brand logo

අපි දැනට පිට්ටනිය හදමු අපේක්ෂකයා ඇවිත් ලස්සනට ඒ පිට්ටනියේ සෙල්ලම් කරලා ‘කප් එක’ ගහයි

25 June 2019

ළඟ එන මහ මැතිවරණය වෙනුවෙන් ‘පොදු ජන පෙරමුණ’ ද ලහි ලහියේ සූදානම් වන බව පෙනේ. ප්‍රසන්න රණතුංග පසුගිය මැතිවරණවල ජයග්‍රහණ ප්‍රතිශත සසඳමින්, ගණන් හදමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ‘පොදුජන පෙරමුණට’ දිනාගතහැකි ඡන්ද සංඛ්‍යාව පුරෝකථනය කරගැනීම සඳහා දිවා රෑ වෙහෙසෙමින් ‘ගණන් හදමින්’ සිටී. ඒ අනුව මේ දිනවල ප්‍රසන්න අතේ වැඩිපුරම ගැවසෙන්නේ ‘කැල්කියුලේටරය’කි. වාහනයේ යන එන අතරතුර ද, නිවසේ නිවාඩු පාඩුව සිටින අවස්ථාවලදී ද ප්‍රසන්නගේ වැ‍ඩේ ගණන් හදන එකම ය. ‘‘ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 17 යි... ඒකෙන් 80%ක් ජාතික මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කළොත් ඡන්ද ලක්ෂ 14ක් ප්‍රකාශ වෙනවා... ඒකෙන් 51% ක් තමයි මගේ ටාගට් එක...’’ නිතර දෙවේලේ ම මතුරමින් සිටින්නේ ඔය කතාව ය. ‘‘ඉදිරියේ දී එන ඕනෑම ජාතික මැතිවරණයකට අපි ලැහැස්ති වෙලා ඉන්න ඕනේ... ගම්පහ තමයි තීරණාත්මකම දිස්ත්‍රික්කය... අපි මහින්ද මහත්තයා වෙනුවෙන් ගම්පහ උඩින් දිනවලා දෙන්න ඕනේ... ඉස්සරහට ඡන්ද ඉල්ලන්න අය ඕනේ තරම් එයි... හැබැයි අපේ වගකීම තමයි පක්ෂයක් වශයෙන් ගම්පහ ජයග්‍රහණය කිරීම... තමුන්නාන්සේලාට තමයි වැඩිම වගකීමක් පැවරෙන්නේ... අපි මේ දෙන ටාගට් හරියට කවර් කරන්න... එතකොට අපිට මේ ජයග්‍රහණය ලබාගන්න අපහසු නැහැ...’’ ප්‍රසන්න ගම්පහ පළාත් පාලන නියෝජිතයන් අමතමින් පසුගියදා පැවති රැස්වීමක දී ද පැවසුවේ ය. එවිට එක් නියෝජිතයකු ප්‍රසන්නට මෙසේ කීවේ ය. ‘‘ජනාධිපතිවරණයක දී නම් අපේක්ෂකයා තීරණාත්මකයි. ඇත්තටම අපේ අපේක්ෂකයා ස්ථිර වෙලා ද...?’’ ‘‘අපි ඒ ගැන වද වෙන්න ඕනේ නැහැ... අපි දැනට පිට්ටනිය හදමු... එතකොට නියමිත වේලාවට අපේ අපේක්ෂකයා ඇවිත් ලස්සනට ඒ පිට්ටනියේ සෙල්ලම් කරලා ‘කප් එක’ ගහයි... පිට්ටනිය හදන එක පැත්තක තියලා බැට් කරන කෙනා හොය හොය ඉන්න ගියොත් මැච් එක දිනන්න බැරිවෙයි...’’ ප්‍රසන්න පැහැදිලි කළේ ‘ක්‍රිකට් උදාහරණය’කිනි. ‘‘අපේ දිස්ත්‍රික්කයේ දේශපාලන පිළිල කිහිපයක් තිබුණා... ඒ පිළිලත් 2015 මහින්ද මහත්තයාගේ ජයග්‍රහණයට තීරණාත්මක විදියට බලපෑවා... දැන් නම් ඒ අය හොයා ගන්නත් නැහැ... හැබැයි ඡන්දයක් ළංවෙන කොට ආයෙත් එන්න බැරි නැහැ... එහෙම වුණොත් අපිටත් මිනිස්සු ඉස්සරහට ගිහින් ඡන්දයක් ඉල්ලන්න ලැජ්ජයි...’’ තවත් නියෝජිතයෙකු පැවසුවේ ය. ‘‘බලය තියෙන වෙලාවට එන පිළිල ගැන මහින්ද මහත්තයා බලාගනී... එතුමා දැන් හොඳටම දන්නවා කවුද එතුමට ඇත්තටම ආදරේ, කවුද එතුමව රැකගත්තේ කියන කාරණය... අනෙක් එක ගමේ නියෝජිතයෝ විදියට තමුන්නාන්සේලාට බලයක් තියෙනවා පිළිලයක් හැදීගෙන එනවා නම් ඒක විනාශ කරලා දාන්න....’’ ප්‍රසන්න ද පෙරළා උත්තර දුන්නේ ය.
 

More News..