brand logo

අනුර කුමාර යළිත් වතාවක් ‘අරවින්ද‘ වෙයි

23 September 2019

ඉකුත් සෙනසුරාදා රතු කමිසයකින් සැරසුණු අනුර කුමාර දිසානායක ‘කුමාර ලීලාවෙන්‘ කැලණිය බලා ගියේය. ඒ කැලණිය විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථින් විසින් පවත්වන ලද ‘සුහද හමුව‘කට සහභාගී වීම සඳහා ය. මේ සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින් 1202 ක් පමණ සහභාගී වී සිටි අතර ඒ අතර ජ.වි.පෙ. මධ්‍යම කාරක සභාවේ පිරිසක් ද සිටියහ. එහිදී වසර ගණනාවකට පසුව අනුරට ‘අරවින්ද‘ යන නමින් ඇමතූ ‘බැචියන් බැචන්‘ හමුවීම ආහ්ලාදජනක සිදුවීමක් විය. (විශ්ව විද්‍යාල සමයේ අනුරට ‘කාඩ්‘ එකක් නොතිබුණු අතර ඔහු සහෝදර සහෝදරියන් අතර ‘අරවින්ද‘ විය. ‘‘ජේ.වී.පී.එකේ මධ්‍යම කාරක සභාවෙ වැඩිපුරම ඉන්නෙ කැලණියෙ කොල්ලො....‘‘ යනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය 92 කණ්ඩාමේ ආදි විද්‍යාර්ථීන් පිරිසක් කතාබහ කරමින් සිටි අතර එය සැබෑවක් කරමින්, අනුර කුමාර දිසානායක, විජිත හේරත්, ගාමිණී රත්නායක, චන්ද්‍රිකා අධිකාරි, වසන්ත සමරසිංහ, සමන්ත කෝරළේ ආරච්චි, සමන්ත විද්‍යාරත්න යන අය ඒ අවට තැන් තැන්වල සිටිනු දැකගත හැකි විය. මෙහිදී මොවුන් සියලුදෙනාම මෙම සුහද හමුව සඳහා අනුර කුමාර දිසානායකව ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගත් අතර එහිදී අනුර කුමාර දිසානායකට ඔවුන් අමතා කතාවක් පවත්වන්නට ද අවස්ථාව ලැබිණි. මේ අතර මෙහිදී රටපුරා තැන් තැන්වල ප්‍රචාරක කටයුතු මෙහෙයවීම සඳහා ‘කැලණි කණ්ඩායමක්‘ පත්කරගත් අතර ඔවුහු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ආධාර මුදල් සම්මාදම් කිරීමට ද කතිකා කරගත්හ. කෑම මිස බීම නොතිබුණු මෙම සුහද හමුව එදින දවස පුරාම පැවතුණු අතර අනුර කුමාර දිසානායක ද වරුවක් පමණ ඔවුන් සමග සතුටු සාමීචියෙන් කල් ගත කළේ ය.
 

More News..