brand logo

අන්තවාදී ත්‍රස්තවාදයකට යළිත් මේ රටේ ඉඩක් නැහැ - ගෝඨාභය

07 November 2019

කිසිඳු අන්තවාදී ත්‍රස්තවාදයකට යළිත් මේ රටේ ඉඩක් නොමැති බව අවධාරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (06) බේරුවල වෙරළ ක්‍රීඩාපිටියේ පැවැති ජන රැලිය අමතමිණි. යුද්ධයක් අවසන් කරන්නට කොපමණ අපහසුද? ඒ සඳහා කොපමණ ප්‍රයත්නයක් දැරිය යුතුද කියන කාරණය පිළිබඳව හොඳ අවබෝධයක් මට තිබෙනවා. අපේ රණවිරුවන් කොපමණ පරිත්‍යාගයන් කළාද කියන දේ ගැන පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා.ඒ නිසාම සාමය කැඩී යන කිසිඳු දෙයක් මේ රටේ යළි ඇති නොවිය යුතුයි කියන අදහස මගේ හිතේ තිබෙනවා. අපි ජනතාව ජීවත් කරවන ජනතා කේන්ද්‍රීය වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.දිළිඳු කමින් ඉන්න විශාල පිරිසක් අද අපේ රටේ ඉන්නවා.මේ හැමදෙනාගේම ජීවන තත්ත්වය ඉහළ නංවන්න හැකි ආර්ථික සැලැස්මක් අපි ඉදිරිපත් කරල තිබෙනවා.විශේෂයෙන්ම අපි දන්නවා මේ රටේ තිබුණු තිස් අවුරුදු ත්‍රස්තවාදය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අවුරුදු දෙකහමාරකින් අවසන් කරලා මේ රට සාමකාමී කළා.ඒ හරහා තමයි අපිට පුළුවන් වුණේ මේ රටේ විශාල සංවර්ධනයක් කරන්න.ඒ වගේම දේශීය හා විදේශීය ආයෝජකයන් දිරිගන්වන්නට හැකි වුණා. කොළඹ නගරයේ දකින සියලුම ව්‍යාපෘති ගෙනාවේ අපි.අධිවේගී මාර්ග,ගුවන්තොටුපළ,වරාය නිර්මාණය කිරීමට හා කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණුවන නගරය බවට පත්කරන්න අපිට හැකි වුණා.මේ වේගවත් දියුණුව,සංවර්ධනය නිසා ව්‍යාපාරිකයින්ට මෙන්ම ව්‍යවසායකයින්ටද හොඳ අවස්ථාවක් හිමිවුණා. මේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන් අපි විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කළා.නමුත් මේ රජය බලයට ආවට පස්සේ ඒ සංවර්ධන කටයුතු සියල්ලක්ම නැවතුණා.ඒ නිසාම ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර නැතිවුණා.සියලුම සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන්,උප කොන්ත්‍රාත්කරුවන්,සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් හිටියා.ඒ සියලුදෙනාගේම ව්‍යාපාර අද වෙනකොට කඩාගෙන වැටිලා.මේ නිසා එම ව්‍යාපාර හා ඍජුවම සම්බන්ධ රැකියා ලක්ෂ හතරක් පමණ නැතිවුණා.අනියම් වශයෙන් තිබුණු රැකියාවන්ද විශාල ලෙස නැතිවුණා. ඒ වගේම අපේ රටේ තිබුණ ආරක්ෂාව හරහා සංහිඳියාව වැඩිවෙලා තිබුණා.එදා අපි උතුරේ ත්‍රස්තවාදය අවසන් කරලා ඒ පළාත්වල පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න විශාල දායකත්වයක් ලබාදුන්නා.අපි ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය පළවෙන වතාවට ආරක්ෂා කළා.ඒ වෙනුවෙන් පළාත් සභා මැතිවරණයක් ලබාදෙන්න කටයුතු කළා.අපේ අවශ්‍යතාව වුණේ ඒ ජනතාව අප හා සෑම අයුරකින්ම සම්බන්ධ වීමයි. අපි යුද්ධයක් කරපු හෝ ආරම්භ කරපු මිනිස්සු නොවෙයි.අපි යුද්ධයක් අවසාන කරපු මිනිස්සු.එක්සත් ජාතික පක්ෂය තමයි යුද්ධයක් හැමවිටම ආරම්භ කිරීමට කටයුතු කළේ.ඒත් අපිට අවශ්‍යවෙලා තිබුණේ මේ රටේ ජීවත්වන සිංහල ,දමිළ ,මුස්ලිම් සියලුම ජන කොටසකටම අවිශ්වාසයකින් තොරව තම ආගම අදහන්නට,රැකියාව හෝ තම ජීවිකාව,ව්‍යාපාර කරගෙන යන්නට සුදුසු පරිසරයක් බිහිකරන්නටයි.අපි දන්නවා යුද්ධයක් තිබෙන කාලයකදී සෑම ජනකොටසකටම කොපමණ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවෙනවද කියලා.ඒ වගේම විශාල වශයෙන් සෑම ජනකොටසකටම අයත් පුද්ගලයන්ගේ වටිනා ජීවිත අහිමි වුණා.දේපළ අහිමි වුණා. මෙරට ආරක්ෂාව තහවුරු කරලා සිංහල ,දමිළ ,මුස්ලිම් සෑම ජනකොටසකටම කිසිඳු බියකින් තොරව ජීවත්විය හැකි සුදුසු පරිසරයක් ඇතිකරන බවට මම සහිත වෙනවා.කිසිඳු අන්තවාදී ත්‍රස්තවාදයකට යලි ඉඩක් මේ රට තුළ ලබාදෙන්නේ නැහැ.ඒ අනුව පන්සලට,පල්ලියට,කෝවිලට යන්න බියවිය යුතු නැහැ.දරුවන් පාසලට යවන්න දෙමාපියන් බියවිය යුතු නැහැ.නැවතත් ඔබේ සාමකාමී වටපිටාව නිර්මාණය කරන බවට සහිත වෙනවා. මේ රටේ ත්‍රිවිධ හමුදාව,පොලිසිය හා විශේෂයෙන්ම බුද්ධි අංශ තමයි රටට අනපේක්ෂිතව අනතුරක් එල්ලවන විට රජයට අනතුරු ඇඟවන්නේ.ඒ නිසා අපි ඒ කාලයේ බුද්ධි අංශ විශේෂ පුහුණුවකට ලක් කළා.ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ,අපරාධ විමර්ශන කොට්ඨාසය හා පොලිසිය අපි පාවිච්චි කළේ ත්‍රස්තවාදය නැතිකරන්නටයි.නමුත් මේ රජය ඒ හමුදා,බුද්ධි අංශ බල රහිත කළා.ඒ අයට අභූත චෝදනා නගලා සිර දඬුවම් ලබාදුන්නා.රණවිරුවන්ට විරුද්ධව කටයුතු කරමින් ඔවුන්ගේ මානසිකත්වය කඩාදමා ජාත්‍යන්තර අධිකරණවලට යවන්න සූදානම් වුණා.අපි පොලිසියේ CID, TID අංශවල දක්ෂ උසස් නිලධාරීන් පාවිච්චි කළේ ත්‍රස්තවාදය මැඩලීම සඳහායි.ඒත් මේ රජය ඔවුන්ගේ හෙන්චයියන්ව ඒ තැන්වලට දාලා ඒ අයව පාවිච්චි කළේ දේශපාලන විරුද්ධවාදීන් පසුපස එලවන්නයි.මේ නිසා තමයි මේ රටේ නැවතත් බෝම්බ පුපුරණ අවස්ථාවක් නිර්මාණය වෙලා විවිධ සමාජ කොටස් අතර අවිශ්වාසයක් ගොඩනැගිලා තිබෙන්නේ. එදා එක සිද්ධියක් සිදුවුණා අලුත්ගම.අපි ඒක දැනගත් විගසම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා.අපි ඒක දිගටම පවත්වාගෙන යන්න ඉඩලබාදුන්නේ නැහැ.සියලු ආරක්ෂක අංශ යොදවා අපි ඒ තත්ත්වය නතර කරගත්තා.මේවා ගොඩාක් සංවේදී දේවල් නිසා පාලනය කරන්න හරිම අමාරුයි.නමුත් අපි ඒ තත්ත්වය එදා හොඳින් පාලනය කළා.ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇවිත් විනාශ වුණු සියලු දේපළ හමුදාව යොදවා ඉක්මනින් නැවත ප්‍රතිසංස්කරණය කළා.අපිට කිසිඳු ආකාරයකින් දෙමළ හෝ මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කළේ නැහැ.ඒත් එදා බොරු ප්‍රචාර ගෙනෙගියා සමහරුන්.අදත් ඒ අය බොරු මඩ ප්‍රචාර පතුරුවමින් සිටිනවා.ඔවුන් ජනතාව මුලාවේ දාන්න උත්සාහ කරනවා.එදත් කරපු ඒ මුලාව නිසා තමයි මේ රජය ජාතික ආරක්ෂාව නැතිවෙන තැනට රට අරගෙන ආවේ.ඒ නිසා අද මේ රටේ ආරක්ෂාව පිළිබඳව ,රටේ ස්ථාවරත්වය පිළිබඳව කිසිඳු විශ්වාසයක් නැති තත්ත්වයක් මතුවෙලා. සංචාරකයන් මේ රටට පැමිණීම නවතවලා.අපි රටේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර මේ තත්ත්වය වෙනස් කරනවා.අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ බව ඉතා හොඳින් දක්වා තිබෙනවා.ඉන්දියාවේ සිට චීනය දක්වා මධ්‍යම පාන්තිකයින් විශාල ලෙස ආර්ථිකයෙන් ඉහළට ගොස් තිබෙනවා.මොකද මේ රටවල් දියුවෙලා නිසා.බටහිර රටවලට වඩා මේ රටවලින් සංචාරකයෝ ආකර්ෂණය කරගන්න අවශ්‍යයි .ඒක රජයක් විසින් කළ යුතු දෙයක්.අපේ රට ගැන මේ රටවල ප්‍රචාරය කරන්න අවශ්‍යයි.ගුවන්තොටුපළෙහි සිට වීසා ලබාගෙන සංචාරය කරන සම්පුර්ණ කාලය දක්වාම ඔවුන්ගේ සියලුම පහසුකම් සලසා දීම රජයක වගකීමයි.මේ හරහා පෞද්ගලික අංශයේ දියුණුව ඇතිවෙනවා.රජය මැදිහත් වෙලා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුයි.සංචාරක ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් අපි ඒ කාර්ය අනිවාර්යයෙන්ම කරනවා.මිලියන පහක සංචාරකයන් ගෙන්වාගත යුතුයි.මේ හරහා ඩොලර් මිලියන දහයක් විදේශ ආදායමක් ලෙස අපිට ලබාගන්න පුළුවන්. මැණික් කර්මාන්තයත් ඉතා වැදගත් කර්මාන්තයක්.අද මේ කර්මාන්ත මත බදු පටවලා ඒ කටයුතු අඩාල කරලා.මේ කර්මාන්තය ඉතා හොඳින් විදේශ විනිමය ගේන්න පුළුවන් කර්මාන්තයක්.එදා මේ තුළින් ලැබුණු විදේශ ආදායම අද ලැබෙන්නේ නැහැ.අපි මෙය දියුණුවට පත්කරන්න අවශ්‍යයි.මේ තුළ විශාල රැකියා ප්‍රමාණයක් තිබෙනවා.මේ වගේම තවත් ලාභ ඉපයිය හැකි කර්මාන්ත බොහොමයකට බදු පිට බදු පටවලා.සංකීර්ණ බදු පැටවීම නිසා ව්‍යාපාර කඩාගෙන වැටිලා.මිනිස්සු අද බදු ගෙවන්නේ නැහැ.ඔවුන්ට බදු ගෙවන්න බැහැ.නිලධාරීන්ට මේවා කලමනාකරණය කරගැනීමේ අපහසුතාවක් තිබෙනවා. අපි අනවශ්‍ය බදු කපාදමා සරල බදු ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා.වැට් බද්ද 08% දක්වා අඩු කර ව්‍යාපාරිකයින් දිරිගන්වන්නට ,නිෂ්පාදනය හා ආයෝජනය වැඩි කරන්නට,පරිභෝජනය මෙන්ම ඉතිරි කිරීම වැඩිකර ආර්ථිකය දිරිගන්වන්නට අවශ්‍යයි.එතකොට තමයි ජාතික ආදායම ඉහළ යන්නේ.බදු ගෙවීමට පහසු වෙනකොට සියලුදෙනා බදු ගෙවන්න පෙළඹෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් කරනවා.ආර්ථිකය ඉදිරියට රැගෙනයන්න හැකියාව තිබෙන්නේ තාක්ෂණය මුල්කරගෙන.අද ආසියාවේ රටවල් ඉහළට ගිහිල්ලා තිබෙන්නේ තාක්ෂණයමුල්කරගෙන.අපේ තරුණ තරුණියන් ගොඩාක් බුද්ධිමත්.ඒ අය අද අතරමංවෙලා තිබෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන වැරදි නිසා.අපි කෙටි හා දීර්ඝ කාලීනව මේ ගැටලුවට විසඳුම් ලබාදෙන්න කටයුතු කරනවා.ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරනවා.හත වසර පන්තියේ සිටම දරුවාට නිපුණත්වයක් සහිත විවිධ ක්ෂේත්‍රවලට යොමු කරන්නට අවශ්‍යයි.අද ලක්ෂ දෙකක් උසස් පෙළ සමත් වෙනවා.ඒත් තිස්දහසකට විතරයි සරසවි වරම් ලැබෙන්නේ.ඉතිරි අය අතරමංවෙලා.ඔවුන් දන්නේ නැහැ මොනවාද කරන්නේ කියලා.මේක හොඳ දෙයක් නොවෙයි.මේ ක්‍රමයයි අපි වෙනස් කරන්නට අවශ්‍යය. අපි අභියෝග භාරගෙන ඒ අභියෝග ජයග්‍රහණය කළා.ඔබ හැමෝම හැමවෙලේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තැබුවා.මම මට භාරදුන් සියලු වගකීමක්ම සියයට සියයක්ම ඉටුකළා.ඒ නිසා මා කෙරෙහි විශ්වාසය තබන්න. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සහ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පියල් නිශාන්ත ,උදය ගම්මන්පිල ,විමල් වීරවංශ ,රමේෂ් පතිරණ යන මහතවරු මෙන්ම බේරුවල ප්‍රාදේශීය සභාවේ දේශපාලන නායකයින් හා නගර සභාවේ හිටපු දේශපාලන නායකයින් කීපදෙනෙකුද මෙහිදී අදහස් දැක්වීය.
 

More News..