brand logo

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයක් වහාම සිදුකළ යුතුයි - අගමැති

02 October 2020

දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් ගෙන ඒම සදහා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයක් වහාම සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එම ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා රටේ අනාගතයට බලපාන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ ළේ ලෝක ළමා දිනයට සමගාමීව අපේ ගම පරිශ්‍රයේ අද පැවැති උත්සවයකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...... ආදරණීය දුවේ, පුතේ, 2005 දී මීට අවුරුදු 15 කට කලින් මම ජනතාව අමතලා කිව්වා අපි එදා මුහුණ දෙන ප්‍රශ්න අනාගත පරපුරට භාර දෙන්නේ නැති රටක් හදනවා කියලා. 2005 දී ඉපදිලත් නැති දරුවෝ අද මේ සභාවේ ඉන්න පුළුවන්. ඒ දරුවන්ට එදා තිබූ ඉතිහාසය ගැන මේ මොහොතේ මම මතක් කරන්න ඕනි. ආදරණීය දුවේ, පුතේ, එදා මේ රටේ යුද්ධයක් තිබුණා. අද වගේ නිදහසේ ගමන් බිමන් යන්න බෑ. කොයි මොහොතේ බෝම්බයක් පුපුරලා මැරිලා වැටෙයි ද කියන්න බැරි රටක් එදා තිබුණා. කිලෝමීටර් හතරෙන් පහට හැම තැන ම චෙක් පොයින්ට් තිබුණා. බස් එකෙන් බැහැලා කිහිප පොළක පරීක්ෂාවට ලක් වෙලා තමයි ගමනක් යන්න වුණේ. හැම ගමක ම යුද්ධයේ මළ ගෙයක් තිබුණා. උතුරු නැගෙනහිර පළාත්වල ලක්ෂ ගණන් බිම් බෝම්බ වළලලා තිබුණා. ඒ වෙලාවේ බොහොමයක් දෙනෙකුට කකුල් අතපය අහිමි වුණා. ගාලු පාරේ නිතර ම තුවාල ලබපු අය රොහල්වලට ගේන ඇම්බියුලන්ස් එහා මෙහා ගියා. ඒ විතරක් නෙමෙයි එදා දහස් ගණන් දරුවෝ උපන්නේ අනාථ නිවාසවල. ඉස්කෝලේ ගියේ යුද්ධයෙන් අනාථ වුණ අය ඉන්න කූඩාරම්වල ඉඳලා. ඒ වගේ රටක 2005 දී අපි ජාතිය අමතලා මුලින්ම කිව්වා අපි මුහුණ දෙන ප්‍රශ්න අනාගතයට භාර දෙන්නේ නෑ කියලා. අද ඒ අනාගතය උදා වෙලා තියෙනවා. එදා පරපුර මුහුණ දුන් ප්‍රශ්න අද මා ඉදිරියේ ඉන්න දරුවන්ට මුහුණ දෙන්න වෙලා නෑ. එදා විදුලිය තිබුණේ රටෙන් කොටසකට. කාපට් කරපු පාරවල් මේ රටේ තිබ්බේ අතලොස්සයි. පරිගණක සාක්ෂරතාව තිබුණේ ජනගහනයෙන් සීයට පහකට විතරයි. ඒවා නිසා ඇති වූ ප්‍රශ්න අද මේ පරපුරට මුහුණ දෙන්නේ නැති රටක් අපි හැදුවා. කොවිඩ් - 19 වසංගතය ආපු වෙලාවේ මේ රටේ ලක්ෂ ගණන් දරුවන්ට පරිගණක සාක්ෂරතාව භාවිතා කරලා ඉස්කෝල වැඩ කරන්න පුළුවන් වුණේ අපි එදා නවීන තාක්ෂණය රටේ දියුණු කළ නිසයි. නැණසල මධ්‍යස්ථාන පිහිටුවා රටේම දරුවන්ට පරිගණක දැනුම දෙන්න අපි එදා වැඩ කළා. ඈත පළාත්වල දූ දරුවෝ විශ්වවිද්‍යාලයට අයඳුම් කරන්නේ මේ නැණසල හරහා බව අපි දන්නවා. ඒ නිසා දුවේ, පුතේ, මම කියනවා අද අපි යම් ප්‍රශ්නයකට මුහුණ දෙනවා නම් ඒ ප්‍රශ්නවලටත් අනාගතයේ මුහුණ දෙන්න වෙන්නේ නැති රටක් අපි හදනවා කියලා. මිත්‍රවරුණි, අපි කුඩා කාලයේ ඉඳල ම දරුවන් බෙදනවා. දරුවන්ට බෙදෙන්න, බෙදිලා ජීවත් වෙන්න මඟ පාදා දෙනවා. අද සිංහල දරුවෝ සිංහල ඉස්කෝලවල, මුස්ලිම් දරුවෝ මුස්ලිම් ඉස්කෝලවල, හින්දු දරුවන්ට වෙනම ඉස්කෝල. කුඩා කාලයේ ඉඳන්ම දරුවන්ව වෙන් වෙන්ව තියලා උගන්වලා අපි ඒ ගොල්ලො ලොකු මහත් වුණා ම කියනවා එකතු වෙයල්ලා කියලා. අධ්‍යාපනයේ දී බෙදිලා වෙන්වෙලා ඉගෙනගත් අය වැඩිහිටියෝ වුණාට පස්සේ එකතු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අද අපේ ජාතිය හමුවේ කියනවා. ජාතිය, ආගම හැටියට විතරක් නෙමෙයි මේ දරුවන් ඉස්කෝල හැටියටත් පොඩි කාලෙ ම බෙදනවා. ජාතික පාසල්වල දරුවෝ, සුපිරි පාසල්වල දරුවෝ, පළාත් සභා පාසල්වල දරුවෝ, ජාත්‍යන්තර පාසල්වල දරුවෝ කියලා දරුවෝ බෙදනවා. පොඩි කාලෙ ම බෙදිලා වෙන්වෙලා පන්ති හැටියට ජීවත් වෙන්නයි අපේ දරුවන්ට උගන්වන්නේ. එක නීතියක් එක රටක් ඕනි නම් බාළ ම කාලයේ සිට මේ බෙදීම අවසාන කරන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. අද මේ දරුවන්ගෙන් ඇහුවොත් දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද කියලා දරුවෝ කියයි ඉගෙන ගැනීම කියලා. දරුවන්ගෙන් ඇහුවොත් ඔබට තියෙන ලොකු ම බර මොකක්ද කියලා දරුවෝ කියයි විභාගවල බර කියලා. අපි අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ගොඩනැගිලි දහස් ගණන් හැදුවත්, ඒවා වායු සමීකරණය කළත්, පොත්පත්, ඇදුම්, සපත්තු, ටැබ් දුන්නත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ සතුටින් නෙමෙයි නම්. අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නෙමෙයි නම්. ඒ නිසා අධ්‍යාපනයට මුදල් වෙන් කරනවාට වඩා දරුවන්ට නිදහසේ සතුටින් බරක් නැතුව ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට ඕනි. ඒ ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව මම කියන්න ඕනි. අපි දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් රටක් නැවත තමන්ගේ ඉලක්ක ජය ගන්න පුළුවන් රටක් හදලා භාර දෙන්න ඕනි. ආදරණීය දුවේ, පුතේ, අපිට අපි උපන් රට ගැන ලොකු වගකීමක් තියෙනවා. මේ දුවලා පුතාලා මතක තියා ගන්න ඕනි අපි මේ පය ගහලා ඉන්න රට ආරක්ෂා කර ගන්න වසර දහස් ගණනක් තිස්සේ ලක්ෂ කෝටි ගණන් ජනතාව, ජීවිත පූජා කරලා තියෙන බව. යටත් නැති රටක් හදන්න අපේ මුතුන් මිත්තෝ අපිරිමිත කැප කිරීම් කළ බව අපි මතක තියා ගන්න ඕනි. දහස් ගණන් වැව් බැදලා ඒවායේ දියවර අරන් මුතුන් මිත්තෝ අපි වෙනුවෙන් ඒ මහා නිර්මාණ ඉතුරු කළ බව මතක තියා ගන්න ඕනි. ඒ විතරක් නෙමෙයි. අපේ භික්ෂූන් වහන්සේලා ලෝකයේ ශ්‍රේෂ්ඨ ධර්මය ථේරවාදී බුදු දහම වණ පොත් කරලා ආරක්ෂා කරගෙන ගෙනල්ලා ලෝකෙට දෙන්න, රැක ගත්ත බව අපි මතක තියා ගන්න ඕනි. මගේ ඉදිරියේ ඉන්න දුවලා පුතාලා වගකීමක් තියෙනවා මේ දේවල්වලට යමක් එකතු කරන්න. අද අපි කවුරුත් හිතනවා රුවන්වැලිසෑය බැඳපු යුගයේ අපි ජීවත් වුණා නම් අපිටත් ඒවාට දායක වෙන්න පුළුවන් කියලා. කැප්පෙටිපොළ නිලමේතුමා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කළ යුගයේ අපිත් හිටියා නම් අපිත් ඒ සටනට යනවා නේද කියලා අපි අද හිතනවා. ආදරණීය දුවේ, පුතේ අපි එහෙම යුගයක් මේ රටේ ගොඩනගන්න ඕනි. අනාගත පරපුර ආපස්සට හැරිලා හිතන කොට අද කාලේ ජීවත් වුණා නම් කොයිතරම් හොඳ ද කියලා හිතෙන රටක් හදන්න අපි කැප වෙන්න ඕනි. අද අපේ සියලු දේවල් යළි ගොඩනගන යුගයක්, ඔබගේ ගේ පිටිපස්සේ වැවෙන කහ පැළයේ ඉඳන් ඔබ පාසල් යන කොට අඳින නිල ඇඳුම් රෙද්ද දක්වා අපේ අතින් ම නිෂ්පාදනය කරන රටක් හදන්න පුළුවන් යුගයක් එළඹිලා තියෙනවා. ඒ මහා යෝධ කාර්යයට දායක වෙන්න හිතට ගත්තොත් තව අවුරුදු සිය ගාණකට පස්සේ උපදින පරපුර කියයි මේ යුගයේ උපන්නා නම් හොඳයි කියලා. ඒ නිසා අපේ මහා ජාතික කවියෙකු වූ එස්. මහින්ද හාමුදුරුවෝ කිව්ව කවියකින් මා මගේ කතාව අවසන් කරනවා. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේපුද නොකළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පළක් නැතේ ඔබට සුබ අනාගතයක්!"
 

More News..