brand logo

මාලිම්බඩ පොලිස්​ ලොක්කාට සහ මාතර පොලිස් අධිකාරීට එරෙහිව චෝදනා පත්‍ර

19 February 2021

    නීතිඥවරියකට තර්ජනය කර රාජකාරියට බාධා කළ බව කියන මාලිම්බඩ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ මාතර කොට්ඨාසයේ අංක 1 පොලිස් අධිකාරීට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කිරීම සහ සත්‍ය වසං කිරීම යටතේ චෝදනා පත්‍ර ගොනු කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිර්දේශ කර තිබේ. මෙලෙස චෝදනා පත්‍ර ගොනු කරන ලෙස නිර්දේශ වී ඇත්තේ පොලිස් අධිකාරී සුසිල් විජේගුණවර්ධන හා ස්ථානාධිපති පී.කේ. චන්ද්‍ර ජයවික්‍රමටය. රුපියල් හතළිස් ලක්ෂයක් පමණ වටිනා ඩොලර් නෝට්ටු දෙසීයක් නිවසකින් අතුරුදන් වීමේ සිද්ධියක් මීට හේතු වී තිබේ. මාලිම්බඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලිසියට පවසා ඇත්තේ මෙම ඩොලර් අතුරුදන්ව ඇත්තේ තමන් විදේශගතව සිටියදී බවය. මෙම පුද්ගලයාගේ බිරිඳ ඇයගේ පෙම්වතාට මෙම මුදල් ලබාදී තිබෙන බව මේ පිළිබඳ විමර්ශනය කරමින් සිටි පොලිසියට අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් පොලිසිය ඇයගෙන් ප්‍රශ්න කර ඇත. සිද්ධිය හෙළි වීමෙන් පසු ඩොලර් නෝට්ටු සියල්ලම රැගෙන පොලිසියට පැමිණි පැමිණිලිකරුගේ බිරිඳ එම මුදල් ස්ථානාධිපතිවරයා අතට දී තමන්ගේ පවුල් ජීවිතය රැක ගත යුතු හෙයින් සිද්ධිය දුරදිග නොයවා කටයුතු කරන්නැයි ඉල්ලීමක් කර තිබේ. ස්ථානාධිපතිවරයා ඊට එකඟ වී පසුදින යළි පැමිණෙන ලෙස දන්වා ඇය යවා ඇත. ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීම පරිදි පසුදින පොලිසියට පැමිණි ඇයට දැන ගැනීමට ලැබී ඇත්තේ තමන් ස්ථානාධිපතිවරයාට දුන් ඩොලර් නෝට්ටු දෙසීයෙන් සීයක් අතුරුදන්ව ඇති බවය. එමෙන්ම ඇය පොලිසියට පැමිණෙන විට ඇයගේ පෙම්වතාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිට ඇත. එම තරුණයා වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි නීතිඥවරියට ස්ථානාධිපතිවරයා බැණ වැදී තර්ජනද එල්ල කර තිබේ. එමෙන්ම ස්ථානාධිපතිවරයාගේ තර්ජනයට ලක් වූ නීතිඥවරිය වෙනුවෙන් පෙනී සිටි තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකටද අධිකරණ භූමියේදී පොලිස් නිලධාරීන් පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කර ඇත. මෙහි විශේෂත්වය නම් මෙම නීතිඥවරියන් දෙදෙනාගේම සැමියන් ප්‍රධාන පොලිස් පරීක්ෂකයන් වීමය. සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරීවරයාට රාජකාරිය පැහැර හැරීම මෙන්ම ඇත්ත සඟවා කතා කිරීම පිළිබඳ චෝදනා එල්ල කර තිබේ. මෙසේ චෝදනාවට ලක්වන ස්ථානාධිපතිවරයට එරෙහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරිඳක් බියට පත්කර ඇයගේ බැංකු කාඩ්පතකින් රුපියල් පනස් දහසක් ලබාගැනීමේ සිද්ධියක් පිළිබඳ අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් තිබේ. මෙම රුපියල් පනස් දහස ලබාගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් රුපියල් විසි ලක්ෂයක් ලබාගැනීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වීමෙන් පසුව බව දැනගන්නට ලැබේ. මෙයට අමතරව මුදල් ලබාගැනීම්, ජාවාරම්කරුවන් සමග සමීපව සිටිමින් ඔවුන්ට ජාවාරම් කටයුතු කරගෙන යාමට අනුබල දීමද මෙකී ස්ථානාධිපතිවරයාට එරෙහි තවත් චෝදනාය. මෙකී දූෂිත චූදිත නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බව මාලිම්බඩ ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති. චෝදනාවන්ට ලක්වන මේ නිලධාරීන් පිළිබඳ විමර්ශනය කර නිසි පියවර ගැනීමට උපදෙස් දී ඇතැයි අප කළ විමසුමකට පිළිතුරු වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය. හේමන්ත ලියනපතිරණ
 

More News..