brand logo

අනුර ප්‍රියදර්ශන යාපාට අධිකරණයෙන් නොතීසි

04 September 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ නඩුවක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවකට එරෙහිව ගොනු කෙරුණු අභියාචනයක් සලකා බැලූ බස්නාහිර පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාට මේ මස 27 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කිරීමට අද (04) නියෝග කෙරිණි. බොරලැස්ගමුව නගර සභාවේ නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතා ඇතුළු දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලූ මනිලාල් වෛද්‍යතිලක සහ ප්‍රදීප් කීර්තිසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නොතිසි නිකුත් කිරීමට නියෝග කරන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ සභාපති ධුරය දැරිය හැක්කේ එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකුට පමණක් බව පෙත්සම්කරුවන් පෙන්වා දෙති. එම පක්ෂයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකු නොවන හෙයින් ඔහුට එම ධුරය දැරීමට සුදුසු කමක් නොමැති බවද පෙත්සම්කරුවන් සඳහන් කරති. එහෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීමට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සුදුසුකම් නොමැති හෙයින් එම ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් තමන් මුලින්ම කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළත් එම නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට කොළඹ දිසා අධිකරණය තීන්දු කළ බව පෙත්සම්කරුවන් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ ගොනු කළ අය අභියාචනා පෙත්සමේ සඳහන් කර සිටිති. එහෙයින් සිය පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී යැයි පෙන්වා දෙන ඔවුන් එම තීන්දුව අහෝසි කොට තම පෙත්සම යළි විභාගයට ගන්නා ලෙස කොළඹ දිසා අධිකරණය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද සිවිල් අභියාචනා මහාධිකරණය වැඩිදුරටත් ඉල්ලා තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..