brand logo

අධිකරණ තීන්දුව කුමක් වුවත් මැතිවරණයකට යාම සුදුසු බව එජාපෙ තීරණය කරයි

24 November 2018

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතියට අනුකූලද නැද්ද යන්න සම්බන්ධයෙන් දෙසැම්බර් 07 වැනි දින ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කෙසේ ලැබුණත් මහමැතිවරණයකට යාම සුදුසු බවට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ. පසුගිය සතියේ අවස්ථා කිහිපයකදී අරලියගහ මන්දිරයේ රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත. ආණ්ඩුවක් පවත්වාගෙන යාමට එකදු පක්ෂයකටවත් බහුතර බලයක් නොමැති තත්ත්වයක මැතිවරණයක් පවත්වා බලය ලබාගැනීම සුදුසු බවට එහිදී තීරණය වී තිබේ. එළඹෙන මහමැතිවරණයට විපක්ෂයේ සියලු පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුණ ආදී පක්ෂ එක පෙරමුණකින් පැමිණිය යුතු බවටද එහිදී යෝජනා වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය හෝ ඊට ආසන්න නාමයකින් මහමැතිවරණයට ඉදිරිපත් වීමටත්, ‘දියමන්තිය’ සලකුණ යටතේ තරග කිරීමටත් වූ යෝජනාව ඉදිරිපත් කර ඇත. එහිදී පක්ෂ නායකයකු සඳහන් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණද යෝජිත පෙරමුණට එක්වී ජයග්‍රහණය කළහොත් ආණ්ඩුවේ කොටස්කරුවන් ලෙස ඔවුන්ටද ඇමැතිධුර ලබාගැනීම අනිවාර්ය බවයි. එහිදී ආණ්ඩුවේ හොඳ නරක සමසේ ඔවුන් අතරේ බෙදී යායුතු බව දන්වා ඇත. මීට අමතරව මෙම සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට ආණ්ඩු පක්ෂයෙන් සහ සන්ධානයට සම්බන්ධ වන අපේක්ෂකයින්ගෙන් දින රහිතව මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බවට වූ දිවුරුම් ප්‍රකාශද ලබා ගත යුතු බවට ද තවත් පක්ෂ නායකයකු විසින් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් මෙම තීරණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එළඹ නොමැති අතර පක්ෂයේ නාමය සම්බන්ධයෙන් ජ්‍යොතිෂ්‍ය අනුව ඝන බැලීමට කටයුතු යොදා ඇත. පාර්ලිමේන්තුවේ අර්බුදය විසඳා ගැනීමට මහමැතිවරණයකට යොමුවිය යුතු බවට වූ යෝජනා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණද සිදුකර තිබේ.
 

More News..