brand logo

අද සිට වැස්ස අඩුවෙයි

30 October 2019

වැසි තත්ත්වය අද (30 වැනිදා) සිට අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රීී ලංකාවට නිරිත දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති වායුගෝලයේ කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී එය දිවයිනට නිරිත දිගින් වන මුහුදු ප්‍රදේශයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය ක්‍රමයෙන් දිවයිනෙන් ඈතට ගමන් කරන බැවින් අද දිනයේ සිට එහි බලපෑම ක්‍රමයෙන් අඩුවිය හැකිය. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සවස් කාලයේ ඇතිවන වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් සියයට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ දකුණු පළාත්වල සුළඟේ වේගය විටින් පැයට කිලෝමීටර් පනහක් දක්වා වැඩිවිය හැකිය. අම්බලන්ගොඩ සිට මාතර දක්වා වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළයාමේ හැකියාවක් පවතින බවත්,මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ඇතුළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..