brand logo

අන්තවාදී බලපෑම්වලට ඉඩ නොදී ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳින්න

25 December 2019

ආගම්වාදී ත්‍රස්තවාදය නමැති අඳුර දුරුකොට අපේ මාතෘ භූමියට ආරක්ෂාවත්, සාමයත් ගෙන දීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ඇප කැපවී සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ නත්තල් පණිවුඩය නිකුත් කරමින් කියා සිටී. එම නත්තල් පණිවුඩයේ මෙසේද සඳහන් වේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සනිටුහන් කරන නත්තල් උත්සවය සමරන සියලුම ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන්ට මම මාගේ උණුසුම් සුබාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි. අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා නත්තල් උත්සවය ගැන වරක් පවසා සිටියේ, එය පාපය හා අකීකරුකම තුළින් මානව වර්ගයාට නැතිවී තිබුණු ගෞරවාන්විත තත්ත්වය නැවත ලබාදීම සඳහා මනුෂ්‍යයකු හැටියට පහල වූ දේව පුත්‍රයාණන් වහන්සේ පෙරදැරි කරගත් භක්තියේ මංගල්‍යයක් හැටියටය. ලොව පුරා වාසය කරන කිතුනු බැතිමතුන් නත්තල් සමයේදී සිදුකරන්නේ දයාව, අධිෂ්ඨානය, සහකම්පනය පිළිබඳව පණිවුඩය රැගත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය හා ඉගැන්වීම් සැමරීමයි. සාම්ප්‍රදායිකව නත්තල යනු පවුල් එකතු වන, තෑගි බෝග හුවමාරු කරගන්නා, ආහාර{පාන භුක්ති විඳින, ප්‍රීතිමත් අවස්ථාවකි. විශේෂයෙන්ම ළමුන්, නත්තල යනු නත්තල් සීයා පැමිණෙන සමය හැටියට සලකනු ලබයි. නත්තල් උත්සවය කවදත් ඉතාමත් අවිහිංසාවාදී ප්‍රීතිමත් අවස්ථාවක් විය. නමුත් මේ වසරේ ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන් නත්තල සමරන්නේ පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරය පසුබිම් කරගෙනය. ඒ බෝම්බ ප්‍රහාරය නිසා කිතුනු බැතිමතුන් සිය ගණනක් මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇත. තුවාල ලැබූ ඇතැමුන් තවමත් ප්‍රතිකාර ලබමින් සිටී. අනුන්ගේ ආගමික නිදහස පිළිගන්නේ නැති ආගම්වාදී ත්‍රස්තවාදීන් පිරිසකගේ ගොදුරක් බවට ශ්‍රී ලාංකික කිතුනු ප්‍රජාව පත්විය. පාස්කු ඉරිදා සිදුවූ ඒ බෝම්බ ප්‍රහාරය නිසා මේ වසරේ නත්තල් දේව මෙහෙයන් පැවැත්වීමට සිදුවී ඇත්තේ, පෙර නොවූ විරූ ආකාරයේ ආරක්ෂක විධිවිධාන යටතේය. ආගම හා ජාතිය පදනම් කරගත් පටු දේශපාලනය නිසා අපේ මව්බිමට අත්වී ඇති කනගාටුදායක ඉරණම එයින් සනිටුහන් වේ. පාස්කු ඉරිදා සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරය නිසා සියලුම කිතුනු බැතිමතුන් මේ වසරේ නත්තල සමරනු ඇත්තේ එක්තරා අඳුරු වලාකුළක් යටතේය. නමුත් ශුද්ධ වූ ජුවාන් තුමාගේ සුබාරංචිය සඳහන් වන පරිදි, ආලෝකය අන්ධකාරය තුළ දිදුලන අතර, අන්ධකාරයට ඒ ආලෝකය යටපත් කළ නොහැක. මෙම නත්තල් සමයේ සියලුම ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන්ගෙන් මම කරන ඉල්ලීම වන්නේ අන්තවාදී බලවේගවලට ඉඩ නොදී තමන්ගේ ආගම් ඇදහීමේ නිදහස භුක්ති විඳින ලෙසයි. සියලුම ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන්ට භක්තියෙන් පිරුණු හා සාමකාමී නත්තලක් වේවා මම ප්‍රාර්ථනා කරනවා.
 

More News..