brand logo

අනියම් සේවකයින් ස්ථිර කරන්නැයි දුම්රිය සමිති 17ක් උපවාසයක

09 February 2020

දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගෙන සිටින එක්දහස් පන්සියයක් පමණ වන අනියම් හා තාවකාලික සේවකයන් ස්ථීර කරන තෙක් හෙට (10 වැනිදා) සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති දාහතකින් සැදුම්ලත් දුම්රිය සේවා එක්සත් වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර ඇත. රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දොපාර්තමේන්තුවේදී හෝ කොළඹදී මෙම උපවාසය ආරම්භ කෙරෙන බව එම වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් එම්.ජී.එන්. තුෂාර පැවසීය. මෙම උපාවාසය ආරම්භ කිරීමට පෙර හෙට පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ සිට සාමකාමී විරෝධතා පාගමනක් පවත්වා ජනාධිපති ලේකම් කාර්යාලයට සිය ඉල්ලීම ඇතුළත් සංදේශයක් භාර දෙන බවද එම වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා කීවේය. මෙම ක්‍රියාමාර්ගයත් සමග සේවකයන් ස්ථිර කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගනු අතැයි අපේක්ෂා කරන බවත් එසේ නොවුවහොත් ඉහළ ශ්‍රේණිවල වෘත්තීය සමිතිද සමග මාරාන්තික උපවාසයක් දක්වා තම වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවත් හෙතෙම කීවේය. රාජ්‍ය අංශයට බඳවාගෙන සිටින අනියම් හා තාවකාලික සේවකයන් ස්ථිර කිරීමට අදාළව ඉකුත් වසරේ සැප්තැම්බර් මස පළමු වැනිදාතමින් නිකුත් කළ චක්‍රලේඛය නොවැම්බර් මස 20 වැනිදා මහා භාණ්ඩාගාරය විසින්ම අත්හිටුවනු ලැබූ බවත් ඉන්පසු මෙම ස්ථිර කිරීම් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බවට වත්මන් ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර දුන් පොරොන්දුව මෙතෙක් ඉටු වී නැතැයිද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.   නිලන්ත මදුරාවල
 

More News..