brand logo

අධිකරණයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග

06 September 2020

රටතුළ ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් වහාම සම්බන්ධ කරගන්නා ලෙස අධිකරණය පසුගිය සැප්තැම්බර් 03 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කර ඇත. මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් විසින් තමන්ව ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් කර තැබීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පනවා තිබූ නඩුවක තීන්දුව ලබාදෙමින් මෙම නියෝගය නිකුත් කර තිබේ. දැනට රටතුළ ඩෙංගු මර්දන කටයුතුවල නිරත වනුයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුය. කලකදී මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ද ඩෙංගු මර්දන කටයුතුවලට එක්ව සිටි නමුත් 2018 වර්ෂයේ ගෙන ආ නව චක්‍රලේඛයක් ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ව ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් කෙරිණි. මෙම නඩු තීන්දුව පිළිබඳව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් ජයන්ත රණතුංග සති අග ‘අරුණ’ට සඳහන් කළේ දැනට ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇති ආකාරයට මෙම නිලයට නව පිරිස් බඳවා ගනිමින් වහාම සිය නිලධාරීන්ට නියමිත රාජකාරිවල යොදවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටි බවයි. "අප මූලිකවම යෙදිලා ඉන්නේ බරවා සහ මැලේරියා මර්දන කටයුතුවල ඒ රෝග දෙකම ලංකාවෙන් තුරන් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපට සම්මාන දෙකක් පවා ලැබිලා තියෙනවා. හැබැයි ඒ සම්මාන පසුගිය කාලේ ලබාගත්තේ නම් දේශපාලනඥයන්. අපිව ඩෙංගු මර්දන කටයුතුවලටත් අනුයුක්ත කරලා තිබුණට අපේම සමාන්තර ශ්‍රේණියක නිලධාරීන්ගේ විරෝධය නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අපිව ඒ කටයුතුවලින් ඉවත් කළා. ඊට එරෙහිව තමයි අපි පෞද්ගලික වියදමින් මේ නඩුව පැවරුවේ. මේ තීන්දුවත් එක්ක අපි ඉල්ලන්නේ දැනට ගැසට් කරලා තියෙන බඳවාගැනීම් කඩිනම් කරලා වහාම අපිවත් දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහන්වලට අනුයුක්ත කරන්න කියලයි. මෙතැන සම්පූර්ණ වැරැද්ද තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතේ " යනුවෙන්ද ඔහු පැවැසීය. නයන තරංග ගමගේ
 

More News..