brand logo

අධිකරණ තීන්දුවට එරෙහිවූවන් අත්අඩංගුවට ගන්නැයි වවුනියාවේදී විරෝධතාවයක්

26 September 2019

අධිකරණ නියෝගයට එපිටින් ගොස් මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ නායක කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් අද (26) උදැසන වවුනියාව පැරණි බස් නැවතුම්පොළ ඉදිරිපස විරෝධතාවයක් පැවැත්විණ. විරෝධතාවයට එක්වු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශිවමෝහන් මහතා පැවසුවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ඇතුළු පිරිස නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහානය කිරීම තමන් ඇතුළු පිරිස අනුමත නොකරන අතර, ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ නීතිය නිසි පරිදි ඉටුකළ යුතු බවයි. නීතියේ සාධාරණය කෝ, නීතියට විරුද්ධවූවන්‍ට සිදුකරන්නේ කුමක්ද යනුවෙන් විරෝධතාකරුවන් පෝස්ටර හා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතවිණ. අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා 23 වැනිදා නියෝග කළේය. නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමයන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩු විභාගය සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ලබාදුණි. මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව ලැබෙන විට සංඝ සභාව විසින් ‍දේහයේ අදාහන කටයුතු සිදුකොට තිබිණ. විරෝධතාවය වෙනුවෙන් ‍වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා, උතුරු පළාත් සභා හිටපු නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය  
 

More News..