brand logo

අපරාජිත බව රැකගත් ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ හමුවේ කඩුලු 10ක ජයක්

24 January 2020

සිම්බාබ්වේ හමුවේ සිය අපරාජිත බව තවදුරටත් රැකගත් ශ්‍රී ලංකාව දෙරට අතර හරාරේහි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට ඊයේ (23වැනිදා) සමත් විය. ඒත් සමගින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකි වූයේය. සිම්බාබ්වේ හමුවේ මෙතෙක් ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති ශ්‍රී ලංකාව දෙරට අතර පැවැති ටෙස්ට් තරග 19කින් ලැබූ 14 වැනි ජයග්‍රහණය වශයෙන් මෙය සටහන් විය. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 157ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ සිම්බාබ්වේ කණ්ඩාමට පස්වැනි දිනය අවසන්වන විට සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 170ක් පමණි. ඒ අනුව ලකුණු 14ක ජයග්‍රාහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි දිමුත් කරුණාරත්න (10) සහ ඕෂධ ප්‍රනාන්දු (4) යුගලය ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කළහ. සිම්බාබ්වේ පිල පරාජයෙන් බේරා ගැනීමේ සටනක නියැලෙමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පමා කළ 7 වැනි පිතිකරු රෙගිස් චකබ්වා සිය අන්තය රැක ගනිමින් විනාඩි 187ක් කඩුල්ලේ රැඳී සිටියේය. ලසිත් ඇඹුල්දෙණිය එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් චකබ්වාගේ ඉනිම නිමාවන විට ඔහු පන්දු 142කදී ලකුණු 26ක් රැස්කරගෙන සිටියේය. 8 වැනි පිතිකරු වශයෙන් පිටියට පිවිස චකබ්වාට අනෙක් අන්තයෙන් අනගි සහයක් ලබාදුන් ඩොනල්ඩ් ටිරිපානෝ විනාඩි 57ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 61කදී ලකුණු 6ක් රැස්කර ගත්තේය. තරගයේ අවසන් දිනයේ කඩුලු 10ක් දවා ගැනීමේ අභියෝගය භාරගත් සුරංග ලක්මාල් තමන් යැවූ පළමු පන්දුවාරයේදීම ලකුණු 17ක් ලබා සිටි සිම්බාබ්වේ ආරම්භක පිතිකරු ප්‍රින්ස් මස්වව්රේ ක්‍රීඩාගාරය වෙත හරවා යැව්වේය. ඉන් නොනැවතුණු ලක්මාල් තමන් විසින් පිට පිට යැවූ මීළග පන්දුවාර දෙකේදී පිළිවෙළින් බ්‍රයන් මුඩ්සින්ගන්යාම (16) සහ ක්‍රෙයිග් අර්වින් (07) දවා ගනිමින් පස්වැනි දිනය ආරම්භයේදීම සිය කඩුලු සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ නංවා ගත්තේය. ශ්‍රී ලංකා පළමු ඉනිම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමේදී ද්විත්ව ශතකයක් රැස්කර වැඩි දායකත්වයක් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා බවට පත්විය. ලකුණු සාරාංශය සිම්බාබ්වේ පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 358 යි ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 515 යි සිම්බාබ්වේ දෙවැනි ඉනිම සියලුදෙනා දැවී ලකුණු 170යි. (ප්‍රින්ස් මස්වව්රේ 17, බ්‍රයන් මුඩ්සින්ගන්යාම 16, ක්‍රෙයිග් අර්වින් 7, බ්‍රෙන්ඩන් ටේලර් 38, ශෝන් විලියම්ස් 39, සිකන්දර් රාසා 17, රෙගිස් චකබ්වා 26, ඩොනල් ටිරිපානෝ 6, කයිල් ජාවිස් 1, එයින්ස්ලි ඩ්ලෝව් 00, වික්ටර් යාවුචි (නොදැවී) 00, සුරංග ලක්මාල් 4/27, කසුන් රාජිත 1/23, ධනංජය ද සිල්වා 0/12, ළහිරු කුමාර 3/32, ලසිත් ඇඹුල්දෙණිය 2/74) ශ්‍රී ලංකා දෙවැනි ඉනිම කිසිවෙකුත් නොදැවී ලකුණු 14 යි. (දිමුත් කරුණාරත්න 10, ඕෂධ ප්‍රනාන්දු 04, ඩොනල්ඩ් ටිරිපානෝ 0/8, වික්ටර් යාවුචි 0/6)
 

More News..