brand logo

අපට වැරදුනා මහත්තයෝ

05 October 2019

පසුගිය සතිය ගෙවී ගියේ මහා අර්බුදකාරී දෙයක් රටේ සිද්ධවේය යන භීතියෙනි. ඒ පොහොට්ටුව ලකුණෙන් දැනටමත් ජනාධිපති අපේක්ෂකත්වයට ඇප බැඳ තිබෙන ගෝඨාට එරෙහිව හදිසියේ අභියාචනාධිකරණයේ පැවරූ නඩුව නිසාය. ගෝඨාභය රාජපක්ෂ තම ද්විත්ව පුරවැසිබව අහෝසි කරගෙන ලංකාවේ පුරවැසිබව ලබාගත් ක්‍රමය වැරදි සහගත බව කියමින් අභියාචනාධිකරණයට නඩුවක් ගොනු කර තිබිණ. ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දීමට දින හතරක් පහක් තිබියදී පැවරූ මේ නඩුවෙන් ගෝඨාභය පරාද වූයේ නම් ඔහුට හත් වැනිදාට නාම යෝජනා භාර දීමට නොහැකිය. එසේම මේ නඩුව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන දිනයත්, නාම යෝජනා භාරදෙන 07 වෙනිදාත් අතර සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දින යෙදෙයි. මේ අතරේ අග්‍රාමාත්‍ය කාර්යාලය සිකුරාදා දිනයද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන්නට යන බවට ද වාර්තා විය. මිහිඳු හිමියන්ගේ ජීවන ගමනේ වැදගත් සිද්ධියක් කරණ කොටගෙන එම දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත්කොට නඩුව ඇසීමට තියෙන දින ගණන සීමා කළොත් නඩුව අමුතු බඩුවක් බවට පත් වන බව කාගේත් විශ්වාසය විය. මේ නඩුව නිසා ගෝඨාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බැරි වුණොත් පොහොට්ටුවට අලුත් අපේක්ෂකයකු ඉදිරිපත් කරගන්නටද කාල වේලාව මදි වන්නේය. එසේ වුවහොත් ජනතාව වෙනුවෙන් මැරෙන්න බය නෑ යැයි කියන අපේක්ෂකයා  තනි අශ්වයා වන්නේය. අත ජාකොබ්ගේ වුව හඬ ඊසොප්ගේ යයි කියන්නේ මේවාටය. මේ නඩුව දැමූවන්ගේ අරමුණ රටේ ඉන්නා නිවැරදිම, පිරිසුදුම මිනිහෙක් රට වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නොව ගෝඨාගේ ආගමනය වළකා ගන්නට බව හංසයාගේ සුදටත් වඩා සුද්ධය. රට පිරිපහදු කරන්නට ඕනෑ නම් රිෂාඩ්ගේ සිට නඩු දාගෙන අවුත් අන්තිමට තමාට එරෙහිවත් නඩුවක් දා ගන්නට සිද්ධ වෙන දෑ  එමට තිබිණ. පිරිසුදු අපේක්ෂකයා පැතුම නම් සංස්කෘතික අමාත්‍යාංශයේ අරමුදල් පරිහරණය සහ නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රචාරක වැඩවලට ජනතා මුදල් අවභාවිත කිරීමේ වැඩවලට නඩු දමා පටන් ගන්නට ඉඩ තිබුණි. එහෙත් ඒ කිසිවක් සිදු නොවී ඇත්තේ සිවිල් සමාජකාරයන්ගේ වුවමනාව වෙන එකක්ම වූ බැවිනි. මේ අධිකරණ ක්‍රියාමාර්ගය ගැන එහි කුමන්ත්‍රණයක් තියෙන බව සැක කිරීමට ඓතිහාසික හේතු කාරණා ජනතාවට තිබිණ. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ ආණ්ඩුව ගෙනාවේ දේශපාලනයට එන්න ගෝඨා කැමැති නැතැයි කියමින් සිටි යුගයේය. විදේශ රටක පුරවැසිකම තිබීම මන්ත්‍රී ධුරයකට සුදුසු නැතැයි ව්‍යවස්ථා වගන්තියක් පනවා ගැනීමෙන් ගෝඨාගේ දේශපාලන ගමන වළකා ගැනීමට හැකි වෙතැයි ඔවුහු විශ්වාස කළහ. ඊළඟට  මේ නඩේ උත්සාහ කළේ ඇමෙරිකාව මගින් එරට පුරවැසිකම අහෝසි කිරීම වළකා ගන්නටය. ඇමෙරිකානු පුරවැසිකම අහෝසි කරගන්නට ආසන්න වෙද්දී ගෝඨාට එරෙහිව ඩයස්පෝරාව එරට අධිකරණයක නඩුද පැවරුවේය. එයද පලක් නොවිණ. අන්තිමේ ගෝඨාභය රාජපක්ෂ මෙරට පුරවැසිකම පිළිබඳ සඳහන් කළ ලියැවිල්ල නිකුත් කළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයාට එරෙහිව කෝන්තර අසන තැනකටද ආණ්ඩුව ගියේ ගෝඨා නතර කිරීමට තිබෙන වුවමනාව නිසාය. මේ ආණ්ඩුව රැක ගන්නට තනන්නේ එය මෙරට ජනතාවට ප්‍රිය නිසාද? මේ ආණ්ඩුව දින සියයක් යනතෙක් වත් ජනතා විශ්වාසය තබාගත් ආණ්ඩුවක් නොවේ. තෙල් නැව නාවොත් අනෙක එනතුරු ජනතාවට පෝලිමේ ඉන්නට සිද්ධ කෙරෙන එදිනෙදා ජන ජීවිතයවත් පාලනය කර දෙන්නට බැරි ආණ්ඩුවකි. උපවාසයට ඉඳගත් සෙබළෙක් නැගිටුවා ගන්නට තැඹිලි වතුර කෝප්පයක් දෙන්නට තරම් විශ්වාසයක් ජනතාව අතර ඇති කර නොගත් ආණ්ඩුවකි. ජනතාව විශ්වාස කරන්නේ ඊළඟට එන්න ඉන්නා ආණ්ඩුවකි. මේ ආණ්ඩුව ජනතා මතයකට ඉඩ දුන්නේ 2017 දී පැවැත් වූ සමුපකාර ඡන්දයේදී පමණය. සමුපකාර ඡන්දෙයන් අලුත පිහිට වූ  ආණ්ඩු පාර්ශ්වය ලෙල්ලට ඇන ගත්තේය. එයින් ලැබුණ සංඥාව තේරුම්ගත් ආණ්ඩුව පළාත් පාලන ඡන්දය හා පළාත් සභා ඡන්දය කල් දැමුවේය. බැරිම තැන පැවැත් වූ පළාත් පාලන ඡන්දයේදී ජනතාව ආණ්ඩුවට කීවේ අකුලාගෙන ගෙදර යන්නටය. දැන් රටේම පළාත් සභා විරසුරුවලාය. දැන් පළාත් පාලන ආයතනවලින් මහජන මතය නියෝජනය නොවේ. අන්තිමට පසුගිය දා ඇල්පිටිය ආසනයට ඡන්දය පැවැත්වීමට දිනයක් ලැබුණි. එයටද එරෙහිව සජිත්ලාගේ පාර්ශ්වයේ අය අධිකරණයට ගියේ ඡන්ද විමසීම වළක්වා ගන්නටය. සජිත්ලාගේ ආණ්ඩුවට ඡන්ද නයාට අඳුකොළ වැනිය. නයාට අඳුකොළ උපමාව හොඳ වැඩිය. මක්නිසාද යත් නයා වංශවත් එකෙක් බවට සැලකෙන නිසාය. ඒ නිසා හොඳ උපමාව මේ ආණ්ඩුවට ඡන්ද ගැරඬියාට බූමිතෙල් වැනිය කියාය. ආණ්ඩුව පිහිට වූ සෝභිත හාමුදුරුවෝ දින සියය ගෙවෙන්නටත් කලින් පශ්චාත්තාප වූ බව කතෝලික හිමිවරු පවා කියති. අවසාන දවස්වල උන්වහන්සේ යහපාලන ආණ්ඩුව හදන්නට කැපවූවන් අමතා කීවේ මේ වචන දෙකය. ‘‘මහත්තයෝ අපට වැරදුණා’’ ඒ වචන දැන් හැම තැනකින්ම දෝංකාර දෙන්නේය. හැම මුවකින්ම කියැවෙන්නේය. ආණ්ඩුව පවතින්නට පවතින්නට ඒ හඬ හෙණ හඬක් සේ වඩා වර්ධනය වී ඇසෙනු ඇත.
 

More News..