඒ අයට උදව්වක් වෙයිද ? වගේ දේවල් හිතට ආව නිසා බයක් දැනුණා. සිනමාවේ පළමු පෙම්වතා එරංග ජීවන්ත, කොහොමද ඔහුගෙන් ලැබුණු සහයෝගය... එරංග අයියා ගැන අනිවාර්‌යෙන්ම කියන්න ඕනේ. මට ලොකු සහයෝගයක් දුන්නා. මොකද අපි දෙන්නට ගොඩක් තිබ්බේ ආදරය කරන්න. ඒ නිසා අපි අතර හොඳ අවබෝධයක් නොතිබුණා නම් ඒ දේ නිර්මාණය අසාර්ථක වෙන්න පවා හේතු වෙනවනේ. ඉතින් එරංග අයියා මගේම අයියා කෙනෙක් වගේ මට උදව් කරමින් සහයෝගයෙන් වැඩ කළා. අමතක නොවන අත්දැකීම් ඇති... පළමු සිනමා අත්දැකීම නිසා සිනමාපටයම මට අමතක වෙන්නේ නැහැ. විශේෂයෙන් කියලා කියනවා නම් එක දර්ශනයක් තියෙනවා ගහක් උඩ හදපු පැලක එරංග අයියා ඉන්නවා, ඒක උඩට මමත් නගින්න ඕනේ. මම හරි බයයි ගස් නගින්න. ඒ එක්කම මට ලොකු බයක් තිබ්බා මේක කොයි වෙලේ හරි කඩන් වැටෙයිද කියලා. ඒ නිසා ඒ සිදුවීම නම් කවදාවත් අමතක වෙන එකක් නැහැ. චාමර ජනනාත් කියන අධ්‍යක්ෂවරයා සමග වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ... හැමතිස්සෙම හැමදේම ළඟට ඇවිල්ලා එයාට ඕනේ දේ කියලා දීලා එයා කියන්නේ මට ඕනේ දේ මම කිව්වා උඹට දැනෙන දේ උඹ කරපං කියලා. ඒ වගේ හරිම සුන්දරව ආදරණිය විදියට අපිව අධ්‍යක්ෂණය කළා. ඒ නිසා මම මේක විශේෂ අවස්ථාවක් කර ගන්නවා චාමර අයියාට ස්තුති කරන්න. May be an image of 1 person and smiling   උතුරු සුළගෙන් පස්සේ කොහොමද සිනමාවට ලැබුණු ආරාධනා එහෙම... මේ දවස්වලත් ගාමිණී හේවාවිතාරණ මහතාගේ සිනමා පටයක රූ ගත කිරීම් සිදු වෙනවා. සිනමාවට ද වැඩි කැමැත්තක් තියෙන්නේ... ඇත්තටම මම වඩාත් කැමැති සිනමාවට. මම විශ්වාස කරනවා ඉදිරියේදී සිනමා නිර්මාණවලට ආරාධනා ලැබෙයි කියලා. රංගනයට අමතරව දැන් නිවේදිකාවක් විදියටත් කටයුතු කරනවනේ... ඔව්. ඇත්තටම සිනමා රංගනයට වගේම නිවේදන කලාවටත් මම ගොඩක් කැමතියි. හැබැයි මට නිවේදනය පැත්තෙන් ඉගෙන ගන්න තව ගොඩක් දේවල් තියෙනවා. වේදිකාවට කැමැත්තක් නැද්ද? වේදිකාව තමා රංගනය ගැන ඉගෙන ගන්න තියෙන හොඳම තැන. මම ආසාවෙන් ඉන්නවා වේදිකා නිර්මාණයකට දායක වෙන්න.   මෙතෙක් නොලැබුණු කැමැති චරිතයක් තියෙනවා ද? මම කැමතියි ශාරීරික හෝ මානසික යම් ආබාධයක් සහිත චරිතයක් කරන්න. May be an image of 1 person and smiling කාවින්ද්‍යා ජනතාව අතරට වැඩියෙන්ම සමීප වුණේ... සිඳු නාට්‍යයේ චරිතයෙන් තමා මම ප්‍රේක්ෂකයා අතරට ගියේ. මේ වෙද්දී නම් මට කතා කරන්නේ නදී එහෙම නැත්නම් අහිංසා කියන චරිතවල නම් වලින් තමා. ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද? අපි ගමක ජිවත් වුණු අය නිසා අපේ අම්මලා තාත්තලා හිතන්නේ දකින්නේ වෙනස් විදියට. ඒ නිසා මට මුලදී නම් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. මුලින්ම තාත්තා අකැමති වුණා. ඊට පස්සේ අම්මත් අකැමති වුණා. කොහොම හරි කාලයත් එක්කම කොච්චර අකැමති වුණත් මගේ කැමැත්ත නිසා මාව එක්කරගෙන ගියා. පළවෙනි නාට්‍ය විකාශය වෙනකම්ම තාත්තා නම් කැමති වුණේ නැහැ. පස්සේ ඉතින් හැමෝම ඒගැන කතා වෙද්දී තාත්තාත් කැමති වුණා. මේ වෙද්දී නම් අම්මා තාත්තා මගේ නංගිලා තුන්දෙනා සහ කැපිලි කෙටිලි දාපු නෑයෝ හැමෝමත් උදව් කරනවා. නංගිලා තුන්දෙනාත් කලාවට සම්බන්ධ වෙයිද? අනේ මන්දා. ඒ ගොල්ලෝ මම වගේ නෙවෙයි. ලොකු නංගි දැනටමත් විවාහ වෙලා ඉන්නේ. අනිත් දෙන්නා නම් තවම පොඩියි. ඒත් ඒ දෙන්නා කිසිම බාහිර කලා කටයුතු වලටවත් සම්බන්ධ වෙන්න කැමත්තක් නැහැ. නංගි විවාහ වෙලා නිසා අක්කා විවාහ වෙන්නේ නැද්ද කියල අහන්නේ නැද්ද? මට තාම 24යි. මම දන්නේ නැහැ ලොකු නංගිට තිබ්බ හදිස්සිය මොකක් ද කියලා. කාවින්ද්‍යා දුල්ෂානිට නම් එහෙම හදිස්සියක් නැහැ. ක්ෂේත්‍රයට එන අලුත්ම කෙනෙක්ට කාවින්ද්‍යාට මොකක්ද කියන්න තියෙන්නේ... මම ක්ෂේත්‍රයට ආව මුල් කාලේ මටත් කිව්වා ඔය තැන් වලට යද්දී පරිස්සම් වෙන්න. මේ තැනට යනවා නම් අම්මා එක්ක යන්න වගේ කතා. හැබැයි අද වෙනකම් මට කාගෙන්වත් අයුතු යෝජනා ඇවිල්ලත් නැහැ. ඒ නිසා අලුතින් එන්න ආස කෙනෙක් ඉන්නවා නම් මම කියන්නේ හැකියාවක් තියෙනවා නම් එන්න. ඇවිල්ලා අත්දැකීම් එක්ක හැකියාව දියුණු කරගන්න. එතකොට තමන්ගේ පාඩුවේ මේ ගමන යන්න පුළුවන්. අයුතු යෝජනා නැති වුණාට ක්ෂේත්‍රයේ අයගෙන් ආදර යෝජනා ඇති... එහෙම යෝජනා නම් තියෙනවා. මගේ ප්‍රතිපත්තියක් තියෙනවා ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් එක්ක ආදර සම්බන්ධයක් ඇති කර ගන්නෙත් නැහැ කියලා. ඒ වගේම විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ කලා ක්ෂේත්‍රයෙන් පරිබාහිර කෙනෙක් එක්ක. විවාහයෙන් පස්සේ රංගනයට සමු දෙන්න වුණොත්... මගේ හිතෙත් එහෙම දෙයක් තියෙනවා. විවාහයෙන් පස්සේ පවුල් ජීවිතයට මුල් තැන දෙන්න රංගනයෙන් ඈත් වෙන්න. ඒත් ඒක තවම හරියට කියන්න බෑ. මොකද ඒ විවාහ වෙන කෙනාගේ අකමැත්තක් නැත්නම් තෝරා ගත් එක නිර්මාණයක දෙකක හෝ රඟපාන්නත් ඉඩ තියෙනවා. කේන්දර විශ්වාස කරනවද? මම නම් ලොකුවට කේන්දර විශ්වාස කරන්නේ නැහැ. අපේ ගෙදර අය නම් විශ්වාස කරනවා. කේන්දරේ කියලා තියෙනවා ද කවදා හරි ජනප්‍රිය වෙනවා කියලා..... ඔව්. එහෙම නම් කියලා තියෙනවා. ඒ දේවල් වලදි නම් කේන්දරේ හරි කියලත් හිතෙනවා. May be a closeup of 1 person අරමුණ තියෙන්නේ ජනප්‍රිය නිළිය වෙන්නද හොඳම නිළිය වෙන්නද? හැමෝම කැමතියි තමන් කරපු නිර්මාණයට යම් හෝ ඇගයීමක් ලැබෙනවා නම්. ඒ නිසා මමත් එතැන ඉන්නවා. හැබැයි ජනප්‍රිය කියන කාණ්ඩයේ නෙවෙයි මගේ අරමුණ තියෙන්නේ, කවදා හෝ හොඳම කියන කාණ්ඩයේ රංගන ශිල්පිනියක් වනවා කියන තැනයි. හැබැයි එතැනට එන්න වාසනාව හැකියාව සේම හොඳ නිර්මාණයක් ලැබෙන්න ඕනේ. කාවින්ද්‍යා කියන්නේ කවුද කියලා ඇහුවොත්... මම අහිංසකයි. අසාධාරණ වැඩ වලදී නම් ටිකක් දරුණුයි. රූ ගත කිරීමකට ගියත් මම මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න චරිතයක්. ඔය ගෙදරින් පිට චරිතයනේ, ගෙදරදී කොහොමද? ගෙදර නම් පොඩ්ඩක් වෙනස්. මොකද මට ඉන්නේ නංගිලා තුන් දෙනෙක්නේ. මම අක්කා නිසා මම පොඩ්ඩක් සැරයි. ඒ නිසා අක්කා කියන එක ඇඟට අරගෙන ඉන්නවා. අනුෂා රණසිංහ May be an image of 1 person and smiling May be an image of 1 person, standing and indoor May be an image of 1 person May be an image of 1 person
 

More News..