brand logo

අනුරපුරේ දනිඳුට සනත් ජයසූරිය වැහේ

14 August 2022

 අන්තර් පාසල් තරගයක ලකුණු 500කට වඩා වාර්තා කළ පළමු අවස්ථාව

ඒ පසුගිය නව වැනිදාය. එදා දහවල් දහය එකොළහ වන විටම අනුරාධපුර නගරයේ ක්‍රිකට් ගැන උනන්දුව ඇති නැති හැම දෙනාම සියලුම වැඩ කටයුතු මොහොතකට නවතා නගරය මැද සල්ගාදු පිටියේ වැටේ එල්ලී සිටියේ ගිනි ගහන අව්වද නොතකමිනි. පිටිය මැද තිබුණේ අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහල හා ලයිසියම් විද්‍යාල අතර වයස 15න් පහළ තුන්වැනි කොටසේ තරගයකි. පන්දුවට පහර දෙන්නට පිටියට ශාන්ත ජෝෂප් විදුහලේ ආරම්භක පිතිකරු දනිඳු චිරාත් දෙව්මිනි සෙල්ලප්පෙරුමගේ පිත්ත ඒ වන විටත් මුළු අනුරාධපුරයටම අපූරු ප්‍රවෘත්තියක් මවමින් තිබුණි. ලකුණු 49ක සිටි දනිඳු එක් ලකුණක් ලබා ගනිමින් සිය අර්ධශතකය සම්පූර්ණ කළේය. ගිනි කෙළි සංදර්ශනය ඇරැඹුණේ ඉන් පසුවය. අනතුරුව දිගින් දිගටම දනිඳුගේ පිත්තෙන් ගලා ආවේ ලකුණු වරුසාවකි. ඔහු ලකුණු සියය සම්පූර්ණ කළේ හයේ පහරකිනි. ඒ පමණක් නොවේ ලකුණු 150, 200, 250, 300, 350, 400, 450, 500, 550 මේ කඩඉම් සියල්ල පසුකෙරුණ් ද දැවැන්ත හයේ පහරවලිනි. ඉතින් ගමේ කොල්ලාගේ මේ ලකුණු වැස්ස නොබැලූ දෑස් කුමටදැයි සිතූ අනුරාධපුර වැස්සෝ සල්ගාදු පිටිය වටේ රොක්වීම අරුමයක් ද. ඕවර් පනහ අවසාන ඉනිම අත්හිටුවන විට දනිඳුගේ නමට අයත් වූ ලකුණු ගණන නොදැවී 553කි. ඊට හයේ පහර 31කි. හතරේ පහර 63කි. දනිඳුගේ මෙම ලකුණු 553 ලංකාවේ අන්තර් පාසල් තරගයක ඕනෑම වයස් කාණ්ඩයක ක්‍රීඩකයකු ලකුණු 500කට වඩා වාර්තා කළ පළමු අවස්ථාව විය. වෙනදා නම් ක්‍රිකට් තරගයක් නැරැඹීමට එන දරුවන්ගේ දෙමාපියන් ආදි සිසුසිසුවියන් හුරේ දමන්නේ තමන්ගේ පාසලේ ක්‍රීඩකයකු හතරේ හයේ පහරක් ගැසූවිට පමණි. ඒත් එදා සල්ගාදු පිටියට පැමිණි ප්‍රතිවාදී පාසලේ දෙමාපියන්ටත් දිරිමත් කරන්නට සිදුවූයේ දනිඳු ගසන ගසන හයේ පහරට හතරේ පහරට අත්පුඩි ගැසීමටය. වෙනදා තරගයකදී මෙන් නොව මෙම තරගයේදී පිටිය මැද විනිසුරුවන්ට වුවත් සිදුවූයේ නරඹන්නන් වීමටය. දනිඳු ගසන හයේ පහරවල් පිටියෙන් එපිට ගොස් කඩ මිදුල්වල පඳුරු අතර සැඟවී ගිය විට එය සොයන්නට යන කාලය විනිසුරුවරුන්ට මහත් හිසරදයක් විය. ඒ තරගයේ කාලය කළමනාකරණය කරගත යුතුව තිබූ බැවිණි. කෙසේ හෝ තරගයේ පළමු ඕවර පනහ අවසනදී ශාන්ත ජෝෂප් විදුහලේ ලකුණු පුවරුව පත්වූයේ කඩුලු දෙකකට ලකුණු 722ක් හැටියටය. එහිද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් වාර්තාවක් විය. තවමත් නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දාහතර හැවිරිදි වමත් පිතිකරු දනිඳුට මෙම ලකුණු 553 ලබා ගැනීමට වැය වී තිබුණේ පන්දු 204ක් පමණි. එයද වාර්තා පොත් අතර ලියැවෙන්නකි. මීට පෙර වයස අවුරුදු 13න් පහළ ක්‍රීඩා කරන විටදීද දනිඳු පිතිකරුවෙකු සේ දස්කම දක්වා තිබුණේ සිය පාසල වෙනුවෙන් නොදැවී ලකුණු 139ක් හා තවත් අර්ධ ශතක හතරක් වාර්තා කරමිනි. දනිඳුගේ පියා හෂාන් කෝකිල සෙල්ලප්පෙරුම කියන්නේ සිය පුතු ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව තවත් ක්‍රීඩාවලට හපනෙක් බවයි.

“..පුතා මුලින්ම දක්ෂකම් දැක්වූවේ පාපන්දු ක්‍රීඩාවට.. ඒකෙන් 2018 අවුරුද්දේ පළාත් ශූරතාව ලබාගත්තා..ඊට අමතරව යගුළිය ,හෙල්ල , කවපෙත්ත විසිකිරීම වගේ ඉසව්වලින් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා....ඒ වගේම පුතා බටනළා වාදනය විශාරද විභාගේ පාස්වෙලා ඉන්නේ..ඉගෙනීමටත් දක්ෂයි..” පියා හෂාන් කියයි.

දනිඳුගේ පුහුණුකරු අතුල රෝහණයන් කියන්නේ දනිඳුගේ මෙම හපන්කමට මුල කැපවීම ධෛර්ය හා අඛණ්ඩ පුහුණුව බවයි.

“..මැච් එක පටන්ගන්න ඉස්සෙල්ලා මම එයාට ටාර්ගට් එකක් දුන්නා..ටාර්ගට් එක තමයි ලකුණු 150.. මගෙන් අත්පුඩියක් හරි බලාපොරොත්තු වෙනවනං අඩුම 150 ක් වත් ගහන්න ඕන කියලා මං තදේට කීවා.. ඒ වගේම ගැහුවා.. 150 ගහලා මගේ පැත්තට බැට් එක දික්කරලා ඇඟෙව්වා මං දුන්නු ටාර්ගට් එක හරි කියලා.. 150 ගහනකල් එයා බොහොම පරිස්සමින් සෙල්ලං කෙරුවේ.. මං පණිවිඩේ ඇරියා මගේ ටාර්ගට් එක හරි.. දැං ඔයා කැමති විදියකට ගහන්න කියලා.. ඊට පස්සේ තමයි වේගවත් වුණේ.. ලකුණු 350 ගහනකොට අපි පණිවිඩයක් යැව්වා රෙකෝඩ් එක තියල තියෙන්නේ 409 යි කියලා..ඒත් එයා ඇහුවා දැන් නවත්තන්ඩද කියලා.. අපි කීවා දිගටම ගහන්න කියලා.. මං කැට තියලා කියනවා.. තව අවුරුදු කීපයකින් අනුරාධපුරෙන් සනත් ජයසූරිය කෙනෙක් බිහිවෙනවා කියලා..දනිඳු ක්‍රිකට් විතරක් නෙමේ.. ෆුට් බෝල්.. ඒ වගේම කවපෙත්ත විසිකිරීම වගේ ක්‍රීඩාවලටත් දක්ෂයි.. ඒවයෙන් පළාත් මට්ටමේ ජයග්‍රහණ අරන් තියෙනවා.. මුල ඉඳලම මං මෙයාගෙ දක්ෂකම් දැක්කා.. දනිඳුට ලොකු ජවයක් තියෙනවා.. පන්දු රකිද්දී විකට් කීපර්ට බෝලය ත්‍රෝ කරද්දී හරියට වෙඩි තිබ්බා වගේ..පුදුම වේගයක්.. අනික මෙයා හොඳ දඟපන්දු යවන්නෙක්..”

දනිඳුගේ අසාමාන්‍ය ක්‍රීඩා කෞශල්‍ය ඉස්මතුවී තිබුණේ මීට වසර ගණනාවකට පෙර සිටය. එනම් වයස 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී 15 න් පහළ දිස්ත්‍රික් කණ්ඩායමට ක්‍රීඩා කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එකම 13 න් පහළ ක්‍රීඩකයා වූයේ දනිඳුය. ඒ ඔහු වෙතින් ඉස්මතු වී කැපී පෙනුණු අසාමාන්‍ය දස්කම් නිසාවෙනි. මෙම අති විශිෂ්ට ප්‍රහාරය ඇතුළත් වූ ක්‍රිකට් තරගය විනිශ්චය කළ විනිසුරුවරුන් වූයේ රංජන් ජයශාන්ත හා ජී.ජී. හේවගේ යන ක්‍රිකට් විනිසුරන්ය. ඔවුන් දනිඳු හැඳින්වූයේ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු පමණක් නොව පරාර්ථකාමී අයෙකු ලෙසය. ඊට හේතුව ලෙස විනිසුරන් දැක්වූයේ සිත්ගන්නා සුලු එසේම ආදර්ශමත් කතාවකි. ලකුණු 400 ක් ලබාගත් පසු දනිඳු තම පිලට යෝජනා කර සිටියේ තම ඉනිම අත් හිටවා ප්‍රතිවාදීන්ට අවස්ථාව ලබාදීමටයි. ඊට හේතුවූයේ නියමිත ඕවර ප්‍රමාණය ක්‍රීඩා කිරීමට ප්‍රතිවාදී පිලට කාලය ප්‍රමාණවත් නොවේ යැයි ඔහු අනුමාණ කළ නිසාය. කෙසේ වෙතත් දනිඳුට උපදෙස් ලැබුණේ දිගටම පන්දුවට පහර දෙන ලෙසටයි. ඒ අනුව නියමිත පන්දු ඕවර 50 අවසානයේ දනිඳු චිරාත් ලකුණු 553 ක දැවැන්ත ලකුණකට හිමිකම් කීමට සමත් විය. දනිඳුගේ පිත්තට හසුව පිට පිට එල්ලවන හයේ පහරවල් නිසා පිටියෙන් ඈතට ඉගිලෙන පන්දුව සොයාගෙන ඒමට සෑහෙන කාලයක් ගතවීම විනිසුරන්ට ඉමහත් ගැටලුවක් විය. එලෙස ප්‍රමාදවීම අනෙක් පිලේ ඉනිම සඳහා කාලය ප්‍රමාණවත් නොවේවි යන සැකය ඔවුන් තුළ තිබීමයි. එහෙත් ඒ සියල්ල අබිබවා විනිසුරන් ද අමන්දානන්දයට පත්වූයේ දනිඳුගේ අති දක්ෂ පිති හරඹයයි.

“..මම අවුරුදු 20 කට වඩා කාලයක් ක්‍රිකට් විනිශ්චයකරුවෙක් හැටියට කටයුතු කරනවා..විවිධ ක්‍රීඩකයෝ වගේම ක්‍රීඩා විලාශ, ප්‍රයෝග මම දැකලා තියෙනවා.. ඒත් මේ වගේ ක්‍රීඩකයෙක් වගේම මේ වගේ ලකුණු සංඛ්‍යාවක් දැක්ක පළමු අවස්ථාව මේක.. මේක මගේ භාග්‍යයක් විදියට මම දකින්නේ.. මේ ලකුණු 553 එකින් එක දකින්න මට හැකිවුණානේ.. ඔහු දක්ෂයි.. හොඳ පන්දුවලට ගරු කරලා.. දුර්වල පන්දුවක් ලැබුණු විගසම ඔහු ක්‍රියාත්මක වෙනවා.. මැච් එක ගහන අතරතුර මෙහෙම දෙයක් වුණා.. සාමාන්‍යයෙන් පැයක කාලයක් ඇතුළත යවන්ඩ ඕන ඕවර ප්‍රමාණයක් තියෙනවා.. ඒ ප්‍රමාණය ගණන් බලල තියෙන්නේ සාමාන්‍ය පිළිවෙළට..නමුත් මේ මැච් එකේදී උනේ හයේ පාරවල් වැඩී නේ.. ඒ හයේ පාරවලුත් හුඟක් බර පාරවල්.. ඉතිං බෝලේ හුඟක් ඈතට යනවා.. හොයාගෙන එන්ඩ වෙලා යනවා..පිට්ටනිය කෙළවර කඩ එහෙමනේ තියෙන්නේ.. ඒක ඉතිං ලොකු ගැටලුවක් උනේ නෑ.. අනික 553 ක් ගහල.. මෙච්චර මහන්සිවෙලත් පන්දු රකින්නත් ආවා මේ ළමය.. මොකද සමහර ක්‍රීඩකයෝ 100 ක් ගැහුවොත් ඊළඟ ඉනිමේ පන්දු රකින්ඩ එන්නේ නෑ.. මහන්සියි කියලා.. නමුත් දනිඳු පන්දු රකින්න ආවා.. ඇත්තෙන්ම ඔහු ජව සම්පන්නයි.. මං හිතන්නේ දනිඳු අඩි 5 කට ටිකක් වැඩියෙන් උසයි.. කොහොමවුණත් මේ දරුවාගේ දක්ෂකම්වල ගෞරවය හිමිවෙන්ඩ ඕන 13 න් පහළ වයස් කාණ්ඩයේ කණ්ඩායමේ ඉඳලම පුහුණු කරපු පුහුණුකරුවන්ට..” එසේ කීවේ එදා තරගයේ එක් විනිසුරුවරයෙක් වූ රන්ජන් ජයශාන්තයි.

තමන්ගේ මෙම අපූරු ඉනිම පිළිබඳව අපි දනිඳුගෙන්ද විමසුවෙමු. තරගය පටන් ගත්ත වෙලේ ඉඳලම ලකුණු ගහන්න පුළුවන් බව තේරුණා. ඒත් මෙච්චර ගහන්න පුළුවන් වේවි කියලා හිතුවේ නැහැ. මගේ ඉලක්කය වුණේ ලකුණු 150ක් වුණත් සෙල්ලං කරගෙන යද්දී ලොකු උනන්දුවක් දැනුණා.. මගේ යාළුවගෙනුත් ලොකු උදව්වක් ලැබුණා.. මට ශක්තියක් වුණේ මට පුහුණුව දෙන සර්ලා.. අතුල සර්.. චමිත් සර්.. එතකොට දිස්ත්‍රික් පුහුණුකරු පුබුදු අලුවිහාරේ සර්.. ඒ ශක්තිය තමයි මේ ජයග්‍රහණයට හේතුව.. කොහොම හරි අනාගතේදී මගේ රටට ගෞරවයක් ගෙනත් දෙන්ඩ තමා බලාපොරොත්තු වෙන්නේ..” දනිඳු පැවසුවේ ජයග්‍රහණයේ සිනා රැල්ලක්ද සමගිනි. දනිඳුගේ මේ ඉනිමත් සමගම දැන් දැන් අනුරාධපුර ක්‍රිකට් ලෝලීන්ට අලුත් බලාපොරොත්තුවක් මතුවී තිබේ. ඒ තමන්ගේ ගමෙන් තමන්ගේ නගරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමටත් ක්‍රීඩකයකු එකතු වෙන දිනය කවදාද යන්න ගැනය.

කෙසේ වෙතත් දනිඳු චිරාත් සෙල්ලපෙරුම නොදැවී ලබාගත් ලකුණු 553 දිවයිනේ ඕනෑම වයස් කාණ්ඩයක පාසල් ශිෂ්‍ය‍යකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. පාසල් ක්‍රිකට් පිටියේ ලකුණු තුන්සීයට වඩා ලබාගත් පිතිකරුවකු ගැන අසන්නට ලැබුණේ 1976 වසරේදීය. ඒ වාර්තාව පිහිටුවූ ක්‍රීඩකයා වෙන කිසිවෙක් නොවේ. ඊට විසි වසරකට පසු ලංකාවට ජාත්‍යන්තර එක් දින ලෝක ශූරතාවය දිනා දුන් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගයි. 1976 දී ආනන්ද විද්‍යාලය නියෝජනය කළ වයස අවුරුදු 15න් පහළ කාණ්ඩායමේ අර්ජුන රණතුංග නොදැවී ලකුණු 351ක් වාර්තා කළේ මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිවය. එහිදී ඔහුගේ ත්‍රිත්ව ශතකයට හයේ පහර දොළහක් හා හතරේ පහර හතළිස් අටක් දායක වී තිබුණි. ඉන් අනතුරුව මුලින්ම 19න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු ත්‍රිත්ව ශතකයක් වාර්තා කර තිබුණේ 1993 වසරේදීය. මාතර ශාන්ත තෝමස් විදුහලේ ක්‍රීඩකයකු වූ ඔහු 1993 වසරේදී මාතර ශ්‍රී දේවානන්ද විදුහලට එරෙහිව ලකුණු 304ක් ලබා වාර්තාවක් පිහිට වූයේය. පසුව එම වාර්තාව බිඳ තැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණ විතානයි. ඔහු 2020 වසරේ ගාල්ල ධර්මාශෝක විදුහලට එරෙහිව ලකුණු 409ක් ලබාගත්තේය. ඒ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු තරගයක එක් ඉනිමකදී ලකුණු හාරසියය වාර්තා කළ පළමු අවස්ථාව විය. මෙසේ වාර්තා පොත් අතරට පැමිණි අයගෙන් අර්ජුන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පමණක් නොව මුළු ක්‍රිකට් ලෝකයම පිළිගත් නායකයකු බවට පත්විය. එසේම ඉන්දිකද සේරම් මෙන්ම නවෝද් පරණ විතානද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදාකරගත්තෝය. දැන් උදාවී ඇත්තේ දනිඳු චිරාත්ගේ වාරයයි. සුමේධ කරුණාරත්න
 

More News..