brand logo

අනුර දිසානායකට හැරවුම් ලක්ෂ්‍යය හමුවෙයි !

25 November 2019

මම මේ ලිපිය ලියන්නට පටන් ගන්නේ 16 වනදා ඡන්දය භාවිත කර පැමිණියාට පසුවය. මන්ද මට සිදුවන්නට යන දෙය පිළිබඳව කිසි දෙගිඩියාවක් තිබුණේ නැත. පසුගිය ඔක්තොබර් 19 වනදා සතිඅග අරුණ පුවත් පතට මා ලියූ ‘ඡන්දෙන් පස්සේ අනුරට හැරවුම් ලක්‍ෂ්‍යය හමු වනු ඇත’ යන ලිපියෙන් ඉස්මතු කළ කරුණු මේ වනවිට මොනවට තහවුරු වී ඇත. මා පැවසූ පරිදිම මෙවර ජනාධිපතිවරණයේ දී ජවිපෙ ජන පදනම තවත් දෙදරා ගොස් ඇත. ජවිපෙට නැවත නිවැරදි වීමට ලැබෙන හැරවුම් ලක්‍ෂ්‍යය මේ පරාජය බවද පැවසුවෙමි. දැන් එම අවස්ථාව ලැබී ඇත. එය ප්‍රයෝජනයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව දැන් ඉඩ වී ඇත. එම ලිපිය කියවීමට නොලැබුණ ජනතාව වෙනුවෙන් මම කෙටියෙන්, තැනින් තැන එදා ලිපියේ සඳහන් කළ කරුණු නැවත මතු කරමි. මා එහි සඳහන් කළේ ‘නන්දන ගුණතිලක ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ලෙස 1999 දී තරග වැදී, වසර 20 කට පසුව අනුර කුමාර දිසානායක ‘ජාතික ජන බලවේගය’, නමින් තරග බිමට බැසීම හැරවුම් ලක්‍ෂ්‍යයක් ලෙසය. ඒ ‘මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹුව නසී’ වැනි තීන්දුවක් ලෙසය. මෙවර ලද අන්ත පරාජයෙන් පසුව වුවද ඇත්ත තේරුම් නොගත් වග අනුර කුමාර ඉකුත් 19 දා කළ ප්‍රකාශවලින් පැහැදිලිය.‘ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස පිළිබිඹු වීමට ඉඩ දුන්නේ නැති බව’ ඔහු පවසයි. මේ වචන පෙළම මොන තරම් වංචාවක්ද? ජවිපෙ පිළිබඳ ජනතා තක්සේරුව කුමක්ද යන වග උරගා බැලීමට ජන බලවේගයට මුවාවී හෝ ජවිපෙ ගත් තීරණයට මම ගරු කරනා බව මම පැවසුවේත්, එය ජවිපෙ හැරවුම් ලක්‍ෂ්‍යය ලෙස මා සඳහන් කළෙත් ජනතා තීන්දුවට හිස නමා ස්වයං විවේචනයක යෙදීමට ඔවුනට අවස්ථාවක් ලැබෙන නිසාය. එහෙත් එම අවස්ථාව ගැනීමට අනුර කුමාර සූදානම් බවක් නොපෙනේ. ඒ වෙනුවට අනුර කුමාර පෙර සේම ස්වයං වංචාවකට අවතීර්ණ වී ඇත. ඒ නිසා ජවිපෙ තවමත් රැඳුණු අවංක පහළ සාමාජිකයාට විකල්පයක් ඉතිරිව නැත. රනිල්ට 29 වතාවක් පැරදුණ බවට අපහස කරන මේ අපොහොසත් නායකයාට තව දුරටත් ජවිපේ නිවැරදි දිසාවකට ගෙන යාමට නොහැකි බව ජවිපෙ හිමිකමට උරුම සමාජිකයා තේරුම් ගත යුතුය. තම හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කළ යුතුව ඇත. කේන්ද්‍රීය ප්‍රශ්නය රාජපක්‍ෂ හා වීරවංශ වෛරයද නැතිනම් දේශපාලන වශයෙන් රට පැත්තේ සිට ගැනීමද යන්න තීරණය කළ යුතුව ඇත. දේශපාලකයන්ට හා දේශපාලන පක්‍ෂවලට පැවැත්මක් ඇත්තේ, දැනුවත් ජනතාවගේ පැත්තේ හිට ගත්තොත් පමණක් බවට මා ඉදිරිපත් කළ තර්කය යළි තහවුරු වී ඇත. ජවිපෙ ජන පදනම විනාශ කර ගැනීමේ හේතුව 2010 දී එක්සත් ජාතික පක්‍ෂය සමග අමු අමුවේ එළිපිට සිට ගැනීමත්, 2015 දී වහෙන් ඔරෝ සහයක් පුද දීමත්, ඊට පසුව ගතවූ අවුරුදු පහ තුළ එක්සත් ජාතික පක්ෂයට විවෘතව මෙන්ම ආවෘතව වාසිදායක ක්‍රියාකාරිත්වයක නිරත වීමත්, අපකීර්තිමත් FCID දේශපාලන දඩයමේ දී UNP දඩයක්කාරයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමත් හා මෑතක MCC ගිවිසුමට ප්‍රමණාවත් ලෙස එරෙහි නොවීමත්ය. මොන තරම් කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කළ ද කටුක සත්‍යය නම් එයමය. මා ඉහත සඳහන් ප්‍රකාශ කළේ පර් යේෂකයකු වශයෙන් බිම් මට්ටමින් මා කළ සමීක්ෂණ අනුවය. ඒ නිසා ජනතාව ඉල්ලන්නේ මොනවාදැයි අප හොඳින් දැන ගත්තේය, තේරුම් ගත්තේය. එම නිසාම අනුනට කන්දෙන හොඳ කනක් ඇති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා, වත්මන් ජනාධිපති එම සමීක්ෂණ ප්‍රතිඵලවලට කන් දුන්නේය. ජනතාව ඉල්ලන දේ, ඔහු ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළු කළේය. එසේම ජවිපෙ පිළිබඳව ජනතාව හිතන හැටිත්, ඔවුනට ලැබෙන මනාප ගණන 3% බව කල් තබා මා දැන සිටියේය. 100% ක විශ්වාසයෙන් මා එදා ලිපියේ එය සඳහන් කළේ ඒ නිසාය. ජවිපෙට 8-10% ලැබෙන හිතළුවලට මා අභියෝග කළේ ඒ නිසාය. එහෙත් අනුර කුමාර පවසන්නේ ‘මීට වඩා ප්‍රතිඵල ලැබේයැයි බලාපොරොත්තු වූ බවය’. රටට ලොකු කතා කියූ අනුරට, බිම ඉල්ලන දේ, බිම හිතන හැටි, ලැබෙන ඡන්ද ප්‍රමාණය කල් තබා තක්සේරු කර ගැනීමට බැරිවිය. ජන බලය සිටි බුද්ධිමතුන් සීතල කාමර තුළ තම ප්‍රතිපත්ති සකස් කරන්නට ඇති බව නොඅනුමානය. නැතිනම් මේ තරම් වරදවා ගැනීමට ඉඩක් නැත. ඉහත සඳහන් ප්‍රකාශය මාගේ හුදු හිතළුවක් නොව, ජනතාවගේ ක්‍රියාකාරීත්වය පිළිබිඹු වන ඡන්ද ප්‍රකාශ කිරීම් මගින් ද එළඹි තීන්දුවක් ය යන පදනමද මෙම ජනාධිපතිවරණයේදී නැවත තහවුරු වී ඇත. ජන පදනම ඛාදනයේ විකාශනය ඉතා පැහැදිලිය. 1971 සිට අවුරුදු හයක පක්ෂ තහනමකට පසුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වයට පැමිණ වසර හයක් තුළදී, එනම්1982 ජනධිපතිවරණයේ දී ඡන්ද 272,000 ක් එනම් 4 % (සියයට හතරක්) ලබා ගත්තේය. ඒ ආකාරයටම වසර 10යක පක්ෂ තහනමකට පසුව 1994 දී නැවත දේශපාලනයට අවතීර්ණව, තවත් වසර පහකට පසුව එනම් 1999 දී නන්දන ගුණතිලක ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඡන්ද 344,173ක් ගත්තේය. එහෙත් වසර 20 ක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක නිරත වූ ජවිපෙ හා අනුර කුමාරගේ නායකත්වයෙන් තරග කළ ඔවුන්ගේ වචනවලින් පැවසූ මහා විද්වත් බලවේග සහිත ‘ජාතික ජන බලවේගය’ ගැනීමට සමත් වූයේ 3.1% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. 1982 දී ලක්‍ෂ 70ක් පමණ වූ මුළු ඡන්දදායකයන්ට සාපේක්ෂව මෙවර ඡන්දදායකයන් ලක්‍ෂ 160 ක් පමණ ඡන්දය පාවිච්චි කර ඇත. ඒ අනුව බැලූ කල ඡන්දදායකයන් ලක්‍ෂ 110 ක් පමණ වැඩි වෙද්දී ඔවුනට වැඩි කරගත හැකිව ඇති ඡන්ද ප්‍රමාණය ඡන්ද එක් ලක්‍ෂ පනස් දහසක් පමණකි. තවද මෙම මැතිවරණයේ දී වෙනත් පක්ෂ සියල්ලම ඡන්ද 2.6% ක් ලබා ගෙන ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝහණ විජේවීර 1982 දී ඡන්ද 28,000 ක් ගත් අතර එය දිස්ත්‍රිකයේ ප්‍රතිශතයක් ලෙස 24% විය. නමුත් වසර 40 කට පසුව අනුර කුමාර හම්බන්තොටින් ගන්නේ ඡන්ද 26,295 පමණි. එය දිස්ත්‍රික්කයේ ප්‍රතිශතයක් ලෙස 6.24% කි. මොනරාගල දිස්ත්‍රික්කයේ විජේවීරයන් ඡන්ද 7171 ක් එනම් 7% ගත් නමුදු අනුර කුමාර ගත්තේ ඡන්ද 2537 ක් එනම් 2.74 කි. 1979 ගාල්ලේ අතුරු මැතිවරණයට තරග කළ එවකට ජ.වි.පෙ.ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ ඡන්ද 3366 ගත් අතර මෙවර අනුර කුමාරට ගාල්ල ආසනයෙන් ගැනීමට හැකිවූයේ 3044 කි. ඒ අනුව ජවිපෙ ඉතිහාසයේ ජවිපෙ නායකයකු ලද අඩුම ඡන්ද ප්‍රමාණය මෙයයි. ජන බලවේගය ලෙස හඳුන්වා ගත් ‘බලවේග’ බලවේග නොවන බවද තහවුරු වී ඇත. මෙය 2000 හේ මහා මැතිවරණයේ දී, ජවිපෙ තනි පක්ෂයක් සේ තරග කොට ආසන 10ක් ද සමග ලබාගත් 6% (ඡන්ද පන්ලක්ෂය) ට හා 2001 දී (වසරක් තුළ දී) ආසන 16ක් සමග ලබාගත් 9% (ඡන්ද අට ලක්ෂය). ජවිපෙ උච්ච ස්ථානයට පත්වූයේ 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරග කොට ආසන 41ක් දිනා ගැනීම විය. 2006 ප්‍රාදේශීය සභා තනිව තරග කොට අඟුණකොළපැලැස්ස 25% ක් ඡන්ද ලබමින් ද, සූරියවැව ප්‍රාදේශීය සභාවේ 31% ලබමින් ද, අම්බලන්තොට 31% ගනිමින්ද ස්ථාන තුනේදීම යූ. එන් .පිය තුන්වන තැනට ඇද දැමීය. එම ජවිපෙ බළකොටු 2011 දී ගිලිහී අඟුණකොළපැලැස්ස 8% බහිද්දී, සූරියවැව 4% ට බහිද්දී, අම්බලන්තොට 13% බහිද්දී එම පරාජය බාහිර සාධකවලට ලගු කිරීමේ ස්වයං වංචාවේ තවදුරටත් නිරත වීමට ජවිපෙ නායකයා තවමත් උත්සාහ දරයි. සටන අත් නොහරින බව අනුර කුමාර පුවත්පත්වලද සඳහන් කර ඇත. ඒ සටන ජවිපෙ නායකත්වය රැක ගැනීමේ සටන හා ජවිපෙ මුල් අරමුණුවලට පටහැනි රටට එරෙහිව සිටගැනීමේ සටන මිසක වෙන සටනක් විය නොහැක. ජවිපෙ තවදුරටත් විනාශ කිරීමේ සටන පමණක්ම වනු ඇත. අනුර බරපතළ ලෙස ජවිපෙට වැරද්දා ඇති බව තේරුම් ගැනීමට මේ ටිකම ප්‍රමාණවත් බව බිම් මට්ටමේ සාමාජිකයන් තේරුම් ගත යුතුව ඇත. ජවිපෙ සතු ඒ ​​ඓතිහාසික උරුමය හා කිර්ති නාමය සමග ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ජවිපෙ බිහිකිරීමේ දී ජවිපෙ සිටුවූ උපායමාර්ගික පදනමේ නැවත සිටුවීමට සමත් නායකත්වයක් සොයා ගැනීම ජවිපෙ ක්‍රියාකාරිකයන්ගේ වගකීමයි. ඒකීය රාජ්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවි පිදූ 60,000 ට සාධාරණය ඉටු කළ හැක්කේ එසේය. එසේ නැතිනම් මහා මැතිවරණයේ දී ජවිපෙ ආසන 1 කට වැඩිම 2 කට වැටීමෙන් පසු හූල්ලනවා හැරෙන්නට වෙන කිසිවක් කිරීමට ඉඩ නොලැබෙනු ඇත. ජවිපෙ නිර්මාතෘවරයා ඇතුළු එය පක්ෂයක් ලෙස මේ බිමේ අයෝමය ලෙස ඔසවා තැබූ ඒ පරම්පරාවට මෙන්ම මේ රටට ඔවුනට කළ හැකි කාර්යභාරය නැවත ඔසවා තැබීමේ අවසාන අවස්ථාව මෙයයි. මව්බිම සමග ජීවිතයද දිනමු. මහාචාර්ය අතුල සුමතිපාල
 

More News..