brand logo

අන්තර් මෝසම සක්‍රිය වෙයි

03 November 2020

අන්තර් මෝසම් වැසි තත්ත්වය ස්ථාපිතවීම නිසා දිවයිනටම බලපාන පරිදි සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි අද (03 වැනිදා) හෝ හෙට (04 වැනිදා) සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අන්තර් මෝසම් වැසි තත්ත්වය සාමාන්‍යයෙන් ඉකුත් ඔක්තෝබර් මස මුලදී ලැබීමට නියමිත වූවද, මෙවර එය ප්‍රමාද වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් සවස් කාලයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී පැයක පමණ කාලයක් මිලි මීටර් 100 ක් හෝ මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇදහැලීමට ඉඩ තිබෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් කීවේය. ගිගුරුම් සහිත වැසි සමග කෙටි කාලීන තද සුළංද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවන්හිදී එළිමහනේ හෝ ගස්යට නොසිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අන්තර් මෝසම් වැසි තත්ත්වය නොවැම්බර් මාසය පුරාවටම පවතින බවත්, දෙසැම්බර් මාසය මුලදී ඊසාන දිග මෝසම් වැසි ඇද හැලීමට නියමිත බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..