brand logo

අන්ධ මිනිස්සු මිලියන අටකට සහායක සුනඛයන් 200යි

25 November 2020

දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට සහාය ලබා දෙන සුනඛයන්ගේ සේවය ශ්‍රී ලංකාවට ආගන්තුක වුවද සංවර්ධිත ජාතීන්ට එය අමුත්තක් නොවේ. එහෙත් ලොව දෙවැනි විශාලතම ආර්ථිකය සතු චීනය සතුව ඇත්තේ එවැනි සහායක සුනඛයන් 200ක් පමණ අල්ප සංඛ්‍යාවක් බව CNN පුවත් සේවය අනාවරණය කරයි. චීනයේ මේ වන විට වාසය කරන දෘෂ්‍යාබාධිත පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 17 ඉක්මවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව චීන ජාතිකයන් මිලියන 08ක් මුළුමනින්ම අන්ධ වේ. එය දළ වශයෙන් ස්විස්ටර්ලන්තයේ සමස්ත ජනගහණයට සමානය. එවැනි තත්ත්වයකද මෙලෙස සහායක සුනඛයන් චීනයේ පැන්ඩාවන්ට වඩා දුර්ලභ සත්ත්ව කොට්ඨාසයක් බවට පත්ව තිබීම විස්මය ජනක බවද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇතැයි CNN පවසයි. පවතින මෙම සංඛ්‍යාවන්වලට අනුව සහායක සුනඛයන් සිටින්නේ පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත චීන ජාතිකයන් 85,000කට එකකු වශයෙනි. චීනයට සාපේක්ෂව ගත් කල එක්සත් ජනපදයේ සෑම දෘශ්‍යාබාධිත පුද්ගලයන් 50 දෙනකුගෙන් එක් අයකුටම සහායක සුනඛයන් සිටියි. අන්ධ හෝ අර්ධ පෙනීම සහිත පුද්ගලයන් 36,000ක් වෙනුවෙන් බ්‍රිතාන්‍යය විසින් සෑම වසරකම සහායක සුනඛයන් 1000කට වැඩි සංඛ්‍යාවක් පුහුණු කරණු ලබයි. CNN වාර්තාවට අනුව ආබාධිත චීන නගරවල තත්ත්ව කටයුතු කළමනාකරණය කර ගැනීම දෘෂ්‍යාබාධිත චීන ජාතිකයන්ට දුෂ්කර කටයුත්තක් වී ඇත. මෑතකදී කර ඇති සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ චීනයේ දෘශ්‍යාබාධිතයන්ගෙන් 30%ක් සිය නිවෙස්වලින් පිටතට යන්නේ කලාතුරකිනි. දිනපතා පිටතට යනු ලබන්නේ දෘෂ්‍යාබාධිතයන් සිව් දෙනකුගෙන් එක් අයකු පමණක් වන අතර ඉතිරි පිරිස පවුලේ ඥාතීන් සහ මිතුරෝ රැක බලා ගනිති. නයන තරංග ගමගේ
 

More News..