brand logo

අපි ඉන්නේ බිස්නස් එකක

09 November 2019

මේ දිනවල රූපවාහිනී නාළිකාවල විකාශය වන නාට්‍ය දෙකක වෙනම චරිත දෙකක් ඔබ නිරූපණය කරන්නේ? ඔව්. ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ පැණිකුරුල්ලෝ නාට්‍යයේ පාතාලයේ චරිතයක් රඟපාන අතර ටිකිරි රත්නායකගේ සකල ගුරු නාට්‍යයේ පොඩ්​ඩේ ගුරු චරිතය රඟපානවා. මේ චරිත දෙක හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. ඔබ කෙසේද මෙලෙස චරිතයෙන් චරිතයට මාරු වීම සාර්ථකව සිදු කරන්නේ? එය අපිට වේදිකාවෙන් ලැබුණු ආභාසය කියල මම හිතනවා. මොකද අපි වේදිකාවෙන් පිපුණු නළුවෝ. මුල් කාලයේදී වේෂ නිරූපණය මාරු කරමින් එකම නාට්‍යයේ විවිධ චරිත අපි රඟපෑවා. එහිදී රඟපාන්න සිද්ධ වුණේ එකිනෙකට වෙනස් වූ චරිතයන්. දැන් වුණත් එක නාට්‍යයක එක චරිතයක් රඟපාලා අනෙක් නාට්‍යයේ වෙනත් චරිතයක් රඟපාන්න සිදු වෙනවා. ඒ වෙලාවේදී පිටපත කියවීම තුළින් මට හැකියාව ලැබෙනවා ඒ චරිතයට ඇතුළු වන්නට. මම හිතන්නේ වේදිකාවෙන් ලැබුණු ආභාසයයි අපේ අත්දැකීමුයි තමයි මෙයට මූලික වෙලා තියෙන්නේ. රඟපෑමේදී චරිත තෝරා ගැනීමක් සිදු කරනවද? ලොකුවට තෝරා ගැනීමක් සිදු කරන්නේ නැහැ. නමුත් මම පෞද්ගලිකව රඟපාන්න අකැමැත්තක් දක්වනවා ස්ත්‍රී දූෂකයින්ගේ චරිත, සමාජයට අහිතකර පණිවුඩයක් ලැබෙන චරිත. පැණි කුරුල්ලෝ තම්පෝගේ චරිතයට පවා මට සමාජයෙන් ලැබෙන්නේ දරුණු ප්‍රතිචාර. හාස්‍ය උත්පාදන චරිතවලට පමණක් කොටු වීම සාර්ථකද? මම දිගින් දිගටම රඟපෑවේ කොමඩි චරිත. මම එහෙම කොටු වෙන්න කැමැති නැහැ. පසුගිය කාලේ මගේ ශරීර ස්වභාවය හින්දා හාමුදුරු චරිතවලට කොටු වෙලා හිටියා. මම එයිනුත් මිදුණා. සිරිපැරකුම් චිත්‍රපටයෙන් පසුව හාමුදුරු චරිතයක් මම රඟපෑවේ නැහැ. මම හිතන්නේ එහෙම එකම චරිතයකට පමණක් කොටු වීම අවශ්‍ය නැහැ කියලා. ඉදිරියේදීත් මම මගේ ප්‍රතිපත්තිවල ඉඳලා විවිධ චරිතවල රඟපානවා. අද ටෙලි නාට්‍ය වාණිජ්‍යකරණය වෙලා නාට්‍ය කලාවක් නැහැ නේද? ඔව්. අද නාට්‍ය කලාවක් නැහැ. තිබෙන්නේ කර්මාන්තය. ඒක බිස්නස් එකක් පමණයි. අද වන විට අධ්‍යක්ෂ නළු නිළියන් හැමෝම ඉන්නේ මේ බිස්නස් එක ඇතුළේ. කලාවක් හැටියට ගෙනියන්න අමාරුයි. අපිත් මේ බිස්නස් එක ඇතුළට වැටිලා ඉන්නේ. ඇයි එහෙම සිදුවුණේ? නිර්මාණකරණය කලාවක් ලෙස සිදු කළ පිරිස අද වන විට ඉන් ඈත් වෙලා ඉන්නවා. ජයන්ත චන්ද්‍රසිරි, හඳගම ,ආනන්ද අබේනායක වැනි පිරිස අද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය තුළින් ඈත් වෙලා. අපිත් කැමැතියි මේ අය නැවතත් නිර්මාණය සමග සම්බන්ධ වෙනවා නම්. සෝමරත්න දිසානායකගේ ඉදිරියට තිරගත වීමට නියමිත සුනාමි චිත්‍රපටයෙන් ඔබ රඟපාන චරිතය ගැන කතා කළොත්? එහි මම රඟපාන්නේ ලෝයර් කෙනෙක්ගේ චරිතයක්. සෝමරත්න දිසානායකගේ ස​රෝජා චිත්‍රපටයේ සිට ඔහුගේ සෑම චිත්‍රපටයකම මම රඟපානවා. ඔහු කිසිම දවසක ඔහුගේ චිත්‍රපටවල ප්‍රහසන චරිත සඳහා මාව ගත්තේ නැහැ. සෑම චිත්‍රපටයකම මම රඟපෑවේ එකිනෙකට වෙනස් චරිත. එය සෝමරත්න දිසානායක මට දුන්න තෑග්ගක් විදිහටයි මම හිතන්නේ. සිකුරු හතේ සහ සුහද කොකාගෙන් පසුව චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වුණේ නැහැ.? මම එක දිගට චිත්‍රපට කරන කෙනෙක් නෙමේ. සිකුරු හතේ කරලා අවුරුදු ගණනාවකට පසුව තමයි සුහද කොකා අධ්‍යක්ෂණය කළේ. ඊට අවුරුදු හතරකට පමණ පසුව මම තවත් චිත්‍රපටයක් කළා. ඒකේ නම කතුරු මිතුරු ප්‍රහසනය තිබෙන චිත්‍රපටය. එහි වැඩ නිම වෙලා තිබෙන්නේ. ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. එය බාබර් කෙනෙක් සහ ටේලර් කෙනෙක් වටා ගෙතුණු කතාවක්. ඔබේ අධ්‍යක්ෂණය ප්‍රහසන චිත්‍රපටවලට පමණක් සීමා වෙනවද? මම හිතන විදිහට කලාත්මක චිත්‍රපට ඕනතරම් නිෂ්පාදනය වෙනවා. අපේ නව පරපුරත් ඉතාම හොඳ කලාත්මක චිත්‍රපට හදනවා. ඒ වාගේම තමයි එම චිත්‍රපට අද වන විට ජාත්‍යන්තරය පවා දිනාගෙන තිබෙනවා. මම හිතන විදිහට අද හිඩැස තිබෙන්නේ කලාත්මක චිත්‍රපටවල නෙමෙයි. හාස්‍ය චිත්‍රපට සඳහා. අනෙක් කරුණ හාස්‍ය චිත්‍රපට නිෂ්පාදනය කෙරෙනවා අඩුයි. මගේ දක්ෂතාව තිබෙන්නෙත් එවැනි චිත්‍රපට කිරීමට. ඒ හින්දා මම හාස්‍ය උත්පාදන චිත්‍රපටකරණයේ නිරත වෙනවා. වේදිකාව, ටෙලිනාට්‍ය චිත්‍රපටවලින් ඔබ රඟපෑමට වඩාත් කැමැති? මම හැමදාමත් වේදිකාවට ආදරෙයි. මොකද වේදිකාවේ ප්‍රතිචාර හරිම සජීවීව අපට ලැබෙනවා. ටෙලිනාට්‍ය චිත්‍රපටයක රඟපාපුවාම ප්‍රතිචාර ලැබෙන්නේ කලක් ගිහිල්ලා. නමුත් වේදිකාව එසේ නැහැ. ඒ මොහොතේම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. වේදිකාවට මම කවදත් ආදරෙයි. නමුත් දැන් තිබෙන කාර්ය බහුලත්වය එක්ක වේදිකාවෙන් ටිකක් ඈත්වෙලා කියල මට හිතෙනවා. මේ දිනවල බොහෝ කලාකරුවන් දේශපාලන වේදිකාවල දකින්නට ලැබෙනවා. ඔබත් එසේ වේදිකාවකදි අපට දැකගත හැකි වෙයිද? මම දේශපාලන කලාකරුවෙක් නෙමෙයි. මම සාමාන්‍ය කලාකරුවෙක්. මම හිතන විදියට කලාකරුවන්ට අවශ්‍ය දේශපාලන පක්ෂයක් තවම බිහිවෙලා නැහැ. එහෙම බිහිවුණ දිනයට මම කලාකරුවකු වශයෙන් එම පක්ෂයට ඡන්දය දෙන්න කියලා මම කියනවා. මගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීමට මම දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැහැ. මගේ අයිතියක් විදිහට පමණක් මම ඡන්දය දිනට මට අවශ්‍ය පුද්ගලයාට ඡන්දය ලබා දෙනවා. ශිරෝමි රත්නායක
 

More News..