brand logo

අප්‍රේල් මස 05 වනදා “ජාතික සිනමා දිනය” ලෙස නම් කරයි

04 April 2019

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමන්ගේ 100 වන ඡන්ම දිනය යෙදෙන අප්‍රේල් මස 05 වනදා “ජාතික සිනමා දිනය” ලෙස ප්‍රකාශයට පත් කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සෑම වසරකම අප්‍රේල් මස 05 වනදා “ජාතික සිනමා දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇති බවත්, ඒ අනුව පළමුවන “ජාතික සිනමා දිනය” හෙට දින (05) පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. දේශීය සිනමාව වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිදුන් සිදුකළ අමිල සේවාවන් අගයමින් එයට කෘතගුණ සැළකීමක් ලෙස රුපියල් ලක්ෂ 150 ක් වැය කරමින් එතුමන්ගේ නමින් කෞතුකාගාරයක් සහ පුස්තකාලයක්, හෙට දින කොළඹ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. වත්මන් උදා ගම්මාන වැඩසටහන යටතේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නමින් උදා ගම්මානයක් මේ වන විටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා, දිවයිනේ අනෙක් දිස්ත්‍රික්ක 24 තුළද එතුමන්ගේ නමින් තවත් උදා ගම්මාන 24 ක් ඉදිරියේදී ආරම්භ කරන බවද මෙහිදී වැඩිදුරටත් පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අප්‍රේල් මස 05 වනදා “ජාතික සිනමා දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මාධ්‍ය හමුවකට අද (04) දින සහභාගි වෙමිනි. මෙම මාධ්‍ය හමුව බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවත්විණි. මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනී අනූෂා ගෝකුල, ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කුමාර ජයකාන්ත යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.
 

More News..