brand logo

අනාගතයේ ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වෙනවා

15 January 2022

අවසාන තරගයකට පැමිණෙනවා කියන්නේ ලෙහෙසි පහසු කාරණයක් නෙවේ. ඩ්‍රීම් ස්ටාර් අවසාන මහා තරගයේ පෙරළි කරන අවසන් තරගකරුවන් තුන්දෙනාම කියන්නේ ඔවුන් ජයග්‍රහණය කර ඇති බවයි. නාවලපිටියේ සිට පැමිණි දුලංග සම්පත් සහ මොරටුවේ සිට පැමිණි රජිත භානුකට සුපිරි තරගයක් ලබා දෙන රත්නපුරේ අංජලී මෙත්සරා ගැන කතා නොකර කොහොමද… අද අපි මේ තුන්දෙනාගේම හදවත්වලට එබිලා බැලුවා. අවසාන තරගකරුවන් තිදෙනා අතරින් නාවලපිටියේ සිට පැමිණි දුලංග සම්පත් කියන්නේ සංගීතය මුළු ජීවිතයම කරගත් තරුණයෙක්. මුලින්ම දෙරණට ආවේ පුංචිම පුංචි කාලේ. දෙරණ ලිට්ල් ස්ටාර් තරගයේ අවුරුදු 8න් පහළ ගායනා තරගයට අම්මා මාව එක්කගෙන එන්නේ තෑග්ගක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා. නැත්නම් මම එන්නේ නැහැ. ඒක නිසා හැමදාම සින්දු කියලා යනකොට තෑග්ගක් හැටියට මට සෙල්ලම් බඩුවක් ලැබෙනවා. මමත් මාර උද්‍යෝගයෙන් ගීත කියනවා. කොහොම හරි අවසාන 12 දෙනාගේ වටයෙන් මම ඉවත් වෙනවා. එදා හොඳටම අඬනවා. මොකද පරාජය වුණාම සෙල්ලම් බඩුවක් නොලැබෙන නිසා. මගේ රත්තරන් අම්මා මාව උනන්දු කළේ ඒ විදිහට. එදා සෙල්ලම් බඩුවට තියෙන ආසාවට ගීත ගායනා කළාට මටත් නොදැනීම මට ලස්සන ලෝකයක් මවන්න අම්මා මහන්සි වෙලා කියලා මට දැන් දැන් දැනෙනවා. ඒ නිසා ඩ්‍රීම්ස් ස්ටාර් තුළින් මට මගෙ රත්තරන් අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබලා උසස් පෙළ කරන්න මහනුවර ධර්මරාජයට ගියේ හිතේ හුඟක් බලාපොරොත්තු තියාගෙන. කවදා හරි ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වෙනවා කියන එක තමයි හැම මොහොතකම හිතේ තිබුණේ. ලිට්ල් ස්ටාර් එකෙන් ලැබුණු පන්නරයත් එක්ක ලංකාවේ හොඳම රියැලිටි වැඩසටහන වන දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකට අයැදුම්පත දැම්මේ ගෙදර හැමෝම එකතු වෙලා. පුංචිම පුංචි කාලේ ලිට්ල් ස්ටාර් ඇවිත් රශ්මි සංගීතා, කිත්සිරි ජයසේකර හා මරියසෙල් ගුණතිලක යන මිස්ලා සර්ලා ඉස්සරහා කටින් මියුසික් දාලා සින්දු කියපු හැටි මුල්ම ගීතය ගායනා කරපු දවසේ මට මතක් වුණා. ඒ මතකයත් හිතේ තියාගෙන රෝහණ බෝගොඩ මහතා සහ සමිතා මුදුන්කොටුව මහත්මිය ඉස්සරහා ‘දුරස් වන්නට මේ ලෙසින්’ ගීතය ගායනා කළා. එදා මගේ ගායනට හොඳ ප්‍රතිචාර ලැබෙනකොට මම සමිතා මිස් ළඟට ඇවිදගෙන ගියේ පුංචි මතකයක් හිතේ තුරුල් කරගෙන. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පැවැත්වූ ප්‍රසංගයකට මීට අවුරුදු ගාණකට කලින් සමිතා මිස් ආවා. එදා මට හදිසියේම ඇයත් සමග ‘සඳ පානක් සේ’ ගීතය කියන්න වාසනාව ලැබුණා. ඒක මගේ ජීවිතයේ සදාතනික මතකයක්. මම ඒ සිදුවීම සමිතා මිස්ට මතක් කරලා දීලා මාව මතකද කියලා ඇහුවා. ‘අනේ පුතේ’ කියලා සමිතා මිස් මගේ ඔළුව අතගෑවා. එදා මට ලොකු ශක්තියක් දැනුණා. ඒ ශක්තිය තමා අවසාන තරගය දක්වා මාව අරගෙන ආවේ. අම්මගේ ආසාව වෙනුවෙන් හැමදාම සංගීතය මගේ ජීවිතයේ කොටසක් කරගත්තා. 6 වසරේ ඉඳලා 13 වසර වෙනකම් සමස්ත ලංකා තරග විශාල ප්‍රමාණයක් ගායන අංශයෙන් ජයග්‍රහණය කරන්න මට අවස්ථාව ලැබුණා. පාසලේ 10 වසරේ ඉන්නකොට විශාරද විභාගය සමත් වෙලා හොඳ සංගීත ගමනක් ආරම්භ කරන්නත් වාසනාව ලැබුණා.ධර්මරාජ විද්‍යාලයේ සංගීත අංශයේ අප එකතුවෙලා ‘කලාබර’ කියලා බෑන්ඩ් එකක් හදාගත්තා. එතැනින් ලැබුණ ප්‍රසංග කලාවේ අත්දැකීම් තමයි මම අදටත් ඩ්‍රිම් ස්ටාර් සජීවී වේදිකාව තුළ භාවිත කරන්නේ. මේ සියල්ල එකතු කරගෙන දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසාන මහා තරගයට මුහුණ දෙනවා. මාස තුනකින් විතර ගෙදර ගිහින් නැහැ. කොරෝනා ප්‍රශ්නය නිසා මාස ගාණක් ඇකඩමියේ නතර වෙලා ඉන්නේ. ප්‍රථමයා කියන ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් උන්නත් සමස්තයක් හැටියට මම ජයග්‍රහණය කරලා ඉවරයි. අනාගතයේ ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වෙනවා කියලා හිතේ ඇඳුණ බලාපොරොත්තුවට ජවයක් ලබාදුන් දෙරණට ගොඩක් පින්. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර https://youtu.be/DjAr83Mz0gs
 

More News..