brand logo

අනුර සේනානායක නැතිව තාජුදීන් ඝාතන නඩුව ගෙනයාමට නීතිපතිගෙන් ඉල්ලීමක්

16 January 2020

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය මිනීමැරුම බව දනිමින්ම ඒ හා සම්බන්ධ සාක්ෂි වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර පළාත භාර හිටපු ජනපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය විත්තිකරු නොමැතිව ආරම්භ කිරීම සඳහා අවසර දෙන ලෙස නීතිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමට අදාළ සාක්ෂි මාර්තු මස 02 වන දා මෙහෙයවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (16) නියෝග කළේය. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර අනුර සේනානායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරු සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වෛද්‍ය වාර්තාව මගින් ඔහූට පවතින රෝගී තත්වය නම් දිනක සුව වේද යන්න පිළිබඳව වෛද්‍යවරුන්ට පවා නිගමනයකට එළඹීමට නොහැකි තත්වයක් පවතින බව පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් විත්තිකරුට අධිකරණයට පැමිණ රැඳී සිටීමට පවා අපහසු තත්ත්වයක් පවතින හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 (අ)(3) වගන්තිය යටතේ විත්තිකරුගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඔහු නොමැතිව මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් පවතින බවත් ඒ සඳහා සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ විත්තිකාර අනුර සේනානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ විත්තිකරුගේ අනුමැතියක් නොමැතිව මේ ආකාරයෙන් නඩු විභාගය ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව සඳහන් කළේය. විත්තිකරු පිළිකා රෝගයෙන් පෙළෙන බවත් ඔහුට කවදා සුව වේද යන්න පිළිබඳව වෛද්‍යවරුන්ට පවා කිව නොහැකි තත්ත්වයක් තිබෙන බවත් මෙවැනි වාතාවරණයක් යටතේ නඩු විභාගය ආරම්භ කළහොත් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුවන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය. සිය සේවා දායකයා වර්තමානයේ සිටින රෝගී තත්ත්වය මත ඔහුගෙන් උපදෙස් ලබා ගැනීම පවා අපහසු බවත් එබැවින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. නීතිපතිවරයා විසින් සිදුකරනු ලැබූ ඉල්ලීම සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකරු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධිකරණය තීරණයකට එළැඹෙන්නේ ඊට අදාළව ඉදිරිපත් කරනු ලබන සාක්ෂි විශ්ලේෂණය කර අධිකරණයට සෑහීමකට පත්විය හැකි කරුණු ඉදිරිපත් වන්නේ නම් පමණක් බව ප්‍රකාශ කළේය. නඩුවක විත්තිකරුට මෙන්ම පැමිණිලිකරුවන්ට ද සමාන ලෙස යුක්තිය ඉටුවිය යුතු බව පෙන්වා දුන් විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඒ අනුව විත්තිකරු නොමැතිව නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කරුණු ලබන ඉල්ලීම සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි තිබේ නම් එම සාක්ෂිකරුවන්ගෙන් ලැයිස්තුවක් හා ඊයේ(16) දින සිට සති දෙක තුළ අධිකරණය හමුවේ ගොනු කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට නියම කළේය. මෙම ඉල්ලීමට අදාළව විත්තිකරුට ද සාක්ෂි කරුවන් සිටීනම් ඔවුන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට විත්ති පාර්ශවයට හැකියාව තිබෙන බවත් සාක්ෂි විභාගය මාර්තු මස 02 වනදා සිදුකරන බවත් විනිසුරුවරයා තීරණය කළේය. එම සාක්ෂි විමසීම නිමවීමෙන් පසුව මෙම නඩුව විත්තිකරු නොමැතිව විභාග කිරීමට අවසර දෙනවාද? නැද්ද? යන තීරණය ප්‍රකාශයට පත් කරන බවද විනිසුරුවරයා සිය නියෝගයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය. (අධිකරණ වාර්තාකරු)
 

More News..