brand logo

අද සමහර ක්‍රීඩකයෝ ක්‍රිකට් ගහන්නේ ‘බුකියේ’ - අසන්තා ද මෙල්

27 January 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඇතැම් ක්‍රීඩකයන් මුදල් ගෙවමින් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ප්‍රතිරූප වර්ධනය කිරීමටත්, අන් ක්‍රීඩකයන්ට පහර දීමටත් පෙලඹී සිටින බවක් පෙනෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා පවසයි. වත්මන් ක්‍රිකට් පරාජයන් සහ අර්බුද සම්බන්ධයෙන් ‘අරුණ’ කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෙල් මහතා ‘සමාජ මාධ්‍ය කරන්නේ එක එක අරමුණුවලට අනුව කථා ගෙතීමයි. බොරුව එකදිගටම කිව්වම එය ඇත්තක් වෙනවා. පැරදුණාම විවිධ හේතු කියන්න පුළුවන්. නමුත් හරි මොකක්ද වැරදි මොකක්ද කියලා අපි ගැඹුරින් විමසා බැලිය යුතුයි. ඉදිරි තීරණ ගත යුත්තේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ හරහා නෙමෙයි කියලා මම හිතන්නේ. පෞද්ගලිකව මම ෆේස්බුක්, ට්විටර් පාවිච්චි කරන්නේ නැහැ. වට්ස්ඇප් වුණත් ගත්තේ මට නිලධාරියෙක් විදිහට ඒක ඕනි වුණ නිසයි.’ යනුවෙන් පැවසීය. ‘බෝර්න් අගේන්’ චෝදනාව බොරුවක් වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම සඳහා ‘බෝර්න් අගේන්’ නම් වූ ආගමික නිකායක බලපෑමක් ඇතැයි පැතිර යන රාවය සම්බන්ධයෙන් කළ විමසීමේදී ‘ඒක විහිළුවක්. බොහෝ ක්‍රීඩකයන් ක්‍රිස්තියානි ආගම අදහන්නන්. මම දැනුවත්ව ඒ කවුරුත් ‘බෝර්න් අගේන්’ නෙමෙයි. ආගම හේතුකරගෙන මොනම ආකාරයේ බලපෑමක්වත් තේරීම් සඳහා සිදුවන්නේ නැහැ. ඕක සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන මිථ්‍යාවක්. ඔබලාට ක්‍රීඩකයන්ගෙන් අසා දැනගන්න පුළුවන්.’ තේරීමේදී මා ඒකාධිපතියෙක් නොවෙයි සිය තේරීම් කමිටුවේ අනෙක් සාමාජිකයන්ගේ අනුමැතියකින් තොරව ද මෙල් මහතා තමාට අභිමත පරිදි කණ්ඩායම් තෝරා ගන්නවා යන චෝදනාව පිළිබඳව ද ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වීය. ‘අපි සියලුදෙනා ඉඳගෙන සංචිතයක් තේරුවාට මෙවැනි අවස්ථාවක අවසන් 11 තෝරා ගන්නේ කණ්ඩායමේ නායකයාගේ සහ ප්‍රධාන පුහුණුකරුගේ කැමැත්තද අනුවයි. තරඟයේ ගෙනියන්නේ ඒ අය. එහිදී තනියම හෝ පිරිසක් හෝ ලෙස තේරීම් කමිටුවේ අදහස ඔවුන්ගේ අදහසට වඩා බලවත් විය නොහැකියි. ගාල්ලේ හිටියේ මම විතරයි. එහිදී තේරීම් සිදු වුණේ නායකයා සහ පුහුණුකරු සමග කතා කරලයි. ඔය කියන තනි මතයට වැඩ කිරීමේ චෝදනාව මම පිළිගන්නේ නැහැ.’ රේවත එස්. සිල්වා
 

More News..