brand logo

අද රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවු වැසි

13 May 2021

දකුණ , බස්නාහිර , සබරගමුව , වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට අද (13) රාත්‍රියේ මිලිමීටර් 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ගිණිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශයේ සහ යාබද ලක්ෂදීපය ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, ඇල්පිටිය, නාගොඩ, නෙලුව, බද්දේගම, තවලම සහ යක්කලමුල්ල යන ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අඟලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්ද නුවර, ඉංගිරිය, මතුගම සහ දොඩම්ගොඩ යන ප්‍රදේශවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. මේ අතර, නැවත දැනුම් දෙනතුරු ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශයේ ධිවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රජාවට දැනුම්දෙයි. අදාළ ප්‍රදේශයේ ධිවර කටයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂක ස්ථානයක් කරා පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව දන්වා සිටී. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කළු, ගිං සහ නිල්වලා යන ගංගා වල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
 

More News..