brand logo

අනාගතයේදී ඔක්සිජන් මිලට ගන්නවා දකින්න මා කැමැති නෑ

10 March 2020

අනාගත පරපුර ඔක්සිජන් සිලින්ඩරයක් මිලට ගෙන ජීවිතය ගැට ගසා ගන්නවා දැකීමට තමන් අකමැති බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක පැවැසුවාය. නගරාධිපතිනිය මේ බව ප්‍රකාශ කළේ කොළඹ ප්‍රදේශයේ වායුවේ ගුණාත්මක බව නිරීක්ෂණය කිරීම සඳහා වායු තත්ත්ව ඒකකයක් කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී ස්ථාපිත කිරීමේ වැඩසටහනට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිනිය මෙසේද පැවැසුවාය. ‘‘කොළඹ නගරයේ වායු දූෂණය වීමේ ප්‍රධාන හේතුව රථවාහනවලින් පිටවන වායුවයි. කොළඹ නගරයේ රථවාහන නිසා සියයට හැටක් වායු දූෂණය සිදුවෙනවා. මෙම වායු දූෂණය අවම කිරීමට මධ්‍යම රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ අරගෙන, ජනතාවට පහසු වන පරිදි පොදු ප්‍රවාහන සේවයක් හඳුන්වා දිය යුතුයි. එමගින් වාහන තදබදය වගේම වායු දූෂණයත් අවම කරගැනීමට හැකි වෙනවා. ලෝකයේ විවිධ දරුණු වසංගත පැතිරී යන අවස්ථාවක වැඩි කාලයක් යන්නට මත්තෙන් අපිට ඔක්සිජන් හිඟයක් මේ වායු දූෂණය හේතුවෙන් ඇති නොවේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා.’’   හේමන්ත ලියනපතිරණ
 

More News..