brand logo

අධිබල ලේසර් කිරණෙන් ලංකාවේ කල පළමු වකුගඩු සැත්කම

19 November 2020

මෙරට ප්‍රථම වරට අධිබල ලේසර් කිරණ භාවිත කර පුද්ගලයකුගේ වකුගඩුවක් තුළ තිබූ විශාල ප්‍රමාණයේ ගලක් ඉවත් කිරීමට කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පල්ලියගුරුගේ ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය ඊයේ (18 වැනිදා) සමත් වී තිබේ. කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ ඩී ශල්‍යාගාරයේදී මෙම අති විශේෂ සැත්කම සිදු කෙරුණි. පුද්ගලයකුගේ වකුගඩුවක් තුළ තිබූ සෙන්ටි මීටර හතරක විශාලැති ගලක් වොට් 140 ක අධිබලැති ලේසර් තාක්ෂණය යොදාගෙන එය කුඩුකර මූත්‍රා මාර්ගය හරහා ඉවතට ගැනීම මෙම ශල්‍ය කර්මයේදී සිදු කෙරුණි. මෙම ශල්‍යකර්මය පිළිබඳ අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය කලණ පල්ලියගුරුගේ, ‘‘අපි ලංකාවේ පළමු වරට වොට් 140 ක අධි බලැති ලේසර් මගින් පුද්ගලයකුගේ දකුණු පැත්තේ වකුගඩුවේ මිලි මීටර් හතරක පමණ ඉතා කුඩා කැපුමකින් සෙන්ටි මීටර් හතරක් පමණ විශාල ගලක් ඉවත් කරනු ලැබුවා. මෙම පුද්ගලයාගේම මීට වසර හතකට පමණ පෙරදී අඟල් අටක පමණ විශාල කැපුමක් සිදු කර ගලක් ඉවත් කර තිබෙනවා. මේ වගේ ගල් නැවත නැවත ඇති වෙනවා. ඒ වගේම දෙවැනි වරට ගලක් ඉවත් කරනවා නම් මේ වගේ ක්‍රමයකින් කිසිදු අපහසුතාවකින් තොරව එය ඉවත්කළ හැකියි’ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පැවසුවේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..