brand logo

අධ්‍යාපනය ඉහළට ඔසවන්න කාර්ය සාධක බළකායක්

14 December 2019

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංයේ තුළ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව ප්‍රඥා සම්පන්න, දැනුමෙන් පිරිපුන් පුරවැසියන් සහිත සමාජයක් බිහි කිරීමේ අරමුණින් මෙම කාර්ය සාධක බළකාය ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් එස්.යූ. විජේරත්න මෙම බළකායේ ප්‍රධානියා වෙයි. ආචාර්ය පී.එන්. මීගස්වත්ත, මහාචාර්ය සුදන්ත ලියනගේ, මහාචාර්ය එම්.ඩී. ළමාවංශ, මහාචාර්ය රස්නායක එම්. මුදියන්සේ, මහාචාර්ය ඩබ්ලිව්.ජී. කුලරත්න, මහාචාර්ය නාරද වර්ණසූරිය, ආචාර්ය වී.ඒ. පියසිරි, ආචාර්ය මදුරා එම්. වේහැල්ල එම බළකායේ සමාජිකයෝ වෙති. මෙම කාර්ය සාධක බළකායට කාර්යයන් 13ක් පවරා තිබේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහන් යෝජනා කිරීම, ග්‍රාමීය පාසල් වැසීයාම වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම, ජාතික පාසල් 1000ක් බිහි කිරීම, ත්‍රෛයිභාෂික සුපිරි ජාතික පාසල් 20ක් පිහිටුවීම ඇතුළු කරුණු 13ක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරී‍ම් වගකීම එම බළකායට පවරා තිබේ. කාර්ය සාධක බළකායේ ප්‍රධානියාට මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් සහ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකුට හිමි වරප්‍රසාද හිමි වෙයි. සෙසු සාමාජිකයන් සඳහා එක් රැස්වීම් වාරයක් සඳහා රුපියල් 5000ක දීමනාවක්, කාර්යාල පහසුකම් ලබාදීමට නියමිතය. කාර්ය සාධක බළකාය දෙසැම්බර් 01 සිට මාස හයක කාල සීමාවක් තුළ නව ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. උදයජීව ඒකනායක
 

More News..