brand logo

අන්දරේගේ විශ්වාස භංගය

13 July 2019

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට යන ලෙඩෙකුට මරණ දෙකක් වෙයි. එකක් සායනික මරණය ය. සායනික මරණය යනු හෘදය ස්පන්දනය නතර වී නාඩි නොවැටී අක්‍රිය වී ඉන්නා අවස්ථාවය. මරණය සිදුව තිබුණද එබඳු සිරුරක් මෝචරියට ගෙන යන්නේ අවම වශයෙන් විනාඩි හතළිස් පහක් වාට්ටුවේ තබාගෙන සිටීමෙනි. එසේ කරන්නේ ජීව විද්‍යාත්මක මරණය සිදු වූ පසුය. වෛද්‍යවරයකු පැවසුවේ ආණ්ඩුවේ ඉස්පිරිතාලේ මැරෙන ලෙඩා මෙන් මේ ආණ්ඩුවද දැන් ඉන්නේ සායනික මරණයේ බවය. ඒ නිසා දැන් ආණ්ඩුවේ කටයුතු ආණ්ඩු පාලනය යටතේ නැත. ආරක්ෂක ලේකම්වරයාටත්, පොලිස්පතිවරයාටත් බන්ධනාගාරයේ දොර ඇරෙයි. වාර්තා වෙන අන්දමට නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙකුත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ඇතුළු අට දෙනකුටත් බන්ධනාගාරය අත වනයි. දැන් පොලිස් දෙපාර්තමේන්තුව පැන්ෂන් ගිය පොලිස් නිලධාරියාගේ තත්ත්වයට වැටෙයි. ජනාධිපති තම බලතල ප්‍රකාරව එල්ලුම් ගසේ ලීවරය අදින්නට තීන්දු කළේය. අභියාචනාධිකරණය එය අනෙක් පැත්තට ඇද වළක්වා ඇත්තේය. තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට තෙල් නොදෙයි. විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවෙත් විදුලිය කපයි. මේ එකම ආණ්ඩුවේය. මෙසේ තිබුණත් ආණ්ඩුව පරාද කරන්නට ජනතා විමුක්ති පෙරමුණ ගෙනා විශ්වාස භංගයෙන් ආණ්ඩුව දිනුවේය. එහෙම වුණේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවල ගී ගයන ජිප්සීස් සුනිල් පෙරේරාගේ ගීත භාෂාවෙන් කීවොත් කියන්නට වෙන්නේ ‘අයි ඩෝන්ට් නෝ වයි කියාය. අයි ඩෝන්ඩ් නෝ වයි - මෙහෙම වෙන්නේ ඇයි?’ 1931 ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණට පසුව ආණ්ඩුවක් පරාද කරන්නට විශ්වාසභංග ගෙනා අවස්ථා රාශියක් ලංකා දේශපාලන ඉතිහාසයේ වෙයි. ගෙවුණ වසර හතර හමාරක කාලය තුළ මේ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග 11 ක් ගෙනැවිත් තිබේ. ඒ සෑම අවස්ථාවකම විශ්වාසභංගය ගෙනෙන පාර්ශ්වය එය දිනා ගැනීමට දත කෑවේය. වලිකෑවේය. කෞටිල්‍යගේද, මකියාවෙලිගේද පොත්වල තියෙන දේශපාලන උපාය උපක්‍රමවලටත් එහා ගියේය. අපේ රටේ ස්වෛරීත්වය රැක දෙන්නට රුසියානු රජය කැප වූවා සේම ඇතැම් විශ්වාසභංග ජය ගන්නට රුසියානු රූමතියෝද කැප වූ අවස්ථා එමටය. ආණ්ඩු පෙරළන්නට ඡන්දය දේ යැයි සිතන සෑම පාර්ශ්වයක් සමගම දිවා රෑ නැතිව කතාබහ කළේය. දේවාලවල බාරහාරවල අඩුවක්ද නොවීය. ආණ්ඩුවේ ඉන්නා හිත කැඩුණ ඇමැතිවරුන්ට ආණ්ඩු පෙරළුණ පසු එන අලුත් ආණ්ඩුවේ ඇමැති ධුර දීමේ පොරොන්දුවලින්ද අඩුවක් වූයේ නැත. එසේම ආණ්ඩුද තම ඡන්ද බලය රැක ගැනීමට කළේ ඡන්දයදාට පෙර දින සියලු මැති ඇමැතින් එක් හෝටලයක නතර කර ගැනීමය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංගය ඒ ඓතිහාසික හැසිරීම වෙනස් කළේ ය. විශ්වාසභංගය ගෙනා ජවිපෙ විපක්ෂය සමග නිල සාකච්ඡාවක්වත් නොකළේය. ආණ්ඩුව පෙරළීමට ඡන්දය ගැනීමට කිසිවෙක් උනන්දු නොකළේ ය. ආණ්ඩු බලය ලබා ගැනීමේදී නොව ගමේ සමුපකාර ඡන්ද ජය ගැනීමේදීත් ජනතා විමුක්ති පෙරමුණ මීට වඩා දැවැන්ත ලෙස කැප වන්නේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුව විසුරුවා හැර තිබියදී එය නීති විරෝධී බව කියමින් යළි යූඑන්පී ආණ්ඩුවම එන බව දැනගෙනම විශ්වාසභංගයක් කථානායකට භාර දීමට විජිත හේරත් දිවූ දිවිල්ල ද ඓතිහාසික එකකි. මෙවර ආණ්ඩුව පෙරළන්නට විශ්වාසභංගය භාරදුන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙසේ කියා නිහඬ විය. පොහොට්ටුවේ මුළු ඡන්ද සංඛ්‍යාවයි, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණයි එකතු වෙලා ඡන්දෙ දුන්නොත් ආණ්ඩුව පරාද කරන්න පුළුවන්.’’ වැඩේ කරගන්නට පොහොට්ටුවත්, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණටත් භාර කළ අනුර කුමාර බලා සිටියේය. ඒ ක්‍රියාව සමාන වන්නේ ලංකා පාර්ලිමේන්තුවේ විශ්වාස භංග ක්‍රියාවලියට නොව අතීත රජ වාසල අන්දරේගේ ක්‍රියා කලාපයකටය. ගමේ තිබෙන මහා ගල් පර්වතයක් තම කරෙන් ඔසවා ඉවත් කරන බව අන්දරේ වරෙක ඔට්ටුවක් ඇල්ලුවේය. ඒ සඳහා ඇඟ හදා ගැනීමට රාජ වාසලෙන් කා බී තර වූ අන්දරේ ඔට්ටුව දා ගල් පර්වතය තිබෙන තැනට අවුත් මෙසේ කීවේය. ‘‘උඹලා මේ ගල උස්සලා මගේ කරේ තිබ්බොත් මම ඒක ගෙනිහිං දාන්නං’’ එසේ කියූ අන්දරේ තම උරහිස ගම්මුන්ට පෑවේය. ගල එතැනමය. රජ වාසලද එසේමය. අන්දරේද මැරෙනතුරු රජවාසලෙන් කෑවේය, බීවේය.
 

More News..