brand logo

අනුරව යැව්වොත් ජවිපෙට ගොඩයන්න පුළුවන්ද?

31 August 2020

පිටතින් විනාශ කළ නොහැකි ජවිපෙ ඇතුළෙන් විනාශ කළ කුමන්ත්‍රණය යනුවෙන් 2020.08.16 දින සති අග අරුණ පුවත්පතට පරණ ජවිපෙ සාමාජිකයකු වන මහාචාර්ය අතුල සුමතිපාල ලිපියක් ලීවේය. එම ලිපියට පැරණි ජවිපෙ සාමාජිකයකු වන දෑල පාතගම විජේතිලක මාරසිංහ ලියූ පිළිතුරු ලිපියකි මේ. ජ.වි​.පෙ. වත්මන් ඉරණමට ගොදුරු වන බව පසුගිය වසර 20 පුරාම තමා කියූ බවත් ඒවා ගඟට කැපූ ඉණි මෙන් වූ බවත් මහාචාර්ය අතුල සුමතිපාල කියන්නේය. ඔහු පමණක් නොව පක්ෂයෙ පැරැන්නන්- බොල්ෂෙවික් වාදීන් - අති බහුතරයක් මේ මතයේම විය. පංති සහයෝගතාවය වැලඳගෙන සභාග දේශපාලනය හරහා මෙන්ෂෙවික් ගොහොරුවට බැසීමෙන් පසු අප ලියාපදිංචි තැපෑලෙන් ටිල්වින් සිල්වාට දන්වා පක්ෂයෙන් ඉවත් වූයේ එබැවිනි. ජ.වි​.පෙ. සාමාජිකයින් හිතවතුන් පක්ෂය අත්හැරිය යුත්තේ කෙදිනක දැයි අපට කියා දුන්නේ ජ.වි​.පෙ. නිර්මාතෘ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයාමය. ‘‘සහෝදරවරු මං මේ කියන ටික හොඳට මතක තියාගන්න මේවා හැමදාම කිය කියා ඉන්න බෑ. අපේ පක්ෂය කවදාහරි වෙනත් පක්ෂයක් එක්ක එකතු වුණොත් මැති ඇමැතිකම් ගන්න ගිවිසුම් ගැහුවොත් එදාට එක මොහොතක් පක්ෂයේ ඉන්න එපා. සමහර විට අපි ඉන්න පුළුවන්. නැති වෙන්න පුළුවන්. අපි හිටියත් සමහර විට අපි වයසට ගිහින් හෝ වෙන හේතුවක් නිසා අපි සභාපති ධුරයේ සිටිද්දී වුවත් මේ ජනතා ද්‍රෝහී තීන්දුව ගත්තොත් අපි ඒ තීන්දුව ගන්නේ ඒ නිසා. අපට තියෙන ගෞරවය ආදරය නිසා වැරැද්ද අනුමත කරන්න එපා. මගේ මූණට කෙළ ගහලා සහෝදරවරු පක්ෂෙන් අයින් වෙන්න.’’ නමුත් හැදූ පක්ෂයෙන් සාමාජිකයන්, ආධාරකරුවන්, හිතවතුන් අයින්විය යුතු දිනය කියූ වෙනත් දේශපාලන පක්ෂ නායකයෙක් වෙත්ද? 1982 ජනාධිපතිවරණයට ආසන්න දිනක නිවිතිගල රැස්වීමක් ඇමතීමට නියමිත වූ දිනක මාගේ නිවසේදී දිවා ආහාරය ගැනීමෙන් පසු සාමීචීයේ යෙදී සිටියදී රෝහණ සහෝදරයා ඉහත ප්‍රකාශය කළේය. එපමණක් නොව සභාග දේශපාලනය හා එක්සත් ක්‍රියාමර්ග අතර ඇති වෙනසද පක්ෂ දේශපාලනය හා පංති දේශපාලනය අතර ඇති වෙනසද වෘත්තීය සමිති දේශපාලනය හා කම්කරු පංති දේශපාලනය අතර ඇති වෙනසද ශිෂ්‍ය දේශපාලනය හා ට්‍රොස්කි වලිප්පුව අතර ඇති වෙනසද අපට මනාව පැහැදිලි කර දුන්නේය. 2009 බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් පසු අප විසින් ලියන ලද කොළමක ලියන ලදී. මෙය 34 වැනි බොල්ෂෙවික් කොළමයි. මෙහි පළමු පිටේ දෙවන ඡේදයේදීම අප ඉඳුරාම පවසා ඇත්තේ ජ.වි​.පෙ. නායකයින් ඉතා සැලසුම් සහගතව පක්ෂය දියකර හරිමින් සිටින බවයි. 3 වැනි පිටුවෙහි 07 වැනි ඡේදයේ 2 වන කොටසේදී යළිත් එය අවධාරණය කළෙමි. පක්ෂය වහා ස්වයං විවේචනයකට ගොස් නිවැරදි වියයුතු ආකාරය 5 පිටුවෙහි සඳහන් කළෙමි. එසේම හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීධුරයද ඉදිරියේ අහිමි විය හැකි බවද සඳහන් කළෙමි. පක්ෂයට ස්වයං විවේචනය කොට නිවැරදි වීමේ අවසන් අවස්ථාව අවසන් වසර 2009 වසරයි. මන්ද සභාග දේශපාලනය නිසා ඒ වන විට ජ.වි​.පෙ. සමග වෛර බැන්දේ එ.ජා. පාක්ෂිකයන් පමණය. මන්ද 2004 දී ශ්‍රීලනිප හා එකතු වීම නිසාය. මෙහිදී ශ්‍රීලනිපයේ ජනතාව කෙදිනක හෝ ජ.වි​.පෙ.ට දිනා ගැනීමේ ඉඩකඩ පැවතුනි. එහෙත් 2010 දී සකල ද්‍රෝහින් සමග සන්ධානගතවීම එක්සත් ජාතික පාක්ෂිකයන්ට සාපේක්ෂව ප්‍රගතිශීලී ජනතාවක් වූ ශ්‍රීලනිප ජනතාව ජ.වි​.පෙ. සමග බද්ධ වෛරයට පත්විය. දැන් ප්‍රධාන පක්ෂ දේකේම ජනයා ජ.වි​.පෙ. සමග බද්ධ වෛරයට පත්විය. ජ.වි​.පෙ. මහ උන් පක්ෂය දියකර හැරියේ එසේය. මහාචාර්ය අතුල තවමත් ජ.වි​.පෙ. ඇති බව කීවත් සත්‍ය ලෙසම මේ මහපො​ෙළාව මත ඇති ජනතා විමුක්ති පෙරමුණක් නැත. ඇත්තේ ජනතා විකෘති පෙරමුණකි. ඒ පිළිබඳ 2005.05.14 දින ජ.වි​.පෙ. ට වසර 40 සම්පූර්ණ වූ දින අපි කොළමක් ලීවෙමු. නැති ජවිපෙයක් ගොඩ ගැනීමට මහාචාර්ය අතුල යෝජනා කරන්නේ අනුර දිසානායක ඉවත්වී ඒ වෙනුවට වෙනත් අයකු පත්කිරීමයි. එසේ නම් සෝමවංශ අමරසිංහ ඉවත්වී අනුරකුමාර පත්වූ පසු පක්ෂය නිවැරදි විය යුතුව තිබුණි. එසේ සිදු නොවුණි. ඉදිරියටත් සිදු නොවේ. මන්ද සංවිධානය මෙන්ෂෙවික් ගොහොරුවේ ගිලී (යළි ගොඩ ආ නොහැකි ලෙස) අවසන් බැවිනි. බොල්ෂෙවික් වාදය යනු මෙන්ෂෙවික් ගොහොරුවේ නොවැටී සිටීමට කියා දෙන ක්‍රමවේදයයි. බොල්ෂෙවික් වාදය අත්හැරි පසු නිතැතින්ම මෙන්ෂෙවික් ගොහොරුවට වැටේ. මහාචාර්ය අතුල සභාග දේශපාලනය හා එක්සත් ක්‍රියාමාර්ග පටලවා ගෙන 2004 මන්ත්‍රී ප්‍රමාණය පිළිබඳ ඉතා ඉහළින් සඳහන් කරනවා පමණක් නොව එම මන්ත්‍රී ධුර ප්‍රමාණ ජ.වි​.පෙ. මන්ත්‍රීධුර ලෙසද හඳුන්වයි. ඒවා ජ.වි​.පෙ. මන්ත්‍රී ධුර නොව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීධුරය. සීනුවට ලැබුණ මන්ත්‍රී ධුර නොවේ. පක්ෂය, පංතිය දර්ශනය හා මියගිය සහෝදර සහෝදරියන් පාවා දී ලබාගත් මන්ත්‍රී ධුරය. 1963 දී එවකට තිබූ වමේ ව්‍යාපාරයයි කියාගත් සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය හා ඉල්ලීම් 21 පාවාදී ඇමැතිකම් 3යි භාග දෙකක් ගත්තේය. එම පාවාදීම නිසා ඇති වූ හිඩැස 1965දී ජ.වි​.පෙ. ආරම්භ කර පුරවන ලදී. එම ජ.වි​.පෙ. ම එම වරද 2004 දී කොට ඇමැතිකම් 4යි. භාග 4ක් ගත්තේය. පක්ෂය දියකර හැරියේ එසේය. මේ විනාශය සෝමවංශ අමරසිංහ ප්‍රමුඛ නඩය සිතාමතා සිදුකරන ලද්දකි. 1994දී හැත්තෑදහස් ගණන් ඡන්ද ගත් ජ.වි​.පෙ. 1999දී ලක්ෂ 3 1/2ක් පමණ ගත්තේය. 2000දී ලක්ෂ 5 1/2ක් පමණ ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 10ක් ගත් පක්ෂය වසරකදී ඡන්ද ලක්ෂ 3ක් පමණ වැඩිකරගෙන 2001 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 16ක් ගත්තේය. සෝමවංශ ලංකාවට පැමිණනේනේ ඉන් පසුවය. ධනපති පංතිය හා අධිරාජ්‍ය වාදීන් ඔවුනට පැවරූ රාජකාරිය අකුරටම ඉටුකළේය. ලංකාවේ සතුටුවිය හැකි නායකයින් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේය. ඉතා සාර්ථක ලෙස පක්ෂය දියකර හැරීම අද සිදුවී හමාරය. මොළ හෝදා ගත් තර්ක බුද්ධියක් නැති, ආත්ම ශක්තියක් නැති නිවට නියාලු හීනමානයෙන් පෙළෙන පූර්ණ කාලිකයන් හා සාමාජිකයින් ඡන්ද දායකයින් සිහිනෙන්වත් මෙය නොදනී. මේ කුමන්ත්‍රණය දන්නේ පක්ෂයේ දහ දොළොසක් පමණි. මෙය නිවැරදිව තේරුම් ගැනීමට මහාචාර්ය අතුලලා අසමත් වන්නේ ඔවුනගේ සුළු ධනේෂ්වර මානසිකත්වය නිසාය. පංති සහයෝගිතාව සභාග දේශපාලනය තුළ පක්ෂය විකෘති පෙරමුණක් විය. රාජ්‍ය නොවන සංවිධාන හා ඊළාම් ඩයස්පෝරාව හරහා ගැලූ ඩොලර් නිසා පක්ෂය ක්‍රමනුකූලව පෙඩරල් වාදය දක්වා තල්ලුවිය. මුරලිදරන් ආවාහයක් කරගත් අවස්ථාවේ ජ.වි​.පෙ. විසින් පාර්ලිමේන්තුවට සතුටු යෝජනාවක් ගෙන ඒම, අගමැතිකම ලක්ෂ්මන් කදිරගාමර්ට දීමට යෝජනා කිරීම, ප්‍රභාකරන්ගේ මවගේ අවමඟුල් උත්සවයට යාමට සාකච්ඡා කිරීම, යුද්ධයේදී මියගිය LTTE සාමාජිකයින්ගේ ඡායාරූප ජ.වි​.පෙ. මැයි රැළියේ ගෙනයාම, හසලක ගාමිණි විරුවාගේ පිළිරුව ගැලවීමට භික්ෂුවක් ලවා මතයක් ඇති කිරීමට උත්සාහ කිරීම, ඒකීයභාවය තිබුණත් එකයි නැතත් එකයි කීම ඊට උදාහරණ වේ. ජ.වි​.පෙ. පීලි පැනීම හා වැටීමේ ආරම්භය සනිටුහන් වන්නේ 2006- 2009 කාලයේ බව මහාචාර්ය අතුල සුමතිපාල සිය ලිපියෙන් කියන්නේය. මෙතරම් බොරුවක් ජ.වි​.පෙ. සම්බන්ධයෙන් තවත් නැත. මහාචාර්ය අතුලට අනුව ජ.විපෙ. ශ්‍රීල.නිප.ය හා ඒ බැඳි තවත් පක්ෂ සමග සන්ධානගත වී තිබුණි නම් සියල්ල හරිය. ජ.වි.පෙ. නිවැරදිය. අහෝ දිවිදුන් සොයුරු සොයුරියනි! පන්ති සහයෝගිතාවය, සභාග දේශපාලනය ගැන එහි නිවැරදිභාවය පිළිබඳ තලු මරමින් කෙළ පෙරමින් කතා කරන මහාචාර්යවරයා එක්සත් ක්‍රියාමාර්ග ගැන වචනයක්වත් සඳහන් නොකරන්නේ ඇයි? 2000-2004 දක්වා ජ.වි.පෙ. මහෞෂධ භූමිකාව රඟදැක්වූ බව මහාචාර්යවරයා කීවත් එය මාරයාගේ භූමිකාව බව ජ.වි.පෙ. ඉතිහාසය, මාක්ස්-ලෙනින්වාද, සමාජ වාදය ගැන දන්නා සියල්ලෝ දනිති. එබැවින් අනුර -ටිල්වින් සිටින තැන මහාචාර්යවරයාද නොසැලී සිටිනු පෙනේ. මහාචාර්ය අතුල කරන තවත් බරපතළ වැරැද්දක් නම් 2020 මැතිවරණ පරාජයට අනුර කුමාර පමණක් වගකිවයුතු බවයි. නැත. ඊට පක්ෂයම වගකිව යුතුයි. පක්ෂයේ න්‍යායාචාර්ය වරයකු වූ මාගේ දේශපාලන ගුරුවරයකු වූ ධවළ භීෂණයෙන් දිවිගලවාගත් ජ.වි.පෙ. මධ්‍යම කාරකසභිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු වූ ජිනදාස කිතුලෙගොඩ ජ.වි.පෙ. විනාශයට වගකිවයුතු අද ජීවතුන් අතර ඉන්නා ප්‍රමුඛතම පුද්ගලයාය. ධනපති පන්තියේ පිහිටෙන් දියවන්නා ඌරුගාලට ගොස් සුරසැප විඳ විශ්‍රාම වැටුප්ද හදාගෙන පන්නිපිටිය පැත්තේ මරණාධාර සමිතියක අනුශාසක ධුරය දරමින් ඉතා සුවෙන් කල් ගෙවන ඔහු ඇතුළු පක්ෂයම විනාශයට වගකිවයුතුය. පක්ෂයට කළ මේ විනාශය ඉතා සැලැසුම් සහගතව ධනපති පන්තියේ, අධිරාජ්‍යවාදීන්ගේ, පෙඩරල්වාදීන්ගේ හා ඊළාම් වාදීන්ගේ උවමනාවට පක්ෂය තුළින් කළ දෙයක් බව දන්නේ පක්ෂයේ ඔහු ඇතුළු 10-12 (දහදොළොස් දෙනෙක්) පමණි. පක්ෂයේ නිවට නියාලුකම, හීනමානය, බයාදු බව, ගැතිකම පමණක් ඉගෙනගත් අන් එකෙක්වත් මෙය නොදනී. එක් අතකින් මේ අයට උගන්වන ලද්දේ ද එපමණකි. ජ.වි.පෙ.ට ස්වයං විවේචනයට අවස්ථාවක් ලැබී ඇති බව මහාචාර්යවරයා පවසයි. සිතාමතා කළ විනාශයක් පිළිබඳ ස්වයං විවේචනය කරන්නේ මොන කෙංගෙඩියකට ද? ස්වයං විවේචනය කර නිවැරදි වීමට තිබූ අවසන් අවස්ථාව 2004 වසරයි. පන්ති සහයෝගතාව සභාග දේශපාලනය පිළිබඳ එදා ස්වයං විවේචනය කොට නිවැරදි වූයේ නම් තත්ත්වය මීට වඩා බොහෝ වෙනස්ය. ශ්‍රීල.නි.ප. සමග එකතු වීම නිසා ජ.වි.පෙට වෛර කළේ එ.ජා. පාක්ෂිකයින් පමණි. ශ්‍රීල.නි.ප. ගැන කලකිරෙන මිනිසුන්ට ජ.වි.පෙ.ට ඒමට කිසිදු බාධාවක් නොතිබුණි. එයට බාධාවක් ඇතිකරගත්තේ 2010 දී සකල ද්‍රෝහීන් සමඟ එකතු වීමෙනි. ශ්‍රීල.නි.ප. සමග එකතුවීමෙන් එ.ජා. පාක්ෂිකයන් ජ.වි.පෙට වෛර බැන්ද අතර එ.ජා.පක්ෂය සමග එකතු වීම නිසා ශ්‍රීල.නි.ප. පාක්ෂිකයින්ද ජ.වි.පෙ. සමග වෛර බැන්දේය. ඉතින් ජ.වි.පෙට මිනිසුන් කෝ? ශ්‍රීල.නි.ප. හා එ.ජා.ප පාක්ෂිකයින් ඒ ජ.වි.පෙට ගරු කළේ (එළිපට නොකීවාට) කිසිදු පක්ෂයක කිහිලිකරු නොවීම නිසාය. මේ ගරුත්වය කිසි දිනක යළි ලබාගත නොහැක. දේශපාලන කන්‍යාභාවය ඉතා වැදගත්ය. බලහත්කාර කමකට ලක්ව කන්‍යාභාවය අහිමි කරගත් යුවතියකට පෙම් කිරීමට තරුණයන් අපමණ සිටියත් තමන්ගේ වලත්ත කමට කන්‍යාභාවය සිඳගත් ගැහැනියකට පෙම් කරනු ඇත්තේ කවුද? ශ්‍රීල.නි.ප හා එ.ජා.පක්ෂය පසුගිය වකවානුවේ කැඩී බිඳී විසිරුණ තත්ත්වයන් හමුවේ එහි වාසිය ජ.වි.පෙට ලැබුණේ ද? නැත. ලැබෙන්නේ ද නැත. මෙසේ තිබිය දී මහාචාර්ය අතුල ජනතා විකෘති පෙරමුණට නව නායකයකු සොයයි. 2000-2004 වකවානුවේ සභාග දේශපාලනය, පන්ති සහයෝගතාවය වැලඳ ගනිද්දි මේ මහාචාර්යවරයා සිටියේ කොහේද? පවතින ආණ්ඩුව සමග සභාග දේශපාලනයට නොයා අනන්‍යතාවය ආරක්ෂා කරගෙන එක්සත් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන ලෙස උපදෙස් දීමට හෝ අවවාද කිරීමට ක්‍රියා නොකළ මහාචාර්යවරයා ජ.වි.පෙ. විනාශයට වගකිවයුත්තෝ සොයන්නේ නම් එක් අයෙක් දැක බලා හඳුනා ගැනීමට කණ්ණාඩියක් ඉදිරියට යන ලෙස මතක් කර දෙමි. ඒ මහාචාර්යවරයා කියන පරිදි පක්ෂය වෙනුවෙන් දිවි දුන් අය වෙනුවෙනි. දර්ශනය, ප්‍රතිපත්ති, වැඩපිළිවෙළ, විප්ලවවාදී විනය, චාම් සරල බව අවංක සෘජු බව, කඩිසර බව ආදී මෙකී නොකී ලක්ෂණ නිසා විවිධ පක්ෂවල අය ඡන්දය නොදුන්නත් ජ.වි.පෙට ගරු කළේය. තම පක්ෂය එපා වන දිනක යෑමට සුදුසු පක්ෂයක් ලෙස ඔවුන් ජ.වි.පෙ. මතකයේ තියාගෙන තිබුණි. ප්‍රතිපත්ති දර්ශනය බැහැර කළ අය පවා විප්ලවවාදී විනයට ගරු කළේය. අද වන විට මේ සියල්ල කෙලෙසාගත් පක්ෂයකට මහාචාර්යවරයා නායකයකු සොයයි. 71 දී ජ.වි.පෙ. කප්පාදු කළත් ලියලා දලු දමා මහ වෘක්ෂයක් බවට පත් විය. 88-89 දී ලියලා දලු දැමීමට ගහ ආරක්ෂා වීමට එකම මේරූ අත්තක් පවා ඉතිරි නොකර කප්පාදු කළද දලු දමා මහ වෘක්ෂයක් බවට පත් වීය. මහ පොළොවේ සකල ද්‍රෝහීන් ඉතිං කල්පනා කළේ කප්පාදුව සාර්ථක පිළියමක් නොවන හෙයින් මුදුන් මුල දුර්වල කර දිලීර වෛරස මගින් ගහ විනාශ කිරීමයි. එය අද සිදු වී හමාරය. විනාශයේ නායකයා සෝමවංශ අමරසිංහ යටි පස්ගම් ගිය අතර ඉතිරි අය ඔහුගේ කාර්යභාරය සාර්ථකව ඉටු කරමින් සිටී. සමසමාජ කොමියුනිස්ට් පක්ෂවලින් ජ.වි.පෙ. වෙනස් වන්නේ එකම කරුණක් නිසා පමණි. තම දර්ශනයේ දුගීභාවය, වැරදි භාවිතාව, පාවාදීම් නිසා තම ඉලක්ක වෙත යෑමට අසීරු වූ බවද ඒ නිසා ජන ප්‍රසාදය තමන්ට අහිමි වූ බවද ජනයා පක්ෂය වටා පෙළ ගැස්වීමට නොහැකිවූ බවද ඔවුන් තේරුම් නොගත්තේය. ජ.වි.පෙ. නායකයින් එසේ නොවේ. ඉතා දැනුවත්ව පන්ති සතුරන්ගේ උවමනාවට අනුව පක්ෂය විනාශ කළේය. වෙනස එයයි. ජ.වි.පෙ. විසින් මොළ සෝදනු ලැබූ පුර්ණකාලිකයින්, හිතවතුන් හා ඡන්දදායකයින් සිතන්නේ ජ.වි.පෙට ඡන්ද අඩු වුණේ ඉදිරි ගමනක් අහිමි උනේ රටේ ජනතාවගේ වරද නිසා බවය. අවසානයේ පැරැණි වම යයි කියාගත් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ ද්‍රෝහීන් මෙන්ෂෙවික් ද්‍රෝහීන් කීවේ කුමක් ද? තමන් බලාපොරොත්තු අත්හැරිය බව ජනතාවට පාපොච්චාරණය කළේ කෙසේද ? ‘‘ඡන්දපොළට ගිහින් අර කාටවත් පේන්නෙ නැති කූඩුව අස්සෙදි අපිට ඡන්දෙ නොදෙන උන් අපිත් එක්ක විප්ලවේ කොරන්න එයිද?’’ කියා වරද ජනතාව පිට පටවා විප්ලවයෙන් සමුගත්තේය. ජ.වි.පෙ දැනුවත් කුමන්ත්‍රණකරුවන් 10-12 දෙනා හැර අන් අයටද දැන් කීමට ඇත්තේ මෙවැනිම ප්‍රකාශනයි. මහාචාර්ය අතුල ඊළඟ ඉරිදා පුවත්පතකට මෙය කියා සිටියත් ඔබ පුදුම වියයුතු නැත. එ.ජා. පක්ෂයේ බිඳී යෑම පිළිබඳ මහඉහළින් කතා කළ ජ.වි.පෙ. උදවිය 2020 මහ මැතිවරණයට ජ.වි.පෙන් බිඳුණ පාර්ශ්ව 4ක් තරග කළ බව නොකියයි. එ.ජා.පයෙන් තරග කළේ පාර්ශ්ව 02ක් පමණි. ජ.වි.පෙ. අටවා ගත් බලවේගයද, වීරවංස කල්ලියද, සෝමවංශගේ ජනතා සේවක කල්ලියද, කුමාර් ගුණරත්නම්ගේ කුරුටුගාමී කල්ලියද ආදී වශයෙන් ජ.වි.පෙ. කෑලිවලට කැඩුණ බව ඔවුන් නිකමටවත් නොකියයි. ජ.වි.පෙ. ආරම්භ වී වර්ධනය වුණේ මෙවැනි බොළඳ අඳ බාල කතා කියා නොවේ. මහාචාර්ය අතුල ඉහළින් අගය කරන ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් 39 අද ඉන්නේ කොහේද? ඉන් 4-5 දෙනෙකුම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. පළාත් සභාවේ අජිත් කුමාරගෙන් පටන් ගෙන ජනාධිපති අපේක්ෂක නන්දන ගුණතිලක හරහා තවත් බොහෝ පිරිසක් අද එ.ජා.පයේය. මර්දනයෙන් විනාශ කළ නොහැකි වූ ව්‍යාපාරය වරදානයෙන් විනාශ කළේ එසේය. වරදානයෙන් විනාශ කිරීමට හැකි වූයේ පක්ෂනායකයින් ඊට පොළඹවා ගැනීමෙනි. මහාචාර්ය අතුල කියන පරිදි ජ.වි.පෙ. හොඳ එකෙක්වත් ඉතුරුව නැත. හොඳ අය අති බහුතරයක් මරු තුරුලේ වන අතර අනිත් අය සියලු පක්ෂ ප්‍රතික්ෂේප කොට හුදකලාව පක්ෂ දේශපාලනය වෙනුවට පන්ති දේශපාලනය කරමින් සිටී. කර්තෘතුමනි මෙම ලිපිය හා ඇමුණුම් කිසිවක් පුවත්පතේ පළ කිරීමට ඔබතුමාට උවමනාව තිබුණත් නොහැකි බව ඉඳුරාම දනිමි. ඒ ඔබතුමා වැටුප් ශ්‍රමිකයෙක් වන නිසාත් ඔබ පුවත්පත කුමන ක්‍රමයකින් හෝ කුමන හෝ ධනපති පන්තියකට ඈඳී තිබෙන නිසාත්ය. ප්‍රසිද්ධ මහාචාර්යවරයකුගේ මතයක් වැරැදි බව ලියන බොහෝ අමාරුවෙන් අට පහ පාස්කරගත් කවුරුත් නොදන්නා ගැමි මහල්ලකුගේ ලිපියක් පුවත්පතක පළ කෙරෙතැයි කිසිදු විශ්වාසයක් නැත. එහෙත් පක්ෂය පන්තිය, මවුබිම, නිදහස, සමානාත්මතාවය වෙනුවෙන් දෙවරක දී දිවි දුන් ලක්ෂයකට ආසන්න නායකයින්, සාමාජිකයින්, ක්‍රියාකාරීන්, හිතවතුන් හා දේශප්‍රේමීන් වෙනුවෙන් මගේ යුතුකමක්, වගකීමක් ඉටු කළ බව මරණ මංචකයේ දී මට සිහිපත් විය යුතුය. ඔවුන් සිටින තැනකට මටද යා හැක්කේ එවිටය. මට යෑමට අවශ්‍යය වන්නේද නිවනට හෝ ස්වර්ගයට නොව. ඔවුන් වෙතටමය. සැබෑ ජ.වි.පෙ. ඇත්තේ එතැනය. ජවිපෙ ක්‍රියාධරයන් සිතන ආකාරය ඔබට පැහැදිලි කළ යුතු නිසා ඉහත කොටසද පළ කළෙමු. විජේතිලක මාරසිංහ
 

More News..