brand logo

අපි උසාවි ගියේ ඡන්දය කල්දාලා අතුරු කමිටුවක් ගේන්න නොවෙයි

22 February 2021

ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට හේතු වන රෙගුලාසි ඇතුළත් කර අලුතින් ව්‍යවස්ථාවක් සකස් කොට ඒ යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එහි පාලක මණ්ඩලය හැකි ඉක්මනින් පත්කිරීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂට බල කරන නියෝගයක් ඉල්ලා ගොනු කළ ‘රිට්’ පෙත්සමක් පිළිබඳ විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය ඉකුත් 15දා තීරණය කළේය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ යහපතට හේතුවන රෙගුලාසි ඇතුළත් ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට හා පාර්ලිමේන්තුවට, ඇමැති මණ්ඩලයට හා ජනපතිට වගවිය යුතු පාලක මණ්ඩලයක් පත් කිරීමටද ඇමැතිවරයා පියවර ගත යුතු යැයි කියා සිටින පෙත්සම්කරුවෝ එසේ කිරීමට බලකරන නියෝගයක් ඇමැතිට නිකුත් කරන්නැයි පෙත්සමෙන් ඉල්ලා සිටියහ. ඒ පෙත්සම ඉදිරිපත් කළෝ මෙරට ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහ සමාජයේ කීර්තිමත් චරිත වෙති. සිදත් වෙත්තිමුණි, 96 ලෝක ශූරතාව දිනාගන්නා විට ක්‍රිකට් පාලක මණඩලයේ සභාපතිව සිටි ආනා පුංචිහේවා ආදීන් සමග ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ද ඒ අතර විය. තමන් මෙසේ අධිකරණය හමුවට යෑමට තුඩු දුන් කාරණා සහ එහි අරමුණු සම්බන්ධයෙන් අපි මුරලිගෙන් මෙසේ ඇසුවෙමු. අපි කෙළින්ම කතා කරමු, ඔබ ඇතුළු පිරිස නීතිය හමුවට ගියේ ක්‍රිකට්වල බලයේ ඉන්න පිරිසක් ඉවත්කර වෙනත් පිරිසක් එතැනට ගේන්න ද? කොහෙත්ම නෑ. මේක කාටවත් ප්‍රශ්නයක් ඇතිකරවන දෙයක් හෝ කාටවත් ප්‍රශ්නයක් ඇතිකිරීමේ අරමුණකින් කරපු දෙයක් නෙවෙයි. තමන්ගෙ අරමුණු වෙනුවට ක්‍රිකට් දියුණු කරවන්න අරමුණක් ඇති පිරිසකට ‍ඒ අවස්ථාව ලැබිය යුතුයි කියන ‍චේතනාවෙන් කරපු දෙයක් මිසක්, පුද්ගල චරිත වශයෙන් කාවවත් බලයට ගෙන එන්න කරපු දෙයක් නෙවෙයි මේ. ක්‍රිකට් ක්ෂේත්‍රයේ පිළිගැනීමක් ඇති පිරිසක් හැටියට ඔබලාට ක්ෂේත්‍රය තුළම සංවිධානය වෙලා ඒ දේ කරන්න තිබුණා නේද? නීතිය මුවට යෑමේ සැබෑම අරමුණ මොකක්ද? පිරිසක් සංවිධානය වෙලා සුදුස්සකු පත්කරන එක ප්‍රායෝගිකව පහසු නෑ වගේම තාවකාලික දෙයක් පමණක් වෙන්න පුළුවන්. නමුත් යම්කිසි නීතිමය තීන්දුවක් යටතේ ව්‍යවස්ථාමය තත්ත්වයකට ඒ අවස්ථාව ලබාදුන්නාම ඒක ඊට වඩා ස්ථාවරයි. පැහැදිලියි. සියල්ලන්ටම විවෘතයි. මේ රටේ ක්‍රීඩා පනතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවත් දැන් දශක ගණනාවක් පරණයි. අලුත් යුගයට මේවා ගැළපෙන්නෙ නෑ. ඒ නිසයි මේ අද අපි මුහුණදෙන ප්‍රශ්න බොහොමයක් ඇතිවෙලා තියෙන්නේ. හරි ව්‍යවස්ථා මණ්ඩලයක් හමුවට‍ මේක අරගෙන ගිහින් ගැළපෙන ව්‍යවස්ථාවක් හැදුවා නම් එච්චරයි. එතකොට මේ අද පවතින ප්‍රශ්න බොහොමයක් විසඳෙයි. අපි විරුද්ධ මේ පවතින ව්‍යවස්ථාවට මිසක් පවතින ක්‍රිකට් පරිපාලනයකට හෝ ක්‍රිකට් පරිපාලනයේ ඉන්න පුද්ගලයෙක්ට නෙ‍‍වෙයි. ඔබ හිතන්නේ අද ලෝකයේ පවතින ක්‍රිකට් රටාවේ හැටියට අපට තියෙන්නේ යල් පැනගිය ව්‍යවස්ථාවක් කියලද? ඒක තමයි අපි කියන්නේ. එදා ගහපු ක්‍රිකට් නෙවෙයි අද ගහන්නේ. අද ක්‍රිකට් අලුත් වෙලා. පරණ දේවල් ගොඩක් වෙනස් වෙලා. මේකට ගැළපෙන විදිහට ව්‍යවස්ථාවත් හැඩගැහෙන්න ඕනේ. එහෙම කරන එකේ වැරැද්දක් නැහැනේ නේද... සාමාන්‍යයෙන් අධිකරණය ඉස්සරහට අපි යන්නේ යමක් ගොඩින් බේරාගන්න බැරිම විටක. අධිකරණය ඉදිරියට ගිහින් ගැළපෙන ව්‍යවස්ථාවක් වෙනුවෙන් බලකරන්න පෙර, ඔය කියන විදිහේ ‍ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හමුවට යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළේ නැත්තේ ඇයි? මෙයට පෙර එහෙම ඉදිරිපත් වුණ යෝජනා ගැන කවුරුත් සලකා බැලුවේ නැහැනේ. මම නීතිය අර්ථ දක්වන්න දන්නෙ නැහැ. ඒත් මේක රටේ පොදු නීතිය යටතේ, ක්‍රීඩා පනතට බලපෑමක් කිරීමෙන් කළ හැකි දෙයක් මිසක්, පුද්ගලයන් පිරිසකගේ යෝජනා ස්ථිරත්වයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එකයි මගේ දැනීම. මෙහෙම ගැටලුවක් ඉන්දියාවෙත් තිබුණා. ඒ ගැටලුව විසඳගන්න ඔවුන් කළෙත් රටේ පවතින නීතිය හමුවට යෑම. ඒ විදිහට ගිහින් ඒ අය ඒ ප්‍රශ්නය විසඳගත්තා. ඉතින් අපටත් පුළුවන් නීතිය හමුවට ගිහින් මේකට ස්ථිරසාර වගේම පැහැදිලි විසඳුමක් අරගන්න. නීතිය විසින් පනවන නියෝගයක් තමයි මේ අවස්ථාවේ තියෙන ප්‍රායෝගිකම විසඳුම. ව්‍යවස්ථා‌වේ මණ්ඩලයකින් නව ව්‍යවස්ථාවක් හදන්න කියලා නියෝගයක් ලැබුණොත් කවුරුත් බැඳී ඉන්නවා ඒ දේ කරන්න. ඒ කියන්නේ ඉන්දියාව ආදර්ශයට අරගෙනද අද ලංකාවෙ ක්‍රිකට් දියුණු කරන්න හදන්නේ. එයද ඔබ ඇතුළු පිරිසගේ මතය? නැහැ. අපි ඉන්දියාව ආදර්ශයට අරගෙන වැඩකරනවා කියන එක නෙවෙයි මෙතැන අදහස. රටක් හැටියට අපට ඇත්තටම අවශ්‍ය කරන්නේ මොකක්ද කියන එකයි අපි බලන්නේ. මේ අවශ්‍යතාව අපිට ඇතිවෙන්නේ අද ඊයෙක නෙවෙයි. ඒ කියන්නේ ඉන්දියාව ඔවුන්ගේ ප්‍රශ්නය අධිකරණය හමුවට ගෙනියන්න කලින් ඉඳලම අපිට මේ ප්‍රශ්නය තිබෙනවා. අපිට මේ අවශ්‍යතාව තිබුණා. බලන්න කොහොමද පහුගිය කාලයම ගෙවුණේ කියලා. කාලයකට ඡන්ද එනවා. ප්‍රශ්න ඇතිවෙනවා. අතුරු කමිටු වැටෙනවා. ඡන්දෙන් එන අය කාලයක් ක්‍රිකට් කරනවා. ආයෙ ටික කාලයකින් අතුරු කමිටු ක්‍රිකට් කරනවා. මේක විහිළුවක් නෙවෙයිද? මේ විහිළුව නතර කරන එකේ අවශ්‍යතාව කාලයක් තිස්සෙම අපිට තිබුණේ නැද්ද? ඔබේ ඒ පිළිතුර, මගේ මීළඟ ප්‍රශ්නයට හොඳ ප්‍රවේශයක්. ඔබ ඇතුළු පිරිස අධිකරණයෙන් කර ඇති ඉල්ලීම දිහා බැලූ බැල්මට පෙනෙන්නේ ඔබ පවතින පරිපාලනය වෙනුවට අතුරු කමිටුවක් බලාපොරොත්තුවෙන් කළ ඉල්ලීමක් වගෙයි... නැහැ. මම කලින් කිව්වා වගේ, විටින් විට අතුරු කමිටු වැටෙන එක වළක්වන්නයි අපට අවශ්‍ය. අපේ බලාපොරොත්තුව අතුරු කමිටු මගින් ක්‍රිකට් පාලනය වන එක නෙවෙයි. ක්‍රිකට් දියුණුව වෙනුවෙන් අවංකවම කැපවෙන පිරිසක් නිසි ක්‍රමයකට ක්‍රිකට් පරිපාලනයට පත්වෙන ක්‍රමවේදයක් ගෙන ඒම හා ඒ ක්‍රමවේදය දිගටම පැවතීමයි. අද බොහෝ දෙනා කියනවා ක්‍රිකට් දියුණු කරනවා වෙනුවට තමන්ගෙ දියුණුව පෙරදැරි කරගත්තු මුදලාලිලා ටිකක් ක්‍රිකට් පාලනය කරනවා කියලා. මේ අදහසට ඔබ එකඟද? ක්‍රිකට් පාරිපාලනය කරන්නේ මුදලාලි කෙනෙක්ද වෙන කෙනෙක්ද කියන එක අපිට අදාළ නැහැ. ක්‍රිකට් පෙරට ගෙනයන්න පුළුවන් විදිහේ ව්‍යවස්ථාමය ක්‍රමවේදයක් හදනවද නැද්ද කියන එක විතරයි අපි අදාළ කරගන්න ඕනේ. එතකොට ඒ දේ කරන්න පුළුවන් අය පත්වෙයි. දැන් තියෙන ව්‍යවස්ථාවෙන් ක්‍රිකට් පෙරට ගෙනියන්න බැහැ කියලා ඔප්පුවෙලා ඉවරයි. මේ ගැන අවධානයෙන් ගැළපෙන ව්‍යවස්ථාවක් හදන්න දැනුම බුද්ධිය තියෙන අය මේ මොහොතේ අපට ඉන්නවා. එහෙම පිරිසක් විසින් හොඳම ව්‍යවස්ථාවක් හැදුණොත් එයින් කාටවත් විශේෂ වාසියක් හෝ පාඩුවක් වෙන්නේ නැහැනේ. එතැනදි ක්‍රිකට් කරවන්න එන්නේ මුදලාලි කෙනෙක්ද වෙන කෙනෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ගැළපෙන ඕනෙ කෙනෙක්ට එන්න පුළුවන්. එතකොට කවුරු ආවත් වාසිය වෙන්නේ ක්‍රිකට්වලටනේ. ඔබ ඔය කියන ගැළපෙන ව්‍යවස්ථාවට අතුළත් විය යුතු දේ සම්බන්ධයෙන් ඔබට යෝජනා තියෙනවද? නැහැ. මෙතැනදී මම එහෙම යෝජනා ඉදිරිපත් කරන්න යන එක එතරම් ගැළපෙන්නේ නැහැ. ඒක තමයි මම කිව්වේ ඒ දේ කරන්න පුළුවන් බලය පැවරුණු පිරිසක් මේ මොහොතේ අපට ඉන්නවා කියලා. ඒ අය අවශ්‍ය දේ තීරණය කරයි. අධිකරණය විසින් අලුත් ව්‍යවස්ථාවක් හැදීමේ නියෝගයක් ලබාදුන්නොත්, ඒ කටයුත්ත පැවරෙන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පැරණි ක්‍රීඩකයන්, පරිපාලනයන් ආදී පිරිස් ඔවුන් හමුවට කැඳවා අදහස් ගනීවී. එතැනදි ඒ දායකත්වය දෙන්න අපිටත් පුළුවන් වෙයි. ඔබ ඇතුළු පිරිස විසින් අධිකරණය හමුවට ගොස් කරන ලද මේ ඉල්ලීම නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණය කල් යයිද? නැතිනම් නිලවරණයට ප්‍රකාශයට පත්ව ඇති මොහොතක මෙය අධිකරණය හමුවට යෑමේ සැඟවුණු පරමාර්ථයක් වෙන්නේ නියමිත ක්‍රිකට් නිලවරණය කල් දැමීම කියලත් කෙනෙක්ට කියන්න පුළුවන්.... කොහෙත්ම නැහැ. ව්‍යවස්ථාවක් හදන එක එක රැයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට කාලයක් ගතවෙනවා. ඒ වෙනතුරු නිලවරණය කල්දමයි කියලා මම හිතන්නේ නැහැ. ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විටත් නිලවරණයක් ප්‍රකාශ කරලා ඉවරයි. එය පවත්වා අවසන් කළ යුතු දිනත් ප්‍රකාශයට පත්කරලා. එහෙම වටපිටාවක මම හිතන්නේ නැහැ මේ අධිකරණ ක්‍රියාමාර්ගයේ තීන්දුවක් ලැබෙනතුරු නිලවරණය කල්දමයි කියලා. ඔය කියන විදිහට,රටේ ක්‍රිකට් සුරැකෙන ව්‍යවස්ථාවක් ගෙන එන එක අද හෙටම කරගන්න බැරි වුණත් ඒ ගෙනෙනතුරු රටේ ක්‍රිකට් ‘පණකෙන්ද’ රැකගන්න වෙනවා. ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද? ඒකට තමයි අපිව මේ වන විට පරිපාලනමය නොවන අනෙක් කාරණා වෙනුවෙන් යොදවලා තියෙන්නේ. මමත් සාමාජිකයෙක් විදිහට ඉන්න ක්‍රිකට් තාක්ෂණ කමිටුව හරහා අපි කරන්න හදන්නේ ඒ දේ තමයි. සාකච්ඡාව - ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..