brand logo

අපරාධකරුවන් පැය 48ක් රඳවා ප්‍රශ්න කිරිමේ කාලය දිර්ඝ කිරීමට යෝජනා

07 March 2019

අපරාධකරුවන් පැය 48 ක් දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම අනුමැතිය ලබා ගැනීම සඳහා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා. අපරාධ නඩු විධි විධාන සංග්‍රහ (සංශෝධන) විධි විධාන සහ 2013 අංක 02 දරණ පනතට අනුව අපරාධයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අයෙකු රඳවා තබා ගැනීමේ කාලය පැය 24 ක් වුවත් පැය 48 ක් දක්වා රඳවා තබා ගැනීමට මෙම පනත මගින් විධි විධාන සලස්වා ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරනවා. එම පනතේ දක්වා ඇති ආකාරයට බරපතල අපරාධ ගණයට වැටෙන වරදක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් විට වැඩිදුර විමර්ශන කටයුතු අවසන් වන තෙක් පැය 48 ක් දක්වා අත්අඩංගුවේ තබා ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ නිලයට අඩු නොවන නිලධාරීයෙකු විසින් මහෙස්ත්‍රාත්වරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙලෙස කාලය දිගු කර ගත හැකියාවක් පවතිනවා. එසේ පැය 48 ක් දක්වා රදවා තබා ගැනීමේ කාලසීමාව වසර දෙකක් දක්වා බල පැවැත්වෙන අතර එම වසර දෙක අවසන් වීමට පෙර තවදුරටත් පනතේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වන්නේ නම් අධිකරණ අමාත්‍යවරයා විසින් පනතේ කාල සීමාව අවසන් වීමට මාසයකට පෙර ගැසට් පත්‍රයේ කරනු ලබන නියෝගයක් අනුව කාල සීමාව දීර්ඝ කර ගත හැකියි. හිටපු අධිකරණ අමාත්‍යවරයා විසින් 2002/28 හා 2017.01.18 දින දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබීමෙන් ලබාගත් නියෝගය මගින් මෙය දීර්ග කර ගෙන තිබුණා. මෙම පනතේ විධි විධාන තවදුරටත් බලාත්මක විය යුතු බවට පොලීසිය විසින් කරන ලද ඉල්ලීමට අනුව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් 2019 පෙබරවාරි මස 02 වන දින සිට වසර දෙකක කාලයක් සදහා තවදුරටත් දීර්ඝ කරන ලද නියෝගය ඇතුළත් අංක 2106/07 හා 2019 ජනවාරි 16 දරණ ගැසට් පත්‍ර යෙහි පළ කර තිබෙනවා. මිනීමැරුම් මං කොල්ලකෑම් ස්ත්‍රී දූෂණ පැහැර ගෙන යාම් මිනී මැරුමට තැත් කිරීම ගිනි අවි භාවිතයෙන් කරන ලද අපරාධ ආදිය මෙම පනත යටතේ අපරාධ වශයෙන් සළකනු ලබයි.
 

More News..