brand logo

අන්තර්ජාල වෙළඳාම අනාරක්ෂිතයි

18 November 2022

බැංකු ගිණූම්වලට සූක්ෂමව රිංගා ලක්ෂ ගණන් සල්ලි ඇදලා

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට  දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ  බැංකු ගිණුම් වලට සූක්ෂම ලෙස ඇතුළු වී  රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ලෙස ලබාගත් සංවිධානාත්මක කල්ලියක තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අන්තර්ජාල හා ආවේක්ෂණ බුද්ධි ඒකකය පවසයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන් විසි දෙනකු පමණ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන  ලද පැමිණිලි අනුව  සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව  සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ  මහනුවර තලාතුඔය මැදවච්චිය ආදී ප්‍රදේශවල දී ය. කිසියම් භාණ්ඩයක් විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම පළ කළ පුද්ගලයා අමතා එම භාණ්ඩයේ මිල දී ගන්නා බවට විශ්වාසයක් ඇතිකර  එයට අත්තිකාරම් මුදලක් ගිණුම් ගත කරන බව පවසා  ඔහුගේ ගිණුම් විස්තර සහ අනෙකුත් විස්තර ලබාගෙන එම වංචාව සිදුකර ඇති බව පොලිසිය පවසයි අනතුරුව අදාළ භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ගේ ගිණුමට පිවිසීම සඳහා ගිණුම් හිමියාගේ ජංගම දුරකථනයට එක් වරක් පමණක් ලැබෙන මුරපදය හෙවත් otp කේතය ජාවාරම් කල්ලිය විසින් සූක්ෂම ලෙස ලබාගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි ඒ ඔස්සේ භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ගේ ගිණුම් වලට  සූක්ෂම ලෙස ඇතුළු වී  ඔහුන්ගේ ගිණුම් වල තිබෙන මුදල් ජාවාරම් කරුවන්ගේ ගිණුම් වලට  යොමුකර ගැනීම  කර තිබූ බවද පොලිසිය කියයි ජාවාරම්කරුවන් එම ගිණුම් සඳහා වෙනත් පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් භාවිතා කර ගිණුම් ආරම්භ කර ඇති බව ද  පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත. සැකකරුවන් ඒ ආකාරයෙන්  අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයකුගේ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 18 ක මුදලක්  සූක්ෂම ලෙස ඔහුන්ගේ ගිණුමට බැර කර ගෙන තිබූ බව  සිදු කළ දීර්ඝ විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙම සංවිධානාත්මක මුදල් වංචාව සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් පරිගණක සම්බන්ධයෙන් මනා දැනුමක් තිබෙන තදින්   මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බවද  පොලිස් නිලධාරියකු පැවැසීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ  අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ආර්. ඒ. ඩි. ඊ. එල්. රන්දෙණියගේ සෘජු අධීක්ෂණය යටතේ  අන්තර්ජාල හා ආවේක්ෂණ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති  උප පොලිස් පරීක්ෂක එස් සුබසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන දිල්ශාන් ,ශාලිත හා කුමාර යන අය පරීක්ෂණ පවත්වයි. බිමල් ශ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම
 

More News..