brand logo

අපි ජනතාවට පොරොන්දු දෙන්නේ නෑ

15 September 2019

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවුරුදු විස්සක කාලයක සිට අඛණ්ඩව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ලෙස කටයුතු කරයි. ජ.වි.පෙ ප්‍රමුඛ සිවිල් සංවිධාන කිහිපයකින් සැදුම්ලත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක සමග අප කළ සම්මුඛ සාකච්ඡාවක් මතු දැක්වේ. ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයා වන ඔබ මැතිවරණ ව්‍යාපාරය මැදදී ඉල්ලා අස්වීමේ සූදානමක් ඇතැයි පැවසෙනවා..? මා දන්නවා බොහෝ අයගේ දේශපාලනය සමන්විතවී තිබෙන්නේ සත්‍ය වෙනුවට අසත්‍ය වපුරමින්. ඒ වගේම අවංකභාවය වෙනුවට වංකභාවය පතුරුවමින්. කරුණු වෙනුවට අවලාද වපුරුවමින්. එනිසා එවැනි අසත්‍ය අවලාදයක් තමයි මේ මැතිවරණ ව්‍යාපාරය අවසන් වීමට පෙර අප ඉන් ඉවත්වන බවට පැතිරෙන්නේ. අසාර්ථක බංකොලොත් දේශපාලන ව්‍යාපාරවලට දේශපාලනික වශයෙන් අපට විවේචන එල්ල කරන්න බැරි වෙද්දී ඔය ආකාරයේ අසත්‍ය පතුරුවනවා. ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් මේ තබා තිබෙන්නේ ආපසු හැරීමේ පියවරක් නොවේ., රටට ජයග්‍රහණ අත්පත්කර දීම සඳහාවූ පියවරක්. එනිසා අප ඉල්ලා අස්වීම සිදු නොවන බව සහතික කරනවා. ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙස නොවේ. එබැවින් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඔබෙන් සමාජවාදී වැඩ පිළිවෙළක් බලාපොරොත්තු විය හැකිද.? අපේ රටට දැන් නිශ්චිත වශයෙන්ම අවශ්‍යවී තිබෙන්නේ ආර්ථිකයේ නව ප්‍රතිසංස්කරණයක්, සමාජය යහපත් බවට පත් කිරීමේ උවමනාව, නීතියේ සහ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, ආදායම් බෙදී යාමේ විෂමතාවය අවම කිරීම, රටේ නිෂ්පාදනවලට නව පණක් ගෙනදීම සහ ආනයන අපනයන වෙළෙඳපොළේ ඇතිවී තිබෙන අර්බුදයට විසඳුම් සෙවීම තමයි අපේ අභිලාෂය වී තිබෙන්නේ. එය විසඳීමේ ක්‍රමවේදයට කෙනෙකුට ඕනෑම ලේබලයක් හෝ අර්ථකථනයක් දෙන්න පුළුවන්. එනිසා මේ මොහොතේ අපේ අභිප්‍රාය සහ අපේක්ෂාව බවට පත්ව තිබෙන්නේ මේ බිඳ වැටුණු රට ගොඩනැගීමයි. මේ එකතුවී සිටින සියලු බලවේගයන්ගේ අරමුණ වී තිබෙන්නේත් එයයි. ඒ සඳහා රටේ තිබෙන සම්පත්, රටේ පිහිටීම, මානව සම්පත්වල ස්වභාවය, අත්පත්කරගත් තාක්ෂණික ජයග්‍රහණ, ප්‍රාග්ධන හැකියාව වැනි සියල්ල ගැන කල්පනා කරලා නව ආර්ථික ප්‍රතිපත්තියකට අපි මේ රට මාරු කරනවා. අදහස් සහ මතවාදීව එකිනෙකට වෙනස් බලවේග සමග මේ කටයුත්තේදී එකට සිට ගන්න පුළුවන්ද.? මේ බලවේග විශාල ප්‍රමාණයක් අපේ රටේ විවිධ කාලවකවානුවල දේශපාලනයේ නිරතවූ කණ්ඩායම්. සමහර ප්‍රශ්න දෘෂ්ටිමය ලෙස ගත්තොත් අප අතර වෙනස්කම් පවතිනවා. සමහර ක්‍රියාමාර්ග තුළත් අප අතර වෙනස්කම් තිබෙනවා. නමුත් අප හැම දෙනාම මේ ගමන් කරමින් සිටින සමාජ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුයි කියලා තම තමන්ගේ තලවල අරගල කළ අය. එනිසා අපි හැම දෙනාම ඉන්නේ එක්සත් ජාතික පක්ෂය සහ මහින්ද රාජපක්ෂ කියන කඳවුරුවලට එරෙහි පිලේ. එරෙහි පිලේ ඉන්න ගමන් අපි අතර වෙනස්කම් තියෙනවා. අප අතර තිබෙන වෙනස්කම්වලට වඩා සමානකම් තිබෙනවා. එනිසා අපි පෙරට අරන් තියෙන්නේ අපට එකඟ විය හැකි ප්‍රධාන කරුණු දහයක්. ඒ මත පදනම්ව තමයි ජාතික ජන බලවේගය කටයුතු කරන්න සූදානම්ව සිටින්නේ. රටට විනයක් ගෙන එන්න ජාතික ජන බලවේගය සමත් වේවිද.? රටක නීතියේ ආධිපත්‍යය, විනය කඩා වැටීම පුද්ගලයන්ගේ දුබලතාවක්ම නොවේ. රටක ආර්ථිකයක් කඩා වැටුනාම එහි බලපෑම සමාජයට ඇති වෙනවා. එනිසා සමාජය අපරාධවලින් ගහන, අනෙකාට ගරු නොකරන අාධ්‍යාත්මයක් නැති සමාජයක් බවට පත් වෙනවා. එවැනි සමාජයක් තුළ තමයි නීතියේ විධානයේ ආධිපත්‍යය සහ විනය කඩා වැටීමක් සිදුවන්නේ. එනිසා තනි පුද්ගලයෙක් කෙවිටක් අරන් විනය හදනවා යැයි කීම මිථ්‍යාවක්. පළමුකොටම විනය හදන්න සූදානම් කෙනා විනයගරුක විය යුතුයි. රටේ වැඩියෙන්ම වංචා දූෂණ පිළිබඳ නඩු තියෙන, අපරාධ පිළිබඳ නඩු තියෙන කුඩු, පාතාලය මිනීමැරුම්වලට සම්බන්ධ චෝදනා ඇති රැහේක නායකයෙක්ට විනයක් හදන්න බැහැ. එනිසා ජාතික ජන බලවේගය ආර්ථිකය අත්පත්කර ගන්නා ජයග්‍රහණ හරහා සමාජය යහපත් සමාජයක් බවට පෝෂණය කිරීමත් ඒවගේම ධනය බලය ඇති අයට නීතිය එක ආකාරයකටත් දුබල දුප්පත් අයට නීතිය තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වීම නතර කර ඒ කිසිදු භේදයකින් තොරව සාධාරණ නීතියක් සැමට එක ආකාරයකට ක්‍රියාත්මක වන අවස්ථාවක් නිර්මාණය කළ යුතුයි. ඒ හැකියාව තියෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. අනෙක් හැම දෙනාම ඔවුන් සහ ඔවුන් වටා ඉන්නා පිරිස් කවුරුන්ද කියා බලද්දී අපරාධවලට, විවිධ වංචා දූෂණවලට සහ විනය පිරිහීමකට ලක්වූ අය. එනිසා ඔවුන්ට කළ හැක්කේ තවදුරටත් මේ විනය කඩාවැටීම තීව්‍ර කිරීම මිස එය සමනය කරන්න නොවේ. ද්‍රවිඩ ජනතාව බලාපොරොත්තුවන දේශපාලන විසඳුම ලබා දෙන්න ඔබ සූදානම්ද.? අප විශ්වාස කරනවා අපේ රටේ සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය වී තිබෙනවා. එනිසා අද අපේ රටේ තිබෙන්නේ හුදු ජාතිවාදයක් නොව ජාතිවාදී දේශපාලනයක්. පළමුකොටම අපේ ප්‍රයත්නය මේ ජාතිවාදී දේශපාලනය පරාජය කිරීමයි. අනතුරුව එම ජන කොටස් ඇත්තටම මුහුණදී තිබෙන ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම. ඔවුන්ගේ ඉඩම්, අතුරුදන්වීම්, දේශපාලන සිරකරුවන් වැනි ප්‍රශ්නවලට ඉතාමත් යහපත් යෝජනා මාලාවක් අප සතුව තියෙනවා. එම ජනකොටස් දේශපාලනයේ සම හවුල්කරුවන් බවට පත්කිරීමට අවශ්‍ය සංශෝධන ගෙන ආ යුතුයි. විවිධ ජන කොටස්වල භාෂාවේ, ආගමේ සහ සංස්කෘතියේ අයිතිය තහවුරු කරන්නාවූ නීති ප්‍රතිසංස්කරණය සහ එවැනි සංස්කෘතියක් ගොඩනැංවීමත් අපි අපේක්ෂා කරනවා. ඉන් ඔබ්බට යන දේශපාලන බලය බෙදීම වැනි සාකච්ඡාවක් දේශපාලන ව්‍යාපාරයක් විසින් තනිව සකස්කළ යුත්තක් නොවේ. එය මේ රටේ ජනතාවත් සමග කරන පුළුල් සංවාදයක් හරහා ඊට ගත හැකි දේශපාලන විසඳුම ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ඉල්ලීම ෆෙඩරල් රාජ්‍යයක්. එය ඉටුකරන තැනද ඔබ ඉන්නේ.? එම ජනතාවගේ ගැටලුව ෆෙඩරල් හෝ තවත් දිගු බලය බෙදීමක් හරහා විසඳේවි කියන මිථ්‍යාවේ අප නැහැ. එනිසා පළමුකොටම අප අවධානය යොමු කරන්නේ එම ජනතාවගේ ගැටලු කෙරෙහි. අනතුරුව එම ජනතාව, පොදු ජනතාව සහ දේශපාලන නායකයන් සමග කෙරෙන පුළුල් සාකච්ඡාවක් හරහා තමයි අප ලබාගතයුතු දේශපාලන විසඳුම් සොයාගත යුතු වන්නේ. පසුගිය කාලය පුරාවටම සිද්ධ වුණේ බලයට පත්වූ කෙනාගේ උවමනාවන් සහ අරමුණු බලහත්කාරයෙන් ජන සමාජයට පටවන්න ගියා. අපේ අරමුණ තමයි ජනතාවත් සමග හවුල්කරුවක් බවට පත්වූ ප්‍රවේශයක්. රටේ මුස්ලිම් ප්‍රජාව කෙරෙහි දක්වන්නේ කෙබඳු අවධානයක්ද.? මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්ව තිබෙන්නේ දේශපාලන බලයට වඩා ඔවුන්ගේ සංස්කෘතික, ආගමික අනන්‍යතාවන් සහිතව නිදහසේ ජීවත්වීමේ වටපිටාවක් නිර්මාණය කර ගැනීම. අපේ රටේ අනාගතය රඳා පවතින්නේ එසේ වීමෙන් පමණයි. සිංහල දෙමළ මුස්ලිම් කියා ප්‍රධාන ජන කොට්ඨාස තුනක් ජීවත්වන, ප්‍රධාන භාෂාවන් දෙකක් තිබෙන, ආගම් හතරක් අදහන සංස්කෘතීන් ගණනාවක් තිබෙන ජනතාවක් ජීවත්වන රටක අනාගතය රඳා පවතින්නේ එම ජන කොට්ඨාසයන් අතර කර ගන්නා ලද සමගිය සහ එකඟතාව තුළ පමණයි. එනිසා හැම කෙනාගේම අනන්‍යතාවට ගරු කරන සහ පිළිගන්නා සමාජයක් නිර්මාණය කළ යුතුයි. එවැනි රටක් නිර්මාණය කිරීමේ අභිලාෂය තමයි අප තුළ තිබෙන්නේ. අපි අපේ දේශපාලනයෙන් ජාතිවාදය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. කලක සිට රටේ පළාත් සභා ක්‍රියාත්මක වන්නේ නැහැ. දැන්නම් පළාත් සභා ඕනෙත් නැහැ කියා සමහරුන් පවසනවා. ඇත්තටම පළාත් සභා අවශ්‍යද.? ඇත්තටම තර්කයක් තියෙනවා පළාත් සභා පිහිටුවන්නේ නැතිව, කාලයක් පළාත් සභා අකර්මණ්‍ය වීම හේතුකොටගෙන කිසිදු වෙනසක් සිදු නොවූ බවට. එනිසා යම් පිරිස් පළාත් සභා තිබුණාද නැද්ද කියන එක අදාළ නැහැ වගේ සාකච්ඡාවක් කරනවා. නමුත් පළාත් සභා යෝජනාව එන්නේ අනෙකුත් ජන කණ්ඩායම්වල අයිතිවාසිකම් දේශපාලන බලයට හවුල්කර ගන්නා ක්‍රමවේදයක් ලෙසයි. පරිපාලනමය සහ සංවර්ධනාත්මක ලෙස එය මොන තරම් දායකත්වයක් දක්වනවාද නැද්ද කියන සාධකයට වඩා අපි සැලකිල්ලට ලක් කළ යුත්තේ අනෙක් ජන කොට්ඨාසයන්ගේ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඉවහල්වී තිබෙනවාද නැද්ද කියන එකයි. එනිසා පළාත් සභා අකර්මණ්‍ය කර අහෝසි වීම දක්වා ගමනක් තවම ආරම්භ කරන්න බෑ කියන එක තමයි අපේ විශ්වාසය. ඒ ඒවා ඓතිහාසිකව නිර්මාණය වී තිබෙන්නේ වෙනත් සමාජ උවමනාවන් මත නිසා. පළාත් සභා ඡන්දය ප්‍රමාදයට වගකිවයුතු බවට ජනතා විමුක්ති පෙරමුණ දෙසටත් ඇඟිල්ල දිගු වෙනවා..? මේ මැතිවරණය කල් දමන්න හේතු වුණේ නව ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම. නව ඡන්ද ක්‍රමයට අපි අපේ දායකත්වය ලබා දුන්නා. නමුත් අද බාධාවක්වී තිබෙන්නේ නව ඡන්ද ක්‍රමය නොවේ සීමා නිර්ණය. එනිසා සීමා නිර්ණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය සම්මත කිරීමට එරෙහිව අනෙක් පක්ෂ සියල්ල ඡන්දය පාවිච්චි කළා. එදා පාර්ලිමේන්තුවට හැකි වුණා නම් සීමා නිර්ණය තුනෙන් දෙකෙන් සම්මතකර ගන්න මේ වන විට පළාත් සභා මැතිවරණය පවත්වා අවසන්. එනිසා පළාත් සභා දිගින් දිගටම කල්යාම අපේ අතේ තියෙන ගැටලුවක් නොවේ. ඊට පසුව රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පත් කළ අභියාචනා කමිටුවට සීමා නීර්ණය අවසන් වාර්තාවක් ලබා දීම අසමත් වී තිබෙනවා. එය තමයි ඡන්දය කල් යාමට මතුව ඇති ගැටලුව. එය අපෙන් සිදුවූ බාධාවක් නොවේ. රට අද විශාල ණය බරකින් පීඩා විඳිනවා. ඊළඟ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට මේ ණය බර භාර වෙනවා. ඔබේ නායකත්වයක් මත කෙසේද මේ ණය බරට මුහුණ දෙන්නේ? අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන අර්බුද පහක් තිබෙනවා. ඒ ණය, ආනයන අපනයන වෙළෙඳපොළ, රාජ්‍ය ආයතන හීන වීම, නිෂ්පාදනය කඩා වැටීම සහ ආදායම් බෙදී යාමේ විෂමතාවය. එහිදී ඔබ කී පරිදි අපේ රටේ ප්‍රධානම අර්බුදය නිර්මාණය කර තිබෙන්නේ ණයවලින්. 2018 මහ බැංකු වාර්තාව අනුව රජයේ මුළු ආදායම බිලියන 1919 ක් වෙද්දී එම වසරේ රජයේ ණය පොලී වාරිකය බිලියන 2054 යි. ආණ්ඩුව උපයා ගන්නා මුළු ධනය ණය පොලී වාරිකය වෙනුවෙන් ගෙවන්නත් ප්‍රමාණවත් නැහැ. ණය ගෙවන්නත් රුපියල් බිලියන 135ක ණයක් ගන්නත් සිදුව තිබෙනවා. මේ ණයවලින් ඇත්ත වත්කම් නිර්මාණය වූවේ නැහැ. ණයවලින් අවශ්‍ය වත්කම් නිර්මාණය නොවීම දෙවැන්නයි. ණයවලින් ගොඩ ඒමේ මාවත බවට පත්ව තිබෙන්නේ යළි ණය ගැනීමයි. ඒ ණය ඵලදායීව යෙදවීම සහ සාධාරණව වත්කම් නිර්මාණය කිරීම. ණය හරහා තාක්ෂණ සහ ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම. ඵලදායී කාර්යයන් සඳහා ඒවා යෙදවීමෙන් පැරුණි ණය සහ අලුත් ණය ගෙවා ගැනීමේ ක්‍රමවේදයක් තමයි අපි අනුගමනය කරන්නේ. අවුරුදු අටක් දහයක් නිසි පරිදි මෙය කළමනාකරණය කර ගත්තොත් අපිට මේ ණය අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්. ජාතික ජන බලවේගය යනු අපේ රටේ විවිධ පක්ෂ සහ සංවිධාන එක්ව ගොඩනගා ගන්නා පළමු සන්ධානය නොවේ. මෙවැනි සන්ධාන ඕනෑ තරම් අප දැක තිබෙනවා. කොහොමද ඒවායෙන් ඔබේ සන්ධානය වෙනස් වන්නේ? අනෙක් සන්ධාන හැම එකක්ම ගොඩනැගෙන්නේ ඒ තුළ තමන්ට යම් පටු පෞද්ගලික වුවමනාවක් ඉටුකර ගැනීම වෙනුවෙන්. නමුත් ජාතික ජන බලවේගය සමග කිසිම සංවිධානයක් එක් වන්නේ එවන් පෞද්ගලික වුවමනාවන් උදෙසා නොවේ. රට මෙතෙක් අනුගමනය කරමින් සිටින සමාජ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ කාර්යය වෙනුවෙන්. මේ තමයි සැබෑ ජන බලවේගය. එනිසා අනෙක් සංවිධාන සමග බලද්දී විශාල වෙනසක් මේ සන්ධානයේ තිබෙනවා. අපේ රටේ ජනතාව වෙනස් වෙන්න කැමතිද.. ඔවුන්ව වෙනස් කළ හැකිද.? සාමාන්‍යයෙන් ජනතාව වෙනසකට ටිකක් බයයි. මිනිස්සු පුරුද්දට ඇබ්බැහි වෙලා. සමාජ ආර්ථික පීඩාවට මිනිස්සු ඇබ්බැහි වෙලා. මෙතනින් එහා යන්න නම් මේක වෙනස් කළ යුතුයි. අලුත් මාවතකට එළඹිය යුතුයි. ඒ සඳහා පුළුල් කතිකාවක් කළ යුතුයි. ඒ සඳහා වැඩි වැඩ කොටසක් අපි මේ වන විටත් සිදුකර තිබෙන්නේ. එනිසා ජනතාව වෙනසක් සඳහා වෙනදාටත් වඩා අවධානයෙන් පසුවෙනවා. අපේ වුවමනාව සහ ජනතාවගේ වුවමනාව එකක්. අලුත් පරම්පරාව සාම්ප්‍රදායික කඳවුරුවලට බෙදිල නැහැ. එනිසා ඔවුන් වෙනසක් බලාපොරොත්තු වෙනවා. නමුත් රටට මේ වෙනස ගෙන එන්න බැහැ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා සහ එක්සත් ජාතික පාක්ෂිකයා වෙනස් වෙන්නේ නැතිව. එනිසා අපි ඔවුන්ට ආරාධනා කරනවා ඒ කුණුගඳ ගහන සම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිලා අප සමග එක් වෙන්න කියලා. ජනතාව අවුරුදු පහකට පසු යළිත් ඉටු නොවන පොරොන්දු ගොන්නක් ගෙන එන පුද්ගලයකුට රැවටෙන්නයි සූදානම. ඔබත් ඒ පුද්ගලයන් අතර කෙනෙක්? නිදහසින් පසුව අවුරුදු හැත්තෑවක් තිස්සේ ආණ්ඩු විසින් ජනතාවට දුන් එකඟතාවන් සහ ඉටු කළ දෑ අතර පරස්පරයක් ඇති නිසා ඔබේ ප්‍රශ්නය සාධාරණයි. එනිසා මැතිවරණ පොරොන්දු අද කවි කොළ ගානට වැටිලා. අපි ශක්තිමත් වැඩපිළිවෙළක් මිස ජනතාවට පොරොන්දු දෙන්නේ නැහැ. අජිත් අලහකෝන්
 

More News..