brand logo

අපි චිත්‍රපට හැදුවා මිසක් ඉන්න ගෙයක් හැදුවෙ නෑ

20 July 2019

* මේ ගෙවෙන්නේ ඔහු නැතුව කීවැනි වසරද ? අවුරුද්දක් ඉවර වුණා. ඒත් අද වගෙයි තවමත්. එයා නැතිවෙන්නෙ 2018 ජුනි 30 වැනිදා * ඔබ ඔහුව හඳුනා ගන්නෙ ? හතර පෙරළිය චිත්‍රපටයෙන්. ඒ හැත්තෑව දශකයේ මැද කාලේ * ඔබ හතරපෙරළියට සම්බන්ධවෙන්නෙ ? ඒක ටිකක් දිග කතාවක්. මම ඉස්කෝලේ යන කාලෙ ඉඳලම රඟපාන්න ආසයි. අටේ පන්තියේදි ඉස්කෝලෙන් කරපු මනමේ නාට්‍යයෙ මනමේ කුමාරිටත් රඟපෑවා. * ඉතින් එහෙම වෙද්දී ? ඒ කාලේ ලේක්හවුස් එකේ ජනතා පත්තරෙන් ලස්සන මූණු තෝරන තරගයක් තිබ්බා. ඔය තරගෙට මම දන්නෙත් නැතුව මගෙ පන්තියේ නන්දා කියලා යාළුවෙක් මගේ ෆොටෝ එකක් යවලා තියෙනවා. * ඊට පස්සෙ ? එක්දහස් ගාණකින් 25 දෙනෙක් අතරට මාව තේරිලා. නන්දා දාලා තිබුණ එයාගෙ ලිපිනයට ලේක්හවුස් එකෙන් ලියුමක් ඇවිත් සුදර්ශියේ තියෙන ඊළඟ වටයට එන්න කියලා. ඒ වතාවෙ තමයි එයා ලියුම මට දීලා එහෙම වැඩක් කළා කියලා කිව්වේ. * ඔබ මොකද කළේ ? දැන් මේකට යන්නත් ඕන. ඒත් අම්මට කියන්නත් බයයි. කොහොම හරි බයෙන් බයෙන් අම්මට කාරණේ කිව්වා. හැබැයි අපේ අම්මා කලාවට ආසයි. ඒ හින්දා ගිහින් බලමු කියලා මාව සුදර්ශියට එක්ක ගියා. * ඒ ගියාට පස්සෙ ? අන්තිම වටයෙ දහදෙනා අතරට තේරුණා. මාව අන්තිම වටයට තේරුණා කියලා මගේ මූණත් ජනතා පත්තරේ ගියා. * අන්තිම වටෙන් මොකද වෙන්නෙ ? ප්‍රේමදාස ස්ටේඩියම් එකේ ලස්සන මූණෙ හිමිකාරිය තෝරණ උත්සවේ තිබ්බෙ. මම ඒකෙන් පළවැනියා වෙනවා. තෑගි බෝග ලැබෙනවා. පත්තරේ පින්තූර යනවා. එහෙම වෙද්දි මේක ඉස්කෝලෙට ආරංචි වෙනවා. * ඔබ මෙවැනි තරගෙකට ගියා කියලා ඉස්කෝලෙ දැන හිටියෙ නැද්ද.? අපෝ නෑ. ඒ කාලේ පත්තරේක පින්තූරයක් යන්නත් තහනම්. මේක දැනගත්තා විතරයි ප්‍රින්සිපල් අපේ තාත්තව ඉස්කෝලෙට ගෙන්නුවා. * ඒ ගෙන්නලා ? ඒක තමයි සිද්ධවෙච්චි නරකම දේ. තාත්තත් ප්‍රින්සිපල් එක්ක එකතුවෙලා මට දොස් කිව්වා. එයා ඒ වගේ වැඩක් දැනගෙන හිටියෙ නෑ කියලා. මං අන්තිමට නන්දට කිව්වා, ඔයා කරපු වැඩෙන් මට ඉස්කෝලෙත් නැතිවෙන්න යන්නෙ කියලා. * එතකොට ඔබ ඉස්කෝලෙ ගියේ ? මුලින්ම ගල්කිස්සෙ බෞද්ධ බාලිකා විද්‍යාලයට. ඊට පස්සෙ කලුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයට. අපේ ගම නුවර කටුගස්තොට. ඒත් ගල්කිස්සෙ කුලී ගෙදරක පදිංචිවෙලා හිටියෙ. ඒ වෙනකොට මම හිටියෙ එස් එස් සී පන්තියේ. * ඔබට ඒ වෙනකොට අනාගතේ ගැන හීනයක් තිබ්බද ? මගෙ හරි ආසාවක් තිබ්බා ගුවන් සේවිකාවක් වෙන්න. ඒ කාලෙ පන්තියේ උසම ළමයා මමයි. නෙට්බෝල්, සහාය දිවීම වගේ ක්‍රීඩාත් කළා. හරි ආසාවෙන් තමයි මං ඉස්කෝලෙ ගියේ. * ඉතින් ආසාවෙන් ගිය ඉස්කෝලෙ ගමනට මොකද වුණේ ? ලස්සන මූණ තරගෙට හිටපු එකට පත්තරේ පින්තූර ගියාට ඉස්කෝලෙන් ප්‍රශ්න ගොඩක් ආවා. ඒ හින්දා මං ඉස්කෝලෙ ගමන නවත්තලා ගෙදර නැවතුණා. * ගෙදරට වෙලා කළේ ? ඒ කාලෙ මට ලස්සන මූණ තරගෙ විනිශ්චය මණ්ඩලේ හිටපු රූබි ද මෙල්ගෙන් චිත්‍රපටයක රඟපාන්න ඇරයුම් ආවා. මම ඒකට හරිම ආසා වුණත් අපේ තාත්තා කැමතිවුණේ නෑ මම රඟපාන්න යනවට. * ඔබේ පවුලේ තොරතුරු කොහොමද ? අම්මයි තාත්තයි. තාත්තා වැඩ කළේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. අපේ පවුලේ ගෑනු දරුවො හතරයි, පිරිමි දරුවො දෙකයි. මම පවුලෙ දෙවැනියා. අම්මා කලාවට කැමැති වුණත් අපේ තාත්තා එච්චරම කලාවට කැමැති වුණ කෙනෙක් නෙවේ. * ඉතින් එහෙම වුණාම ? මට දෙයියන්ගෙ අසනීප හැදුණා. මම ලෙඩේටයි රඟපාන්න යන්න නොලැබෙනවටයි දෙකටම අඬන්න ගත්තා. මම අඬනවා දැක්කම තාත්තා බයවෙලා කිව්වා පළවැනි චිත්‍රපටියෙ විතරක් රඟපාන්න යන්න දෙන්නම් ආයෙ ඒවා බෑ කියලා. * ඒ ඇතිනෙ නේද ගමන පටන්ගන්න ? මම පිපෙන කුමුදු චිත්‍රපටියෙ රඟපාන්න ගියේ එහෙමයි. ඒකෙ රුක්මණීදේවිත් හිටියා. මං බොහොම ආසාවෙන් තමයි රඟපෑම්වලට අම්මත් එක්ක ගියේ. * ඒ චිත්‍රපටියෙ රඟපෑවට පස්සෙ ? ඊට පස්සෙ දිගටම චිත්‍රපටි ලැබුණා. මම ඒ හැම එකකටම ගියා, ඒ ගියෙ රුබී ඇන්ටිගෙ චිත්‍රපටියට යනවා කිය කියා. රෑනගිරව්, දහසක් සිතුවිලි, බිනරමලී, සමනල කුමරියෝත් රඟපාන කොට ලැබෙන හයවැනිගේ චිත්‍රපටිය තමයි හතරපෙරළිය. * හතරපෙරළිය ඔබේ ජීවිතෙත් පෙරලියක් කළා ? රෝයි එතකොට චිත්‍රපට ගොඩක රඟපාපු කෙනෙක්. හතරපෙරළියෙදි එයා නීලා ලියන්නගෙදරගෙ මහත්තයා විදිහටයි මම එල්.එම්. පෙරේරගෙ නෝනා විදිහටයි රඟපෑවෙ * ඔහු කොයි පළාතෙ කෙනෙක්ද ? රෝයි මාතලේ යටවත්තේ. මම්මයි, පප්පයි එක්ක රෝයිලගෙ පවුලෙ පිරිමි දරුවො තුන්දෙනයි ගෑනු දරුවො හතරදෙනයි. පප්ප වතු සුපිරින්ටන්ඩන් කෙනෙක්. රෝයි පවුලෙ හතරවැනියා. එයා ගිහින් තියෙන්නෙ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලෙට. * රඟපෑමට ඇවිත් තියෙන්නෙ ? පොඩි කාලෙ ඉඳලම රඟපෑමේ ආසාවක් දක්ෂකමක් රෝයිට තිබිලා තියෙනවා. ඉස්කෝලෙදි වගේම ගෙදරදිත් ඔය රඟපෑම් තිබ්බලු. කොහොම නමුත් ඒ කාලේ ඉස්කෝලෙත් මෙයා චිත්‍රපට බලන කෙනෙක්. * එහෙම කියන්නේ ඔය ඉංග්‍රීසි චිත්‍රපටවල තියෙනවා වගේ හීරෝ චරිත රඟපෑවලු ඉස්කෝලෙ වහලෙ උඩට නැගලා. ඕවා කරනවා අහුවෙලා ෆාදර්ස්ලගෙන් දඬුවම් විඳලා තියෙනවලු. ඒ අතරෙ ඉස්කෝලෙ කට් කරලා ඔස්ටින් කියන යාළුවත් එක්ක ගිහින් නිතරම ඉංග්‍රීසි කොමඩි ෆිල්ම් බැලුවලු. * එහෙම කාලෙ ගෙවෙද්දි ? එයා විභාගෙ පාස්වෙලා රස්සාවකුත් කරනවා, තැපැල් ස්ථානාධිපතිවරයෙක් විදිහට මස්කෙලිය පැත්තේ තැපැල් කාර්යාලෙක. ඒ වැඩකරගෙන ඉන්නකොට තමයි සිරිල් පී. අබේරත්න, රෝයිට කියලා තියෙන්නෙ අලුත් චිත්‍රපටියකට නළු නිළියො බඳවාගන්න ඉන්දියාවෙන් පී. නීලකන්දන්ලා ඇවිත් ඉන්ටවිව් එකක් තියෙනවා කියලා. * ඔහු සිරිල් පී. අබේරත්නයන් අඳුරන්නෙ ? සිරිල් පී. අබේරත්නගෙ පුතා රෝයිගේ ඉස්කෝලේ යාළුවෙක්. ඒ යාළුකමට රෝයි. සිරිල් පී. අබේරත්නගේ ගෙදරත් යනවා. එතකොට සිරිල් පී. අබේරත්න මෙයාව දැකලත් තියෙනවා. එයා රඟපාන්න දක්ෂයි කියලා ඒ පුතාගෙන් අහලත් තිබුණා. * ඉතින් ඔහු සම්මුඛ පරීක්ෂණේට ඉඳලා තිබුණා ? දාහක් විතර ඉන්ටවිව් ඇවිත් ඉඳලා. ඉන්ටවිව් ඉවරවෙන්නත් ළඟයි කවුරුත්ම රෝයිට කතාකරලා නෑ. එයා එතැනින් ආපහු එනකොට කට්ටිය දිහාම බලාගෙන හිටපු පී. නීලකන්දන් දැකලා රෝයිට ඇතුළට කතාකරලා තියෙනවා. * එහෙම අඬගහලා ? එතන ඉන්‍ටවිව් කරන්න හිටපු තව දෙමළ මහත්තයෙකුට දෙමළ බසින්, කිව්වලු මෙයා ජේ. ශංකර් වගේ කෙනෙක් කියලා. එහෙම කියලා එදා රෝයිව අලුත් චිත්‍රපටයට ගන්න ඉන්ටර්විව් එකෙන් පාස් කාළාලු. * සම්මුඛ පරීක්ෂණෙන් පස්සෙ ? සුජාගෙ රහස චිත්‍රපටියෙ රවීන්ද්‍ර රූපසේනගෙයි ජීවරාණිගෙයි පුතා විදිහට රෝයි රඟපෑවා. ඒක තමා රෝයිගෙ පළවෙනි චිත්‍රපටිය. ඊට පස්සෙ සුදු දුව චිත්‍රපටිය ලැබෙනවා. ඒකේ රඟපාන්න යන්න ප්‍රධානියගෙන් නිවාඩු ඉල්ලලා දීලා නෑ. * ඉතින් මොකද කරලා තියෙන්නෙ ? සුදු දුව චිත්‍රපටියෙ රඟපාන්න රස්සාවෙන් අයින් වෙලා කොළඹ ගිහින්. ඊටපස්සෙ දිගටම චිත්‍රපට ලැබිලා රඟපාලා තියෙනවා.සැනසිලි සුවය, රුහුණු කුමාරි, හතරමහ නිධානය වගේ චිත්‍රපටි ගණනාවකට පස්සෙ හතර පෙරළිය ලැබෙන්නෙ. * ඒ ඔබට ඔහු පළමුව හමුවෙන චිත්‍රපටය ? එයා ටික දවසක් මගෙ හැසිරීම බලා හිටියලු. මම ලොකේෂන් එකේදි වැඩක් නැත්තම් මගේ පාඩුවේ හිටියා. එක්කො පොතක් කියෙව්වා. වැඩිය කාඑක්කවත් කතාකරන්න විහිලුකරන්න ගියෙ නෑ. මාත් එක්ක අම්මා හිටියා. මම අනිත් අයට වඩා වෙනස් කියලා තමයි එයා මාත් එක්ක කතා කළේ. * ඉතින් ඔහොම වෙද්දි ? මාත් එක්ක කතා කර කර ඉඳලා දවසක් මං ගැන රෝයි අම්මගෙන් ඇහුවා. අම්මත් රෝයිට හරි කැමැතියි. ඉතින් අම්මා රෝයි මං ගැන ගෙනාව යෝජනාවට කැමැති වුණා. * හතරපෙරළිය ඉවරවෙනකොට දෙන්නා හොඳ ආදරවන්තයෝ ? එහෙම වුණාට ඊට පස්සෙ අපි එකම චිත්‍රපටිවල නෙවේ රඟපෑවේ. අපි දෙන්නට වෙන වෙනම චිත්‍රපටි ලැබුණෙ. රෝයි, ජෝ දේවානන්දන්ගෙ චිත්‍රපටිවල රඟපෑවා. ඒවායෙ රඟපාන්න ජෝ දේවානන්දන් ගෑනු ළමයි හොයද්දිවත් රෝයි මං ගැන ඒ ගොල්ලන්ට කියලා තිබ්බෙ නෑ. * ඉතින් ඊට පස්සෙ ? සුනේත්‍රා චිත්‍රපටියට කටකාර ගෑනු ළමයෙක් හොයද්දි දොන් සිරිසේන කිව්වලු ඇයි මේ රෝයිට ලස්සන ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනෙ එයාව ගමුකො කියලා. මට සුනේත්‍රා චිත්‍රපටියෙ රඟපාන්න ලැබෙන්නෙ එහෙමයි. ඊට පස්සෙ මාව සූකිරි කෙල්ල චිත්‍රපටියටත් ගත්තා. සූකිරි කෙල්ල මගෙ ජීවිතේට විශේෂ වුණ චිත්‍රපටියක් * එහෙම වෙන්නෙ ? ඒ චිත්‍රපටියෙ එක දර්ශනයක් තියෙනවා මම මනමාලියක් විදිහට ඇඳලා පහලට බැහැගෙන එන දර්ශනයක්. ඒක ෂූට් කරපු දවසේ ඒ දිහා බලාගෙන හිටපු රෝයිට හිතුණලු අදනම් කොහොමහරි සුමනව බඳිනවා කියලා. දර්ශනේ රුගත කරලා ඉවරවුණාම ජෝදේව්ට කියලා ලන්ච් ටයිම් එකේ රෝයි මාව එක්කරගෙන ගිහින් කසාද බැන්දා. * ඒ කියන්නෙ හදිස්සි විවාහයක් ? කොහොමත් අපෙ අම්මා අපි දෙන්නට කැමැති වුණාට තාත්තගෙ විරෝධයක් තිබුණා අපේ සම්බන්දෙට. රෝයි කැතලික් ආගමේ. අපි බුද්ධාගමේ. තාත්තාට ඔය ආගම් ප්‍රශ්නෙ ඇරෙන්න රෝයි ගැන වෙන ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. කසාද බැඳලා හෙමිහිට අම්මට ඒ ගැන කිව්වා. ඒත් තාත්තට එහෙම කියන්න බැරිවුණා. * එතකොට තාත්තා දැනගන්නෙ ? කසාද බැඳලා මාස හයකට විතර පස්සෙ රෝයි කිව්වා කැනඩාවෙ ඉන්න අක්කලගෙ ගෙදර යමු කියලා. වෙනදට මාත් එක්ක හැම ගමනකටම අම්මා ආවත් මේ ගමන මං යන්න ලෑස්ති වුණේ තනියමනේ. ඒ වෙලේ තාත්තා අම්මගෙන් ඒ ගැන අහද්දි තමයි කියලා තියෙන්නෙ රෝයි මාව කසාද බැඳලා ඉන්නෙ කියලා. තාත්තට කේන්ති ගියා. ඒත් අපි අපේ ගමන ගිහින් ආවා. ඒ ඇවිත් අපි මොරටුවේ ගෙදරක් කුලියට අරන් පදිංචි වුණා. ටික කාලයක් යද්දි රෝයිගෙ හොඳ ගතිගුණත් එක්ක තාත්තගෙ අමනාපකමුත් නැතිවුණා. * ඔහොම ජීවිතේ ගෙවෙද්දි මගේම ව්‍යාපාරයක් පටන්ගත්තා සැලොන් එකක්. * එතකොට ඔබලාගේ රඟපෑම් ? රඟපෑම් වුණා. හැබැයි ඒ ඊට පස්සෙ රෝයි තිර රචනය ලියලා නිෂ්පාදනය කරලා එයාම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටවල. එයා මුලින්ම චිත්‍රපටියක් තනියම කළේ බඳින්නත් කලින් ඒ ටොම් පචයා. ඊට පස්සෙ දිගටම තණ ගිරවි, සුදු පිරුවට, ගෙදර බුදුන් අම්මා, කඩවුණ පොරොන්දුව නව නිර්මාණය, චරියෝ ඩාලින්, හිත හොඳ කොල්ලෙක් වගේ චිත්‍රපට ගණනාවක් කළා. * ඊට පස්සෙ දිගටම කළේ ඔහුගේ චිත්‍රපට විතරමයි ? චෙරියෝ ඩොක්ට, චෙරියෝ කැප්ටන්, ඔක්කොම කණපිට, දවල්මිගෙල් රෑ දනියෙල් වගේ වෙනත් අය නිෂ්පාදනය. කළ චිත්‍රපටත් ගණනාවක් කළා. ඒ අතරේ රෝයිට ආසාවක් ආවා සීයට සීයක් සිංහල නළු නිළියො දාලා ඉංග්‍රීසි චිත්‍රපටයක් කරන්න. එවැනි චිත්‍රපටත් දෙකක් කළා. * ඔහු රඟපෑමෙන් ඈත්වුණාද ? චිත්‍රපට හදමිනුත් රඟපෑවා. ඒත් රඟපෑමට ඒ කාලේ ඒ තරම් කැපකිරීමක් කරන්න වෙලාව නැතිවුණා. මම දිගටම එයාගෙ චිත්‍රපටවල රඟපෑවා. රෝයි කියන්නෙ වාණිජ චිත්‍රපටත් කලාත්මක චිත්‍රපටත් දෙකම කරන්න දක්ෂයෙක්. රෝයි චිත්‍රපට අසූවක අනූවක රඟපෑවා. * ඉතින් ඔහොම කාලේ ගෙවෙද්දි ? අනූ ගණන් වෙද්දි අමෙරිකාවෙ ඉන්න සිංහල ආයෝජකයො එක්ක රෝයි චිත්‍රපට දෙකක් කළා, ‘සිහින ලොවක් සොයා’ සහ ‘ටොම් පචයෝ’ කියලා. වැඩ ඉවර කරලා අවුරුදු හතරක් ගිහිල්ලත් සංස්ථාවෙන් ප්‍රදර්ශනයට මේ දෙක මුදා හැරියෙ නෑ. ඒ නිසාම රෝයිගෙ පළවැනි චිත්‍රපටය ටොම් පචයා වෙද්දි අන්තිම චිත්‍රපටය ටොම්පචයො වුණා. * අන්තිම චිත්‍රපටය ? එයා අවුරුද්දක් දෙකක් තුනක් බලා හිටියා චිත්‍රපටි මුදා හරිනකල්. යට කරලා තියෙන්නෙ අනුන්ගෙ සල්ලි. තව එකක් කරන්න ආදායමක් නෑ. තිබ්බ සල්ලි ඉවරවෙනව වියදම් කරලා. අපි අසරණ වෙලා හිටියෙ මේ චිත්‍රපට දෙක ප්‍රදර්ශනයට මුදා හරින්නෙ නැතුව. * ඉතින් එහෙම වෙද්දි ? එහෙම කාලෙක තමයි 2018 අවුරුද්දෙ ජුනි 30 හදිසි හෘදයාබාධයකින් නැතිවෙන්නේ. සල්ලි වියදම් කරලා ලැබෙනකම් බලා ඉද්දි ඒ ලැබීම ඈතට යනකොට කාටද හිතට අමාරු නොඑන්නෙ. අපි චිත්‍රපටි හැදුවා මිසක් ඉන්න ගෙයක් හැදුවෙ නෑ. ඒ හින්දා අදත් ඉන්නෙ මම කුලී ගේක. * ඔහු නැතිවීම දරාගත්තේ ? දරාගන්න බෑ තවමත්. පාළුව තනිකම තවම තියෙනවා. දැන් මම බලාගෙන ඉන්නෙ අපේ චිත්‍රපට රිලීස් වෙනකල්. ඒවා රිලීස් වෙන්න තවත් කල් ගියොත් මට වෙන්නෙත් රෝයිට වුණ දේම තමයි. බියංකා නානායක්කාර ඡායාරූප - දයාන් විතාරණ
 

More News..