brand logo

අප්‍රිකානු රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 8කට මැලේරියාව

09 July 2020

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබේ. අදාළ පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරයි. පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 05 දෙනෙකුට සහ මීගමුව වයිකාල් ප්‍රදේශයේ නිරෝධායන මධයස්ථානයක සිටි පුද්ගලයින් තිදෙනෙකුට මෙලෙස මැලේරියාව ආසාදනය වී ඇති බව සඳහන් වේ. ශ්‍රී ලංකාව තුළින් 2012 වර්ෂයේ සිට කිසිදු මැලේරියා රෝගීයෙකු වාර්තා නොවූව ද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් මැලේරියා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය. පසුගිය වසරේ පමණක් එලෙස විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 53 දෙනෙකුට මැලේරියාව ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. කෙසේ වෙතත් එකවර වැඩි පිරිසක් මැලේරියා රෝගීන් ලෙස හඳුනාගත් ප්‍රථම අවස්ථාව මෙය බව ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැලේරියා අවදානම් රටවල සිට පැමිණෙන සියලු පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණයට අමතරව මැලේරියා පරීක්ෂණයකට ලක් කිරිමට ද තීරණය කර තිබේ.
 

More News..