brand logo

අන්තර්ජාලය කැලඹූ අද්භූත එල්සා

19 December 2020

  අවුරුද්දක් වයසැති පුංචි ඔරෙලියාටත් නත්තලට තෑග්ගක් ලැබිණ. තෑග්ග ලැබුණේ ඇගේ අත්තම්මාගෙනි. ඒ තෑගි පාර්සලය විවර කර බැලූ විට ඔරෙලියා සතුටින් උඩ පැන්නාය. පාර්සලය ඇතුළේ තිබුණේ බෝනික්කෙකි. ඇගේ ප්‍රියතම ෆ්රෝසන් කාටුන් චිත්‍රපටයේ උන් “එල්සා” ගේ රුව ඇති එල්සා බෝනික්කියකි. එදා පටන් ඔරෙලියා ඇගේ සෙල්ලම් බඩු වලින් වඩාත්ම ප්‍රිය කළේ මේ එල්සා බෝනික්කාටය. එල්සා නිකම්ම නිකම් බෝනික්කෙකුත් නොවේ. ඇයට සින්දු කියන්නටත් පුළුවන්කම තිබිණ. ඇගේ ගෙලේ ඇති බොත්තමක් එබූ විට ඇය ෆ්රෝසන් චිත්‍රපටයේ ඇති “"Let It Go" සින්දුව කියන්නීය. අවුුරුදු කිහිපයක් ඔරෙලියාගේ ආදරය ලබමින් ගී ගයමින් උන් එල්සා බෝනික්කිය හිටි හැටියේම වෙනස් වූවාය. ඉංග්‍රීසි බසින් ගී ගැයූ එල්සා බෝනික්කිය හිටි ගමන් ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කරන්නට පටන් ගත්තාය. “අම්මේ.. එල්සාගේ සින්දුව වෙනස් වෙලා. මට එයා කියන දේ තේරෙන්නෙ නෑ..” පුංචි ඔරෙලියා එල්සා බෝනික්කියව ඇගේ අම්මා ළඟට ගෙන ගියේ එය හදා දෙන්නැයි කියන්නටය. “මොකක් හරි වෙලා භාෂාව වෙනස් වෙන්න ඇති. කෝ දෙන්න මං ආයෙමත් මාරු කරලා දෙන්නම්..” ඔරෙලියාගේ අම්මා මැඩෝනියා බෝනික්කිය අතට ගෙන භාෂා මාධ්‍යය වෙනස් කිරීමේ බොත්තමක් ඇතිදැයි සෙව්වාය. පුදුමයකි. එවැන්නක් නැත. ඇත්තේ එකම එක බොත්තමකි. එය හඬ ක්‍රියාත්මක කිරීමටත්, නිවා දැමීමටත් ඇති එකම බොත්තමයි. එහෙත් පුදුමයකට මෙන් එල්සා මාරුවෙන් මාරුවට භාෂා දෙකෙන්ම ගී ගැයුවාය. එය ඔරෙලියාට මහත් සිත් තැවුලක් විය. “ඇයි අම්මෙ එල්සා මට තේරෙන්නෙ නැති දේවල් කියන්නේ.? එයාට මොකද වෙලා තියෙන්නේ..?” ඔරෙලියා නිතරම අම්මාට කරදර කළාය. “හරි හරි.. ඔන්න මීට පස්සෙ එයා ඔයාට තේරෙන්නෙ නැති දේවල් කියන එකක් නෑ. එයා ආයෙ මොනවත්ම කියන එකක් නෑ..” කියමින් මැඩෝනියා බෝනික්කා ගෙන එහි බැටරිය ගලවා දමමින්, බෝනික්කාගේ හඬ ක්‍රියා විරහිත කළාය. එහෙත් එල්සා බෝනික්කිය වැඩි දවසක් නිහඬව උන්නේ නැත. හඬ ක්‍රියා විරහිත කොට තිබුණත්, බැටරි නැතිවත් ඇය ගී කියන්නට පටන් ගත්තාය. භාෂා දෙකෙන්ම ගී ගයන්නට පටන් ගත්තාය. මැඩෝනියා මදක් බියපත් වූවාය. ඇය ඇගේ සැමියාටද ඒ බව දැනුම් දුන් මුත් තවත් ටිකක් කල් ඉවසා බලන්නට තීරණය කළාය. “අම්මේ මං දැන් එල්සාගෙ සින්දුවට ආස නෑ. ඒක නපුරුයි. එයා මං නිදාගෙන ඉන්නකොටත් මට තේරෙන්නේ නැති සින්දු කියනවා..” ඔරෙලියා වරින් වර කියන්නට පටන් ගත්තාය. “මේකෙ අපට නොතේරෙන මොකක් හරි දෙයක් තියෙනවා මැඩෝනියා. මං හිතන්නෙ අපි මේ බෝනික්කව අයින් කළොත් හොඳයි..” මැඩෝනියාගේ සැමියා ඇයට කීවාය. “මං කැමති නෑ දුව ළඟ එහෙම අමුතු දෙයක් තියෙනවට..” ඉතින් ඔවුන් දෙදෙනා එක්ව බෝනික්කිය විසි කර දමන්නට තීරණය කළහ. ගෙදරින් ඉවත ලන කැළි කසළ සමග එල්සා බෝනික්කියවද කුණු ලොරියට බාර දුන්හ. ගත වූයේ දින දෙක තුනකි. සෙල්ලම් කරන්නට මිදුලට ගිය ඔරෙලියා එසැණින් ආපසු ගෙට දිව ආවාය. “අම්මේ, එල්සා මිදුලේ ලී බංකුව උඩ ඉන්නවා..” ඔරෙලියා කීවාය. මැඩෝනියා දිව ගොස් එය ඇත්තක් දැයි බැලුවාය. ඔව් ඒ එල්සාමය. ඔවුන්ගේ එල්සාමය. වරක් ඔරෙලියා එල්සාගේ අතේ ලියූ වචන කිහිපයක් තවමත් එහෙමම තිබේ. බෝනික්කාව කවුරුන් හෝ ආපහු ගෙනත් දැමුවා වෙන්නටද බැරි නැත. එය කාගේ හෝ නරක විහිළුවක් වෙන්නටත් පුළුවන. මැඩෝනියා නැවතත් බෝනික්කා ගෙට රැගෙන ගියාය. කුණු ඉවත් කරන්නට ගන්නා බෑගයක් ගෙන, බෝනික්කාව එයට දමා ගැට ගැසුවාය. ඒ බෑගය තවත් බෑගයකට දමා ගැට ගැසුවාය. ඉන්පසු එය තවත් කුණු බෑගයකට දමා ඒ මතින් කැළි කසළද පිරවූවාය. දැන් ඉතින් මේ බෝනික්කාව කාටවත් හොයා ගන්නට නොහැකිය. හොයාගෙන ආපසු මේ ගෙදරට ගෙනත් දාන්නටද නොහැකිය. එදා හැන්දෑවේ කුණු ලොරිය එනතුරු බලා උන් මැඩෝනියා, බෝනික්කාව දැමූ කුණු බෑගය තමාගේ අතින්ම කුණු ලොරියට බාර දුන්නාය. ඉන්පසු කුණු ලොරිය නොපෙනී යනතුරුම බලා උන්නාය. දැන් ඉතින් කරදරය ඉවරය. සාමකාමීව සතියක් දෙකක් ගෙවී ගියේය. දිනක් නගරයට ගොස් ආපසු නිවසට පැමිණෙන මැඩෝනියා යම් දෙයක් තමන්ගේ නිවසින් පිටත, බිත්තියකට ආසන්නයෙන් තිබෙනු දුටුවාය. ඇය මදක් ළං වී බැලුවාය. ඒ එල්සාය. ඔව්. ඒ ඔවුන්ගේ එල්සා බෝනික්කියමය. ඔරෙලියා එල්සාගේ අතේ ලියූ වචනත් එලෙසින්ම ඇත. එල්සා ආපසු ගෙදර පැමිණ තිබේ. එල්සාට කුමක් හෝ අද්භූත බලයක් වැනි දෙයක් තිබෙන බවට දැන් මැඩෝනියාට සැකයක් නැත. ඇය එල්සාගේ ඡායාරූපයක් සමග මේ විස්තරය මුහුණු පොතේ පළ කළාය. එල්සාගේ කතාව ලැව් ගින්නක් මෙන් අන්තර්ජාලය පුරා පැතිර ගියේය. මේ පුවත දුටු මැඩෝනියාගේ ෆේස්බුක් මිතුරෙකු වූ ක්‍රිස් හෝගන් එල්සාව බාර ගන්නට කැමැත්ත පළ කළේය. ඔහු පදිංචිව සිටින්නේ මැඩෝනියා සිටින නගරයට කිලෝමීටර් 2500 කටත් වඩා දුර ඈතකිනි. ඉතින් මැඩෝනියා එල්සාව එහි යවන්නට එක පයින් කැමති වූවාය. ඇය වහා එල්සාව ගමනට සූදානම් කළාය. එල්සාව පාර්සල් කරන්නට ඇයව කුඩා කාඩ්බෝඩ් පෙට්ටියට දමා එහි පියන වැසුවාය. මැඩෝනියාට අමුතු හඬක් ඇසිණ. එය හීන් සිනා හඩකි. හීන් හඬක් වුවද ඒ හිනාවේ බියකරු බවක්ද  තැවරී තිබිණ. මැඩෝනියා පෙට්ටියේ පියන විවර කර බැලුවාය. ඔව්. එය ඇසෙන්නේ පෙට්ටිය තුළිනි. එල්සා සිනාසෙන්නීය. මීට පෙර කවදාවත් එල්සා එසේ හඬ නගා සිනාසී නැත. ඇයට සිනාසෙන්නට හැකියාවක් තිබුණේද නැත. එහෙත් දැන් ඇය සිනාසෙන්නීය. මැඩෝනියාගේ සියොළඟම බියෙන් සීතලව ගියේය. ඇය වහා පෙට්ටිය වසා දැමුවාය. ඉන්පසු ගම් ටේප් වලින් එය ඔතමින්, ලේසියෙන් විවෘත කරන්නට බැරි ලෙස පෙට්ටිය වසා දැම්මාය. තත්පර තිහක් පමණ එක දිගට පැවති සිනා හඬ නැවතී ගියේය. ඉතින්, ආපසු ලිපිනයක් හෝ ලියන්නේ නැතිව, එල්සා රැගත් පෙට්ටිය ක්‍රිස් හෝගන් වෙත තැපැල් කෙරිණ. අන්තිමේදී ක්‍රිස් හෝගන්ට එල්සා බෝනික්කියව ලැබිණ. ඔහු ඒ බෝනික්කියව තම ට්‍රක් රථයේ ඉදිරි බොනට්ටුවේ තබා තදින් ඇලෙන ගම් වර්ගයකින් ඇලවූයේය. ඉතින් දැන් එල්සාගේ වාසස්ථානය එතැනය. ක්‍රිස් හෝගන්ගේ ට්‍රක් රථයේ බොනට්ටුව මතය. එල්සාට නැවතත් ගෙදර යන්නට සිතේවි දැයි හරියටම කියන්නට නොහැකිය. නිම්මි මුදිතා හේරත්
 

More News..