brand logo

අපරාධ සිදුවීම් වැඩිපුරම නරඹන්නේ කාන්තාවන්ලු

31 December 2018

අපරාධ සිදුවීම් වැඩිපුරම නරඹන්නේ කාන්තාවන්ලු පසුගිය වකවානුව තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ කාරණාවක් වූයේ තරුණ ජීවිත අකාලයේ අහිමි වී යාමේ කාරණාවයි. එහෙත් ඊටත් ඉහළින් සාකච්ඡාවට බඳුන් වූයේ ඒ අපරාධ එසේ සිදුවෙද්දී එය වළකාලන්නට කිසිවකු ඉදිරිපත් නොවීමේ දුර්භාග්‍යයයි. ඇතැමකුගේ අදහස වූයේ මේ සියලු අභාග්‍ය සම්පන්න සිදුවීම් වළක්වා ගන්නට කිසිවකු මැදිහත් වූයේ නම් ඉඩ තිබුණේ නොවේද යන්නයි. එයට ද ප්‍රතිපක්ෂව හේතු හා තර්ක ගණනාවක්ම ගොඩනැගුණු අයුරු දැකගන්නට ලැබුණි. ඒ කෙසේ වන්නේ වී නමුදු ‘අපරාධ’ අනෙකුත් එදිනෙදා සංසිද්ධි මෙන් ඉතා සාමාන්‍ය දෙයක් වශයෙන් සලකන්නට අද සමාජය හුරුවී ඇතැයි යමකු පැවසුවහොත් එය ඉවත ලන්නටද අපට නුපුළුවන් වෙයි. අනෙක් අතට අපරාධ නැරඹීමද අද සමාජයේ බොහෝ දෙනා ප්‍රියකරන බවක් පෙනේ. මෙම අපරාධ නැරඹීමේ පුරුද්දම අර කී ව්‍යසනකාරී සමාජ තත්ත්වය ඇති කරන්නට හේතු වූයේ යැයි අපට සිතන්නට පුළුවන. අපරාධයක් සිදුවීම වැළැක්වීමට මැදිහත් වනු වෙනුවට එය සිදුවන්නට ඉඩහැර විනෝදයක් ලබා ගන්නට මිනිස් මනස සකස් වූයේ කෙසේද? මෙසේ අපරාධවලට ඇලුම් කරන, අපරාධයක් සිදුවීමෙහි බරපතළකමක් නොහැඟෙන මනසක් ඇතිවීම සඳහා බොහෝ හේතු පවතින බව මනෝ වෛද්‍යවරුන්ගේ සහ සමාජ විශ්ලේෂකයන්ගේ අදහසයි. මේ පිළිබඳව බටහිරින් නැගෙන ප්‍රධානතම තර්ක අතරින් එකක් වන්නේ මාධ්‍ය හරහා සිදුවන නිරන්තර (News Cycle) අපරාධ වාර්තාකරණයයි. සැන්දියාගෝවේ පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන මනෝවිද්‍යඥ ආචාර්ය මයිකල් මැන්ටෙල් (Dr. Michael Mantell) මේ කාරණාව පිළිබඳ බෙහෙවින් උනන්දු වූ පුද්ගලයෙකි. ‘‘පනහේ දශකය වන විට මිනීමැරුම් ආදී අපරාධ පිළිබඳ අපට අහන්නට ලැබුණේ තරමක් අඩුවෙනි. ඒත් හැත්තෑවේ දශකය විතර වෙද්දි මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. අපරාධයක් ගැන අහද්දිම අපේ සිතේ ඇතිවන බිය හෝ තැති ගැන්ම නිතැතින්ම ඒ ගැන හොයා බැලීමේ කාර්යයට අප පොලඹවනවා. එය බොහොමත්ම ස්වභාවික තත්ත්වයක්. ඉතින් රූපවාහිනිය ඇතුළු අනෙකුත් ජනමාධ්‍ය මේ කාරණාව සියයට සියයේ දක්ෂකමකින් අල්ලා ගත්තා ඔවුන්ගේ ආයතනවල ප්‍රසිද්ධිය ලබා ගන්න. සාමාන්‍යයෙන් අප පිළිගන්නා කාරණාව තමයි අද ඕනෑම ජනමාධ්‍ය අංගයක 25% - 30% අතර ප්‍රමාණයක් වෙන්වෙන්නේ අපරාධ වාර්තාකරණය වෙනුවෙන් කියන එක. ඉතින් ඒක අද මිනිසුන්ට සාමාන්‍ය දෙයක් වෙලා.’’ ඒ ඔහුගේ අදහසයි. Elon Law Review හි 209 වැනි පිටුවේ සිට අපරාධ පිළිබඳ මිනිසුන්ගේ කැමැත්ත පිළිබඳව සිය පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරන මේගන් බෝස්මා (Megan Boorsma) මේ ගැටලුව දෙස බලන්නේ දීර්ඝ විද්‍යාත්මක නිරීක්ෂණයකින් පසුවය. ඇයට අනුව මිනිසුන් බොහෝ දෙනෙක් අපරාධ ගැන ඇලුම් කරන්නේ තමන්ගේ ආරක්ෂාව හෝ යහපත (to their own wellbeing) වෙනුවෙනි. ඒ කවර විප්‍රකාර අදහසක්දැයි යමකුට හැඟෙනු ඇති. එහෙත් ඇය පවසන්නේ එහි ඇත්තක් තිබෙන බවයි. ඇගේ පර් යේෂණයට අනුව අපරාධ නැරඹීමට වැඩිමනත්ම ඇලුම් කරන්නේ කාන්තා පාර්ශ්වයයි. එයට පාදක වන මනෝවිද්‍යාත්මක සාධකය ලෙස ඇය පවසන්නේ තමාගේ ආරක්ෂාව තහවුරු කර ගන්නා ආකාරය පිළිබඳ ඉඟි (tips) අපරාධ පිළිබඳ දැන ගැනීමෙන් හෝ දැක ගැනීමෙන් ලැබෙන බවට ඔවුන් කල්පනා කරන බවයි. බාග විට තමන්ට එවන් ඉරණමකට මුහුණ දෙන්නට සිදුවුවහොත් ගන්නා පියවර ගැන සිතින් කවරක් හෝ නොව කෙනකුගේ විපතකදී ප්‍රීතියට පත්වීම නමැති ප්‍රාථමික චිත්තවේගයයි. මානසික ගතියයි. එය අප ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ Schaden freude යන වදනිනි. එය හුදෙක් පරපීඩාකාමීත්වය (sadistic) ලෙස සැලකිය යුතු තත්ත්වයක් නොවේ. යම් හෙයකින් මෙබඳු හැඟීමකට මිනිසකු ගොදුරු වුවහොත් එයින් මුදවා ගැනීම තරමක් අපහසුකාරියක් වෙයි. අනෙක් අතට අනුකම්පා මුසු හැඟුම් (empathy) පළකිරීමේ ඇති සහජ ආශාව නිසාද අපරාධ දකින්නට අසන්නට ඇතැමෙක් ආශා කරන බව කියැවෙයි. මයිකල් මැන්ටෙල් ඒ ගැන පළ කරන්නේ මෙබඳු අදහසකි. ‘‘මේ තත්ත්වය, අපරාධවලට ඇලුම්කිරීම, බාග විට අපට අපේ හිතේ හිරවී තිබෙන අනුකම්පාව පළකිරීමේ අවශ්‍යතාවට ඉස්මතු වෙන්නට උඩගෙඩි දෙනවා. ඇතැම් විට අපරාධයට මුහුණ දුන් පුද්ගලයා පමණක් නෙවෙයි අපරාධකරු පවා අපේ මේ අනුකම්පාවට ලක්වෙනවා’’ අපරාධයක් සිදුවනු නැරඹීමට ඇති සහජ ආශාවක් ගැන ද සඳහන් වෙයි. ඒ පූර්ව විනිශ්චයකින් යුතුව යමකු පිළිබඳව අගතිගාමී අදහසක් ඇති කර ගෙන සිටින්නකුගේ බලාපොරොත්තුව හා ආශාව වන්නේ ඒ තැනැත්තාට යම් විපත්තියක් සිදුවීමයි. උදාහරණ වශයෙන් පවසතොත් අපි අපරාධ දර්ශන ඇතුළත් සිනමා පට නරඹන්නෙමු. එහි ඇති සුදු චරිතයකට සිදුවන අපරාධයකදී කම්පාවෙන අපි කළු චරිතයක් අන්ත පීඩාවට හිංසාවට ලක්වෙද්දී එය නරඹන්නේ සිනා මුසු මුහුණෙනි. තවත් එක් විද්‍යාත්මක කාරණයක් අපරාධ ලෝලය (Love of Crime) හා බැඳෙන බව කිව හැකිය. ඒ ඇඩ්‍රිනලින් ඇබ්බැහියයි. අපරාධ නැරඹීම තුළින් විශේෂයෙන්ම බියජනක දේ නැරඹීම තුළින් හටගන්නා ඇඩ්‍රිනලින් ගලනයට ඇබ්බැහි වීම හේතුවෙන්ද මේ කාරණා පිළිබඳ වැඩි වැඩියෙන් උනන්දුවක් දක්වන්නට ඇතැමකු පෙලඹෙනු ඇතැයි සිතන්නට පුළුවන. එහෙත් එහි ඇති භයානක තත්ත්වය වන්නේ එහි කෙළවරක් හෝ සීමාවක් දකින්නට එයට ඇබ්බැහි වූවකුට නොහැකි වීමයි.  අපරාධ ලෝලීත්වය ද එබන්දක්ම ය.
 

More News..