brand logo

අනුලා විද්‍යාලයේ අමුතු දහම් පාසල

19 January 2019

හරි වැරැද්ද මට වැඩක් නෑ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි

අනුලා විද්‍යාලයේ පවත්වාගෙන ගිය දහම් පාසලේ සිද්ධිය සම්බන්ධයෙන් දැන ගැනීමට අපි බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිටද කතා කළෙමු. මේ එහිදී අප නැගූ ප්‍රශ්න කිහිපයකට ඔහු දුන් පිළිතුරුය. ජාතික පාසලක ප්‍රශ්නෙකට ආණ්ඩුකාරවරයකු විදියටවත් අත දාන්න ඔබට අයිතියක් තියෙනවද? ඒවයින් මේවයින් මට වැඩක් නෑ. මට මේක බාරදෙනකොට ජනාධිපතිතුමා කිව්වෙ කිසිම හේතුවක් මත ඉස්කෝල ළමයි පාරට බස්සවන්න කාටවත් ඉඩදෙන්න එපා කියලයි. මම ගියා. ගිහිල්ලා ඒ දේ නැවැත්තුවා. කරපු දේ හරියි කියලද හිතන්නේ? හරි වැරැද්දෙන් මට වැඩක් නෑ. මේ ඉස්කෝල ළමයි ඉන්නෙ මගේ රාජකාරි සීමාවේ. ඒ ළමයින්ගේ ප්‍රශ්නෙකදි කරන්න ඕන දේ ගැන මට කාගෙන්වත් ඉගෙන ගන්න ඕන නෑ. අධ්‍යාපන ඇමැතිට, අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දීලාද ගියේ. ඒක නේද සම්ප්‍රදාය? යන්න ඉස්සෙල්ලා ඔය කාටවත් මම කතා කළේ නෑ. මට කතා කරන්න ඕනත් නෑ. මම ගියා. ගිහිල්ලා ප්‍රශ්නෙ විසඳුවා. ඒ වෙලාවෙදිම. එතැනදිම. ප්‍රශ්නෙට වැඩි දුරක් යන්න දුන්නෙ නෑ. ඉස්සර තමයි මේ වගේ දේවල් දුරදිග ගියේ. දැන් එහෙම යන්න දෙන්නේ නෑ. ----------------------------------------------------------------------------------------------- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ලෙස කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වූ අසාද් සාලි පත් කළ විට බොහෝ දෙනකුගේ අදහස වූයේ එය නොගැළපෙන පත් කිරීමක් බවය. ජනවාරි 04 ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් අසාද් සාලි ඉන් සතියක් ගත වෙද්දී ජනවාරි 13 බොහෝ දෙනාගේ ඒ අදහස නිවැරදි බව තහවුරු කළේය. එදින පෙරවරුවේ පිරිසක් සමග නුගේගොඩ අනුලා විද්‍යාලයට ගිය බස්නාහිර ආණ්ඩුකාරවරයා එම විද්‍යාලය තුළ පවත්වාගෙන ගිය දැනට අත්හිටුවා ඇති දහම් පාසලක් යළි පැවැත්වීමට අවසර දෙන්නැයි අනුලා විදුහලේ විදුහල්පතිට තර්ජනය කළේය. එසේ නොකළහොත් විදුහල්පතිනිය එලවා දමන බවට අනතුරු ඇඟෙව්වේය. ආණ්ඩුකාරවරයාගේ කටයුත්ත නෛතිකව මෙන්ම ආචාරධාර්මිකවද නොගැළපෙන කටයුත්තකි. නුගේගොඩ අනුලා විදුහල ජාතික පාසලකි. එය අයත් වනනේ මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශයටය. එනිසා පළාත් සභාවේ බලධාරියකුට එම පාසලේ කිසිම කටයුත්තකට කිසිදු අන්දමේ මැදිහත් වීමක් කිරීමේ නෛතික අයිතියක් නොමැත. එසේ තිබුණේ වුවද පළාත් ආණ්ඩුකාරවරුන් පළාතේ පරිපාලන කටයුතුවලට මැදිහත් වන්නේද නැත. ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාව ආචාරධාර්මිකව නොගැළපෙන්නේ එහිදී ඔහු හැසිරුණු ආකාරය අනුවය. නෛතිකව අයිතියක් තිබුණත් නැතත් ආණ්ඩුකාරවරුන් පරිපාලන කටයුතුවලට මැදිහත් නොවීම සම්ප්‍රදාය වුවත් නැතත් තම පළාතේ කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් ඒ ගැන අවධානය යොමු කිරීමේ වරදක් නැත. එහෙත් එය කළ යුතු වන්නේ චණ්ඩින් මෙන් කඩා පැන තර්ජනය කරමින් මාධ්‍ය සංදර්ශන දක්වමින් නොව ආණ්ඩුකාරවරයකුගේ තනතුරට ගැළපෙන වැදගත් විනීත අන්දමටය. ආණ්ඩුකාර අසාද් සාලි තමන්ට තර්ජනය කළ බවට නුගේගොඩ අනුලා විදුහල්පතිනිය මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය ඒ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එසේම ජනාධිපතිවරයාද මේ ගැන සොයා බැලිය යුතු බව අපගේ අදහසය. අසාද් සාලි අනුලාවට පැන තර්ජනය කර ඇත්තේ තමන් ජනාධිපතිගේ නියෝජිතයා ලෙස හඳුන්වමින් වන බැවිනි. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේත් බුද්ධ ශාසන අමාත්‍යවරයාගේත් කඩිනම් අවධානය යොමු විය යුතු යැයිද අපි සිතමු. අනුලාවේ දහම් පාසලම ප්‍රශ්නයක් බැවිනි. අනුලාවේ දහම් පාසල යැයි කීවාට එය අනුලා විද්‍යාලය විසින් පවත්වාගෙන යන්නක් යැයි වරදවා වටහාගත යුතු නැත. එහෙත් වසර 25ක පමණ කාලයක් එම දහම් පාසල එහි පවත්වාගෙන යන බව කියැවේ. ඒ කාගේ අනුමැතියකින්ද කුමන පදනමකින්ද යන්න පැහැදිලි කිරීමට කිසිවකු නැත. එහෙත් මේ දහම් පාසල අනුලා විදුහලට ප්‍රශ්නයක් වන්නේ ඒ නිසා නොව එහි සිදුවූ දහම් පාසලකට තබා පාසලකට හෝ නොගැළපෙන අශිෂ්ට සහ අශ්ශීල ඇතැම් ක්‍රියා හේතුවෙනි. දෙමාපියන් කියන ඇතැම් සිද්ධීන් ප්‍රසිද්ධයේ පළ කළ නොහැකිය. මේ නිසා බාලිකා විද්‍යාලයක් ලෙස දිනා සිටින කීර්තියට හානි සිදුවන බව පෙනී යෑමත් එමගින් පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ගේ ආත්මගෞරවයට සිදුවිය හැකි හානියන් වටහා ගත් අනුලා විද්‍යාලයේ දෙමාපිය සංගමය වහාම දහම් පාසල ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන්නත් එය ඉටු නොවීම නිසා විදුහල්පතිනිය මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඒ ගැන පැමිණිලි කිරීමට පියවර ගත්තේය. වසරකට වැඩි කාලයක් ඇදි ඇදී යමින් තිබූ මේ ප්‍රශ්නය නිමාවට පත් වන්නේ අනුලා විද්‍යාලය තුළ මෙම දහම් පාසල පවත්වාගෙන යෑම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගැනීමත් සමගය. එහෙත් ඒ තාවකාලික තහනමකි. පරීක්ෂණයකට යටත්වය. මේ අපූරු දහම් පාසල ගැන තොරතුරු මාධ්‍යයට වාර්තා වන්නේ මෙම තහනමෙන් පසු ආණ්ඩුකාරවරයා පැමිණ යකා නැටීමෙන් පසුය. දහම් පාසල් සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ විහාරස්ථාන ආශ්‍රිතවය. එහෙත් පාසලක පවත්වාගෙන ගිය මෙම දහම් පාසල ලියාපදිංචි කර ඇත්තේ පෞද්ගලික නිවසක ලිපිනයකටය. දහම් පාසලේ අයිතිකරුත්, ප්‍රධානාචාර්යවරයාද වන්නේ තැරැව්කරුවකු ලෙස ජීවිකාව ගෙන යන්නෙකි. තමන් දහම් පාසල් ගොස් ඇත්තෙක් වන නමුත් දහම් පාසලක ඉගැන්වීමට හෝ ප්‍රධානාචාර්යවරයකු වීමට තමන්ට සුදුසුකම් ඇත්දැයි ඔහු කියන්නේ නැත. කෙසේ වෙතත් ඔහු කියන්නේ තම දහම් පාසල නීත්‍යනුකූල එකක් වන අතර තමන්ට එරෙහිව නැගෙන චෝදනා අසත්‍ය බවය. ‘‘ඕවා තනිකරම බොරු. මම මේ දහම් පාසල කරන්නේ අවංකවම. මගේම සල්ලිවලින්. ඔය චෝදනා හැම එකක්ම මම ප්‍රතික්ෂේප කරනවා. මේක තනිකරම මඩ ප්‍රහාරයක්. මට විරුද්ධව ගෙන යන එකක්. ඉතා සැලසුම් සහගතව. ‘‘ඔව්. ඇත්තටම මම දහම් පාසලක උගන්වන්න පුහුණුව ලබපු කෙනෙක් නෙමෙයි. හැබැයි මම දහම් පාසල් අවසානය දක්වා ඉගෙන ගත්තා. මම දහම් පාසලට ඇතුළු වුණේ අවුරුදු හතරෙදි. විභාගයට පෙනී හිටියේ අවුරුදු දහයේදි. හැබැයි මට දැන්නම් ඒකෙ ප්‍රතිඵල මතක නෑ. අමතක වෙලා. ‘‘මම නෙවෙයි දහම් පාසල ආරම්භ කළේ. වෙනත් කෙනෙක්. මම තමයි දැන් ඉන්න භාරකරු. එතකොට අවුරුදු විසිපහක් තිස්සේ මේ දහම් පාසල මේ අනුලාවෙම තමයි කරගෙන ගියේ. ඒ අයට ඇයි මේ අවුරුදු විසිපහේම මේක අයින් කරන්න බැරිවුණේ. අනිත් කාරණේ මේක ආරම්භ කරපු අය ගන්න ඕන හැම අවසරයක්ම අරගෙන ඉවරයි. ඒ අවසරය උඩ තමයි මේ ස්ථානය ලැබෙන්නේ. මම ආයිත් අලුතින් අවසර ගන්න ඕන නෑ. මම මගේ පාඩුවෙ දහම් පාසල කරගෙන යනවා. දැනට මගේ ළඟ පෙන්නන්න ලිපි ලේඛන නෑ. ඒ ලිපි ලේඛන ඔක්කොම තිබුණෙ කබඩ් එකක. කබඩ් එක තිබුණේ අනුලා විද්‍යාලයේ ප්‍රාථමිකයෙ කාමරේක. දවසක් කබඩ් එක ගිනි ගත්තා. සම්පූර්ණ අළු වුණා. ලිපි ලේඛන මොකවත් ඉතුරු වුණේ නෑ. අදටත් හොයා ගන්න බෑ වේචච දේ. කිසිම පරීක්ෂණයක් නෑ. ඔන්න වැඩ.’’ සමිත කුමාර පවසන අන්දමට මෙම දහම් පාසල නීත්‍යනුකූලව ලියාපදිංචි කළ එකකි. දහම් පාසල් සම්බන්ධ අධීක්ෂණ බලය පැවරී ඇත්තේ ශාසනාරක්ෂක බල මණ්ඩල වෙතය. ශ්‍රී ජයවර්ධනපුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දළුක්කැටියේ බුද්ධරක්ඛිත හිමියන් පවසන්නේ දහම් පාසලක් විහාරස්ථානයක පවත්වාගෙන යා යුතු යැයි නියමයක් නොමැති බවය. අනුලා විද්‍යාලයේ දහම් පාසල ගැන තමන් වෙත පැමිණිලි ලැබී නැතැයිද උන්වහන්සේ පවසති. ‘‘දැනට අපි ළඟ තියෙන ලිපි ලේඛනවලට අනුව මේ දහම් පාසල පවත්වන්නෙ නීත්‍යනුකූල තත්ත්වයක් යටතේ. ලියාපදිංචියේ සිට මේතාක් නිවැරදියි. මට තවමත් දහම් පාසලට විරුද්ධව කිසිම පැමිණිල්ලක් ලැබුණේ නෑ. ලිඛිත පැමිණිල්ලක් ලැබුණොත් ඒ ගැන පූර්ණ විමර්ශනයක් කරනවා. ඔය කියන විදියට අනෙක් පාර්ශ්වවලට පැමිණිලි ලැබීමත් අපිට විතරක් නොලැබීමත් හරි පුදුමයි. මට දැනෙන හැටියට මේක විහිළුවක්. මේ හිතේ මවා ගත්තු බිල්ලෙක්. ඔය කියන විදියට අපචාර වුණා නම් අපිටත් දැනගන්න ලැබෙනවා. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දහම් පාසලේ පරිපාලනයේ ගැටලු තියෙනවා. එතැනදි කරන්න ඕන දහම් පාසල වහන එක නෙවෙයි. අනුලා විදුහල මැදිහත් වෙලා හරි දහම් පාසල හරියට කරගෙන යන එකට නිවැරදිව ඒ දේ වෙනවනම් අපේ විරුද්ධත්වයක් නෑ ඒකට.’’ තම අධීක්ෂණය යටතේ ඇති දහම් පාසල් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන තෙක් නොසිට ඒවා ගැන සොයා බැලීම ශාසනාරක්ෂක බල මණ්ඩලයක වගකීම බව අපි අදහස් කරමු. දහම් පාසලේ පරිපාලන ගැටලු ඇතැයි උන්වහන්සේ ද පිළිගනී. එහෙත් ඒ වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන නැත. උන්වහන්සේගේ පිළිතුරුවලින් පෙනී යන්නේ ශ්‍රී ජයවර්ධනපුර ශාසනාරක්ෂක බල මණ්ඩලය එසේ නොකරන බවය. නැතහොත් එවැනි අවශ්‍යතාවක් නොමැති බවය. නැතිනම් 1993දී සිසු සිසුවියන් 335 දෙනකු සහ ගුරුවර ගුරුවරියන් විසි අට දෙනකු සිටි මේ දහම් පාසල නවතා දමන ලෙස අමාත්‍යාංශ නියෝගය ලැබෙන විට සිසුන් සංඛ්‍යාව 41 දක්වාත් ගුරු මණ්ඩලය 14 දක්වාත් පල්ලම් බැස්සේ කෙසේදැයි ශාසනාරක්ෂක බල මණ්ඩලයට අදහසක් තිබිය යුතුය. ඊට හේතු සොයා බලා තිබිය යුතුය. එසේම දහම් පාසලක ප්‍රධානාචාර්ය ඇතුළු ගුරු මණ්ඩලයේ සිටින්නේ ඒ ඒ තනතුරු දැරීමට සුදුස්සන්ද යන්න සොයා බැලීමේ වගකීම ඇත්තේද ශාසනාරක්ෂක බල මණ්ඩලයටය. ශ්‍රී ජයවර්ධනපුර ශාසනාරක්ෂක බල මණ්ඩලය මේ කිසිවක් ගැන සොයා බලා නැති අතර අනුලා විද්‍යාලයේ මෙතෙක් සිටි බලධාරීන්ද මෙම දහම් පාසල ඕනෑම තත්ත්වයක් යටතේ විදුහල තුළ පවත්වාගෙන යාමට ඉඩදී තිබෙන බව පැහැදිලිය. එසේ වීමට කිසියම් හේතුවක් තිබිය යුතුය. ශාසනාරක්ෂක බලමණ්ඩලය මේ දහම් පාසල ගැන ඇස් කන් වසාගෙන සිටින්නේද? දහම් පාසල වසා දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නියෝග කිරීමත් සමග ආණ්ඩුකාරවරයා තමන්ගේ සීමාවෙන් ද පැන ඊට මැදිහත් වන්නේද එම හේතුව මතම විය හැකිය.
 

More News..